චූළඅස්සපුර සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං චූළ අස්සපුර සූත්‍රයයි. දේශනාකරණය පළමු සූත්‍රය හා සමාන වේ. සමණසාමීචි පටිපදා භික්‍ෂූන්ට සුදුසු වූ, භික්‍ෂූන්ගේ අනුලෝම පිළිවෙත.
සමණමලානං යනාදියෙහි මේ ධර්මයෝ උපදනාහු භික්‍ෂූන් මලිනයන් මල ගත්තවුන් කෙරෙති. එහෙයින් සමණමල යයි කියනු ලැබෙත්. මොවුන් විසින් භික්‍ෂූහු දූෂ්‍ය කරනු ලැබෙත්. ප්‍රදූෂ්‍ය කරනු ලැබෙති. එහෙයින් සමණෙදාස යයි කියනු ලැබේ. මොව්හූ ඉපිද භික්‍ෂූන් කසටයන්, ඕජස් නැත්තවුන් කරත්. මලානික කෙරෙත්. එහෙයින් සමණ කසට යයි කියනු ලැබේ. අපායිකානං ඨානානං අපායෙහි උපදවන කාරණයන්ට, දුග්ග නිවෙද නීයානං දුගතියෙහි විපාක විඳින්නට නියම වූවන්ට, මතජං නාමාති මිනිස්සු තියුණු මුවහත් යකඩ පීරෙන් පහර දී ඒ යහුණු මස් සමග කළවම්කොට කොස්වාලිහිණියන්ට කවති. උන්ට මළපහ කිරීමට නො හැක්කාහු මැරෙති. ඉදින් නො මැරෙන්නේ නම් පහර දී මරති. ඉක්බිති ඔවුන්ගේ බඩ පලා අතුණු ජලයෙන් සෝදා සුණු ගෙන මස් සමග කළවම්කොට නැවත කවත්, මෙසේ සත්ත්වරක් කවාගත් යකඩ කුඩුවලින් ආයුධ තනති. එය මැනැවින් පුහුණු වූ ලොහොකරුවෝ බොහෝ කම්මල්වල වැඩ කරත්. ඒ මළ ළිහිණියාගෙන් උපන් හෙයින් මතජ යයි කියති. ඉතා තියුණු වේ. පීත නිසිතං දිය බොන ලද්දා වූද, ගලෙහි මැනවින් ගටන ලද්දා වූ ද, සංඝාටියා කොපුවෙන් සම්පාරුතං හාත්පසින් වසන ලද්දේ, වෙලන ලද්දේ.
රජො ජල්ලිකස්ස රජස් දැළි දරන්නහුගේ උදකො රොහකස්ස දවසට තුන්වරක් දියට බස්නහුගේ, රුක්ඛමූලිකස්සා රුක්මුල්හි වසන්නහුගේ අබ්භොකාසිකස්ස අභ්‍යවකාශයෙහි වසන්නහුගේ උබ්භට්ඨකස්ස උඩුබැලිව සිටින්නහුගේ, පරියාභත්තිකස්ස මසකට වරක් හෝ අඩමසකට වරක් වළඳන්නහුගේ මේ සියල්ල බාහිර සමයෙන්ම කියන ලදී. මේ සසුනෙහි සිවුරු දරන භික්‍ෂූහු, සංඝාටික යයි නො කියනු ලැබේ. රජස් දැලි දැරීම් ආදී, ව්‍රතයෝ ද මේ ශාසනයෙහි නැත්තේම ය. බුද්ධ වචනයට ‘බුද්ධ වචනයම’ යයි නාමයයි. ‘මන්ත’ යයි නාමයක් නැත. ‘රුක්ඛමූලිකය. අබ්භොකාසිකය’ යන මෙතෙක් ම ලැබෙයි. එය ද මෙහි බාහිර සමයෙන්ම කියන ලදී.
ජාතමෙවනං උපන්දිනයෙහි උපන් මොහොතක් ඇත්තා වූම ඔහු සංඝාටිකං කරෙය්‍යුං සඟලවතක් හඳවා පෙරවා, සංඝාටිකයකු කරන්නාහුය. සියලු තන්හි මේ ක්‍රමයයි.
විසුද්ධ මත්තානං සමනුපස්සති තමන් විසුද්ධියෙකැයි දනී. එහෙත් ඒ තාක් විසුද්ධ යයි නොකිව යුතු. පාමුජ්ජං ජායති සතුටු ආකාරය උපදී. පමුදිතස්ස පීති සතුටු වූවහුගේ සියලු ශරීරය අලලමින් ප්‍රීතිය උපදී. පීතිමනස්සකායො ප්‍රීතියෙන් යුක්ත වූ පුද්ගලයාගේ නාම කාය, පස්සම්භති පහ වූ විඩා ඇත්තේ වෙයි. සුඛං වෙදෙති කායික වූ ද, මානසික වූ ද සුවය විඳී. චිත්තං සමාධියති මේ නෛෂ්ක්‍රම්‍ය සුවයෙන් සුවපත් වූවහුගේ සිත එකඟ වේ. අර්පණාවට පැමිණියාක් මෙන් වෙයි.
