මහාගොසිඞ්ග සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු මහා ගෝසිංග සුත්‍රයයි. එහි ගොසිංග සාලවනදායෙ මෙය වසන තැන දැක්වීම පිණිස කියන ලදී. යම්හෙයකින් වෙනත් සූත්‍රයන්හි සාවත්ථිය විහරති ජෙතවනෙ - අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ ආදී වශයෙන් පළමුව ගොදුරුගම දක්වා පසුව වසන තැන දැක්වීද, මෙම සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්ගේ ගොදුරුගම අනිබද්ධ වේද, කිසිවක්ම ගොදුරුගම වන්නේද එහෙයින් වසන තැනම දක්වන ලදී. මේ සූත්‍රය ආරණ්‍ය නිදාන නම් ඇත්තේ වෙයි.
සම්බහුලෙහි බොහෝ වූ, අභිඤ්ඤා තෙහි අභිඤ්ඤාතෙසී සියලු තැන්හි ප්‍රසිද්ධ වූ ප්‍රකට වූ, ථෙරෙහි සාවකෙහි සද්ධිං ප්රාතිමෝක්ෂ සංවරාදී සථිරකාරක ධර්මයන්ගෙන් සමන්විත බැවින් ස්ථවිර වූ, ශ්රවණානීතයෙන් ජාත වූ බැවින් ශ්‍රාවක වූ භික්ෂූන් හා එක්වැ මෙවිට ඒ ස්ථවිරයන් ස්වරූපයෙන් දක්වමින් ආයස්මතාච සාරිපුත්තෙන ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ තමන්ගේ ශීලාදී ගුණයන්ගෙන් බුදුසසුන්හි ප්‍රසිද්ධය. ඇස් ඇතියනට අහස් මැද සිටි හිරු මෙන් ද, සඳු මෙන් ද, මුහුදු තෙර සිටියවුන්ට සයුර මෙන් ද, ප්‍රකට වූහ. ප්‍රසිද්ධ වූහ. තව ද මේ සූත්‍රයෙහි ආ ගුණයන්ගේ වශයෙන්ම මහත් බැව් නො දත යුතුය. මෙයින් වෙනස් වූ අනංගණ, ධම්මදායාද, සම්මාදිට්ඨි, සීහනාද, රථ විනීත, මහා හත්ථිපදොපමය, මහා වෙදල්ල, චාතුම දීඝනඛ, අනුපද, සෙවිතබ්බා සෙවිතබ්බ, සච්ච විභංග, සම්පසාදනීය, සංගීති, දසුත්තර, පවාරණ, සුසීම, ථෙරපඤ්හ, මහා නිද්දෙස, පටිසම්භිදා මග්ගය, ථෙර සීහනාද, අභිනිෂ්ක්‍රමණ, එතදග්ග ආදී මේ සූත්‍රයන්ගේ වශයෙන් ද, තෙරුන්ගේ මහත් බැව් දතයුතුය. ඒතදග්ග පාලියෙහි එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං මහා පඤ්ඤානං යදිදං සාරිපුත්තො යනුවෙන් වදාරන ලදහ.
මහ මුගලන් තෙරුන් ද සීලාදී ගුණයන්ගෙන් ද, මේ සූත්‍රයෙහි ආ ගුණයන්ගෙන් ද, සැරියුත් තෙරුන් මෙන්ම ප්‍රසිද්ධ වූහ. ප්‍රකට වූහ. මහත් වූහ. වැලිදු අනුමාණ සූත්‍රය, චුල්ලතණ්හා සංඛය සූත්‍රය, මාර තජ්ජනීය, පාසාදකම්පන, ඉද්ධිප්පාද සූත්‍රාන්තය, නන්දොපනන්ද දමනය, යමාමහ පෙළහරින් පසු දෙව්ලෝයාම, විමාන වත්ථු, පේතවත්ථු, තෙරුන්ගේ අභිනිෂ්ක්‍රමණය, ඒතදග්රය යන මොවුන්ගේ වශයෙන් ද, උන්වහන්සේගේ මහත් බැව් දතයුතු. ඒ එසේමැයි. ඒතදග්‍රයෙහි, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ඉද්ධිමන්තානං යදිදං මහා මොග්ගල්ලානො යයි වදාරණ ලදී.
මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ද ශීලා දී ගුණයන්ගෙන් ද, මේ සූත්‍රයෙහි ගුණයන්ගෙන් ද, (සැරියුත් තෙරුන් මෙන්) ප්‍රසිද්ධ වූහ. ප්‍රකට වූහ. මහත් වූහ. තව ද චීවර පරිවත්තන සූත්‍රය ජිණ්ණචීවර සුත්‍රය, චන්දොපමය, සමස්ත කස්ස සංයුත්තය, මහා අරියවංස සූත්‍රය තෙරුන්ගේ අභිනිෂ්ක්‍රමණය, ඒතදග්රය යන මොවුන්ගේ වශයෙන් ද, උන්වහන්සේගේ මහත් බව දතයුතු. ඒතදග්‍ර පාළියේ ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ධූතවාදානං යදිදං මහාකස්සපො’යි වදාරණ ලදී.
අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ද ශීලාදී ගුණයන්ගෙන් හා මේ සූත්‍රයෙහි ආ ගුණයන්ගෙන් ද (සැරියුත් තෙරුන් මෙන්) ප්‍රසිද්ධයහ. ප්රකටයහ. මහත්ය. තව ද චූළ ගෝසිංග සූත්‍රය, නළකපාන සූත්‍රය, අනුත්තරිය සූත්‍රය, උපක්කිලෙස සූත්‍රය, අනුරුද්ධ සංයුත්තය, මහා පුරිස විතක්ක සූත්‍රය, තෙරුන් ගේ අභිනිෂ්ක්‍රමණය ඒතදග්රය යන මොවුන්ගේ වශයෙන්ද, උන්වහන්සේ මහත් බව දතයුතුය. ඒ එසේමයි. ඒතදග්‍රයෙහි ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං දිබ්බ චක්ඛුකානං යදිදං අනුරුදෙධා’යි වදාරණ ලදී.
ආයස්මතා රෙවතෙන යන මෙහි ඛදිරවනිය රේවතද කංඛා රේවතද යයි රේවත තෙරහු දෙනමක් වූහ. ඔවුනතුරෙහි ‘ඛදිරවනිය රේවත’ තෙරුන් වහන්සේ ද දම්සෙනෙවි තෙරුන්ගේ කණිටු බෑයා විය. එය මෙහි අදහස් නො කරන ලදී. යළි ගුළ අකැපය. මුං අකැපය යයි සැක පහළ කළ තෙරුන් වහන්සේ මෙහි ‘රේවත’ යන්නෙන් අදහස් කළේය. උන්වහන්සේ ද ශීලාදී ගුණයන්ගෙන් හා මේ සූත්‍රයෙහි ආ ගුණයන්ගෙන් ද, සැරියුත් තෙරුන් මෙන් ප්‍රසිද්ධයහ. ප්රකටය. මහත් වූහ. තව ද උන්වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයෙන් ද, ඒතදග්රයෙන් ද, මහත් බැව් දතයුතු. ඒතදග්‍ර පාලියෙහි ‘එතදග්ගං භික්ඛවෙ මෙ සාවකානං භික්ඛුනං ඣායිනං යදිදං කඞ්ඛාරවතො’ යි වදාරන ලදී.
ආනන්ද ස්ථවිරයන් වහන්සේ ද ශීලාදී ගුණයන්ගෙන් හා මෙම සූත්‍රයෙහි ආ ගුණයන්ගෙන් ද, සැරියුත් තෙරුන් මෙන් ප්‍රසිද්ධයහ. ප්රකටයහ. මහත්වූහ. තව ද සේඛ සූත්‍රය, බාහිතිය සූත්‍රය, ආනඤ්ජ සප්පාය ය, ගෝපක මොග්ගල්ලානය, බහුධාතුකය, චූල සුඤ්ඤතය, මහා සුඤ්ඤතය, අච්ඡෙර අබ්භූත සුත්‍රය, භද්දෙක රත්තය, මහා නිදානය, මහා පරිනිබ්බානය, සුභ සූත්‍රය, චූළනීය ලෝකධාතු සූත්‍රය, අභිනිෂ්ක්‍රමණය, ඒතදග්රය යන මොවුන්ගේ වශයෙන් උන්වහන්සේගේ මහත්බැව් දතයුතු. ඒතදග්‍ර පාලියෙහි එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං බහුස්සුතානං යදිදං ආනන්දො’ යනුවෙන් වදාරන ලදී.