මහාගොපාලක සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු මහා ගෝපාලක සූත්රයයි. එහි කථා තුනක් වෙයි. ඒකනාළිකාය, චතුරස්සාය, නිසින්නවත්තිකා යනුවෙනි. එහි පෙළ කියා එකකි. පදවල අරුත් කීම ඒකනාළිකා නමි. අපණ්ඩිත ගොපල්ලා දක්වා අපණ්ඩිත මහණ දක්වා, පණ්ඩිත ගොපල්ලා දක්වා, පණ්ඩිත මහණ දක්වා යන සතර ගැන කීම චතුරස්සා නමි. අපණ්ඩිත ගොපල්ලා දක්වා කෙළවරට යාමය. අපණ්ඩිත මහණ දක්වා කෙළවරට යාම, පණ්ඩිත ගොපල්ලා දක්වා කෙළවරට යාම, පණ්ඩිත මහණ දක්වා කෙළවරට යාම නිසින්නවත්තිකා නම් වේ. මෙය සියළු ආචාර්යවරයන් විසින් පවත්වාගෙන එන ලද්දේය.
එකාදසහි භික්ඛවෙ අංගෙහි එකොළොස් අගුණ කොටසින් ගො ගණං ගව පට්ටිය පරිභරිතුං පරිහරණය කරන්නට, පවත්වාගෙන එන්නට, ඵාති කාතුං වැඩීමට පමුණුවන්නට ඉධ මේ ලෝකයෙහි, න රූපඤ්ඤූ හොති සංඛ්යා වශයෙන් හෝ වර්ණ වශයෙන් හෝ ස්වරූපය නො දනී නම්, තම ගවයන්ගේ සියයෙක හෝ දහසෙක වශයෙන් ගණන නො දනී. හෙතෙම දෙනුන් පැහැරගත් කල්හි හෝ පලාගිය කල්හි හෝ ගවපට්ටිය ගැන අද මෙතෙක් ගවයන් දක්නට නැතැයි ගම් දෙක අතර හෝ කැලයෙහි හෝ නො සොයයි. අනුන්ගේ දෙනුන් තමන්ගේ ගව සමූහයට පිවිසි කල ද, ගව පට්ටිය ගැන මෙතෙක් දෙනුන් අපගේ නොවෙතෙයි කෝටුවෙන් තලා බැහැර නො කරයි. ඔහුගේ නැති වූ ගොනුන් නැති වූවාමය. අනුන්ගේ දෙනුන් ගෙන හැසිරෙයි. ගව හිමියන් මෙය දැක මෙතෙක් කල් අපේ දෙනුන්ගෙන් කිරි ගත්තේ යයි තර්ජනය කොට තම දෙනුන් ගෙන යති. ඔහුගේ ගව පට්ටිය පිරිහෙයි. පස්ගෝරස පරිභෝගය නවතියි. වර්ණ හෙයින් නොදනී නම්, මෙතෙක් දෙන්නු සුදුය. මෙතෙක් දෙන්නු රතුය. මෙතෙක් දෙන්නු කළුය. මෙතෙක් දෙන්නු පළොල් පාටය. නොදනී. හෙතෙම දෙනුන් පැහැර ගත් කල හෝ පැන ගිය කල හෝ නොදනී. -පෙ- පස්ගෝරස පරිභෝගයෙන් ද ඉවත් වෙයි.
න ලක්ඛණ කුසලො ගවයන්ගේ ශරීරයෙහි දුනු - අඩයටි ත්රිශුලාදී හංවඩු ගැසූ ලක්ෂණ නො දනී. හෙතෙම දෙනුන් පැහැර ගත් කල්හි හෝ පලාගිය කල්හි අසවල් අසවල් ලකුණු ඇති දෙනුන් නො දක්නා ලැබෙතියි -පෙ- පස්ගෝරස පරිභෝගයෙන් ද වළකියි.
න ආසාටිකං සාටෙතාති ගවයන්ගේ කුර දණිස් ආදිය වණ වෙයි. එහි නිලමැස්සෝ ඉහඳ තබති. ඔවුන්ට ‘ආසාටිකා’ නම්ය. ඒවා දණ්ඩකින් ඉවත්කොට බෙහෙත් දැමිය යුතු වෙයි. බාල ගොපල්ලෝ එසේ නොකරති. ‘ආඝාටිකං සාටෙතා’ යන්න එහෙයින් කියන ලදී. ඔහුගේ ගවයන්ගේ වණ දියුණුවෙත්. ගැඹුරු වෙත්. පණුවෝ කුසට පිවිසෙති. දෙන්නු ගිලන් බවින් මඩනා ලද්දාහු යැපෙන පමණ තණ කන්නට හෝ, දිය බොන්නට හෝ නොහැකි වෙයි. එවිට දෙනුන්ගේ කිරි සිඳෙයි. ගොනුන්ගේ ශක්තිය පිරිහෙයි. දෙනුන් හා ගොනුන් මරණයට පත්වෙති. මේ ආකාරයෙන් ගවපට්ටිය පිරිහේ. පස්ගෝරස ද නැති වේ.
න වණං පටිච්ඡාදෙතා හොති යටකී පරිදි ගවයන්ගේ හටගත් වණය බෙහෙත් යොදා රෙදිපටිවලින් හෝ ගස් පට්ටාවලින් හෝ බැඳිය යුතුය. බාල ගොපල්ලෝ එසේ නො කරති. ගවයන්ගේ වණවලින් ඕජාව වැගිරෙති. ගවයෝ ඔවුනොවුන් ගැටෙති. එයින් අනෙක් ගවයන්ගේ ද වණ හටගනිත්. මෙසේ ගවයෝ ගිලන් බවින් මඩනා ලද්දාහු අවශ්ය තරම් තණ නො කති. දිය නො බොති. -පෙ- පස්ගෝරසද නැති වේ.