සො මෙත්තා සහගතෙන චෙතසා යට කෙලෙස් වශයෙන් පටන් ගත් දේශනාව පර්වතයෙහි වට වැස්ස ගඟට යන්නාක් මෙන් අනුසන්ධි නො ඉක්මවා බ්‍රහ්මවිහාර භාවනාවට බැස ගන්නා ලද්දීය. එහි යමක් කියනු කැමැත්තේ නම් ඒ සියල්ල විශුද්ධි මාර්ගයෙහි කියන ලද්දේය. සෙය්‍යථාපි භික්ඛවෙ පොක්ඛරණී මහා සීහනාද සූත්‍රයෙහි පොකුණට මාර්ගය උපමා කරන ලදී. මෙහි ශාසනය උපමා කරන ලද්දේයයි දතයුතු. ආසවානං ඛයා සමණොහොති සියලු කෙළෙසුන් සන්සිඳුවන ලද බැවින් පරමාර්ථ ශ්‍රමණ වූයේ වේ. සෙස්ස සියලු තන්හි ප්‍රකට වූයේමය.
චූළ අස්සපුර සූත්‍රය නිමියේ ය.
සිව්වැනි වූ මහා යමක වර්ගය සමාප්තයි.
චූල යමක වර්ගය
සාලෙය්‍යක සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං සාලෙය්‍යක සූත්‍රයයි. එහි කොසලෙසු කෝසල නම් ජනපදයේ රාජ කුමාරයා ඔවුගේ පදිංචිය වූ එක් ජනපදයෙක, සමානාර්ථයෙන් කෝසල යයි කියයි. ඒ කෝසල ජනපදයෙහි පැරණි ආචාර්යවරු මෙසේ කීහ. යම්හෙයකින් පෙර මහාපනාද නම් රාජකුමාරයා නොයෙක් විධියේ නළුනිළියන් දැකත්, මදකුත් සිනහ නො වන්නේ යයි අසා රජු මෙසේ කීහ. ‘යම්කිසි කෙනෙකු මගේ පුතා සිනහ ගැන්වීමට සමත් වෙතොත් ඔහු සර්වාලංකාරයෙන් සරසවමි. අලංකාර කරමි.’ ඉක්බිති මහජනයා සිය වගා කිරීම්, කුඹුරු කෙටීම් කර්මාන්ත ආදිය අත්හැර රැස්ව නොයෙක් විධියේ නැටුම් ආදී විවිධ උපා යෙදුවත් හත් අවුරුද්දක් මුළුල්ලේත් ඒ කුමරු සිනා ගන්වන්නට නො හැකි විය. ඉක්බිති සක්දෙවි දිව්‍ය නළුවන් එවීය. ඒ දිව්‍ය නළුවා නාට්‍ය දක්වා සිනහ ගැන්වීය. එකල්හි මිනිස්සු තම තමන්ගේ නිවාසස්ථානවලට ගියාහුය. ඔව්හූ සමුවන සමුවන මිතුරන් දැක ‘කිම සුවදැයි’ ඇසූහ. එහෙයින් ඒ කුසලය කුසලය යන වචනය ගෙන ඒ ප්‍රදේශය කෝසල නම් වීය.
චාරිකං චරමානො අතුරිත චාරිකාවෙහි හැසිරෙන සේක්, මහතා භිකඛු සංඝෙන සද්ධිං සියයක් හෝ දහසක් හෝ ලක්‍ෂයක් දැයි මෙසේ පිරිසිඳීම් රහිත භික්‍ෂු සංඝයා සමග, බ්‍රාහ්මණගාමො බමුණන් සමූහ වශයෙන් හැසිරෙන පෙදෙස බමුණුගම නමින් හැඳින්වේ. ඒ බමුණන්ගේ ගොදුරුගම, තදවසරි ඒ ගමට ඇතුල්විය. පැමිණියහ යන අර්ථයි. මෙහි විහාරයක් නියම කර නැත. එහෙයින් එයට නුදුරු බුදුනට ගැලපෙන සුදුසු වූ එක් වනලැහැබක් යයි ගතයුතුය. ශාස්තෲන් වහන්සේ ඒ වනලැහැබට වැඩි සේකැයි දතයුතුය.
අස්සොසුං ඇසූහ. ලැබූහ. ශ්‍රෝතද්වාරයට පැමිණි වචනයේ ශබ්දානුසාරයෙන් දැනගත්හ. ඛො යනු අවධාරණාර්ථයෙහි, පද පූරණයෙහි නිපාතය එහි අවධාරණාර්ථයෙන් ‘ඇසුවාහුමය’ ඔවුන්ට කිසි ශ්‍රවණාන්තරායෙක් නො වීය. මේ අර්ථය දතයුතුය. පද පූරණයේ බ්‍යඤ්ජනයාගේ සිලුටු බව පමණක්මැයි.