මහාහත්ථිපදොපම සූත්‍ර වර්ණනාව
එවම්මෙ සුතං යනු මහා හත්‍ථිපදොපම සුත්‍රයයි. එහි ජංගලානං යනු මහාපොළොවෙහි හැසිරෙන්නා වූ, පාණිනං පා සහිත ප්‍රාණීන්ගේ, පද ජාතානි පදයෝ, සමොධානං ගචඡන්ති රැස්වීමට සහභාගිවීමට යති. අග්ග මක්ඛායති යනු ශ්‍රේෂ්ඨ යයි කියනු ලැබේ. යදිදං මහන්තන්නෙ යනු මහත් බැවින් අග්‍රයයි කියනු ලැබේ. ගුණ වශයෙන් නොවේ යන අර්ථයි. යෙ කෙචි කුසලා ධම්මා කිසියම් ලෞකික ලෝකෝත්තර කුශල ධර්මයෝ, සංගහං ගචඡන්ති මෙහි සතරාකාරයකින් සංග්‍රහ කෙරේ. සජාති සංග්‍රහ, සඤ්ජාති සංග්‍රහ, කිරිය සංග්‍රහ, ගහණ සංග්‍රහ යන වශයෙනි. ‘සියළු ක්‍ෂත්‍රියෝ එත්වා, සියළු බ්‍රාහ්මණයෝ එත්වා යනුවෙන් යොදන්නේ සජාති සංග්‍රහ නම් වේ. ‘සියලු කොසොල් රට වාසීහු සියලු මගධරට වාසීහු’ මෙසේ යොදන්නේ උපන් ප්‍රදේශ, සඤ්ජාති වශයෙනි. සියලු රියැදුරෝ සියලු ධනුර්ධරයෝ මෙසේ ක්‍රියා වශයෙන් යොදන්නේ කිරිය සංගහ නම් වේ. චක්ඛායතනය කවරේද? ස්කන්ධ ග්‍රහණයට යන්නේද, චක්ඛායතනය රූපස්කන්‍ධ ග්‍රහණයට යන්නේද? මේ ආදී වශයෙන් පවතින්නා වූ, පැවතිය යුතු වූ චක්ඛායතන, රූපස්කන්ධ, ආදී වශයෙන් සංග්‍රහ කරන මෙය ගහණ සංග්‍රහ නම් වේ. මෙතැන්හි දී මෙයම අදහස් කරන ලදී.
තව ද චතුන්නං අරිය සච්චානං කති කුසලා කති අකුසලා, කති අඛ්‍යාකතා යන ප්‍රශ්නය විසඳීමෙහි, සමුදය සච්චං අකුසලං, මග්ග සච්චං කුසලං, නිරොධ සච්චං අඛ්‍යාකතං යනුවෙන් ආ හෙයින් චාතුර්භූමික කුසලයම සත්‍යයන් දෙකක් භජනය කරන්නේ නොවේද? ඉක්බිති කුමක් හෙයින් මහා තෙරුන්වහන්සේ චතුරාර්ය සත්‍යයන්ගේ ග්‍රහණයට යන්නේ යයි වදාළ සේක් ද සත්‍යයන්ම ඇතුළත් බැවිනි.
යම්සේ සාධිකමිදං භික්ඛවෙ දියඩ්ඪං සික්ඛාපදසතං අන්‍වද්ධමාසං උද්දෙසං ආගච්ඡති යත්‍ථ අත්‍ථකාමා කුලපුත්තා සික්ඛන්ති තිස්සො ඉමා භික්ඛවෙ සික්ඛා අධිසීල සික්ඛා, අධි චිත්ත සික්ඛා, අධි පඤ්ඤා සික්ඛා’ යන මෙහි සාධක දෙඅඩ ශික්‍ෂා පද සියය එක් අධිශීල ශික්‍ෂාවම වෙයි. ඒ මගින් හික්මෙන්නේ ද, ත්‍රිවිධ ශික්‍ෂාවම හික්මෙන්නේ යයි දක්වයි. ශික්‍ෂාවන්ට ඇතුළත් බැවිනි. තව ද එක් ඇත් පියවරක සතර කොටසින් එක් කොටසක බැසගත්තා වූ ද, දෙවැනි තුන්වැනි සිවැනි කොටස්වල බැසගත්තා වූ ද, හිවල් - සා - මුව ආදීන්ගේ සෑම පා සටහනක්ම ඇත් පා සටහනෙහි ඇතුළත් කළ හැකිවාක් මෙන්, ඇත් පා සටහනින් නො මිදී එය ඇතුළටම ඇතුළත් වූ හෙයිනි. එපරිද්දෙන් ම, එකක් වූ ද, දෙකක් වූද තුනක් වූද සතරක් වූ සත්‍යයන්හි නැතිනම් චතුරාර්ය සත්‍යයන්හි සියලු කුසල ධර්මයන් චතුරාර්ය සත්‍යයෙහි ඇතුළත් කළ හැකි වන්නේ ය. ඒ සඳහා සබ්බෙ තෙ චතුසු අරිය සච්චෙසු සංගහං ගච්ඡන්ති යන්න වදාළහ.
දුක්ඛ අරිය සච්චෙ ආදී උද්දේස පදයන්හි ද, ජාති පි දුක්ඛා ආදී වූ නිර්දේශ පදයන්හි ද යමක් කිවයුතු ද ඒ සියල්ල විශුද්ධි මාර්ගයෙහි කියන ලද්දේමය. එසේ වුවද මෙහි දේශනානුක්‍රමය දතයුත්තේය.
යම්සේ දක්‍ෂ වූ කුලුපොත්තෙක් හොඳින් වැඩුණු උණගසක් දැක සතරට කපා, එයින් තුන්කොටසක් තබා එක් කොටසක් ගෙන, කොටස් පහකට සිඳින්නේද, එයින් සතරක් තබා එකක් ගෙන පලමින් පතුරු පහක් කරන්නේද, එයින් සතරක් තබා එකක් ගෙන එයද බඩ පැත්ත හා පිටපොත්ත පැත්ත වෙන්වන සේ දෙකට පලයිද, එසේ පිටභාගය තබා බඩපැත්ත ගෙන එයින් සුමුඟු (කුඩා පෙට්ටි) විජිනිපත්, තල්වට, තල්අතු (වටාපත්) ආදී නන් වැදෑරුම් භාණ්ඩ කරන්නේ ද, වෙනස් කරන්නේ ද, හෙතෙම ඉතිරි පිට කොටස ද, ඉතිරි කෑලි සතර ද, ඉතිරි උණ කොට කෑලි හතර ද අනෙක් පතුරු කොටස් තුන ද, කර්මාන්ත සඳහා ප්‍රයෝජනයට නොගන්නේ යයි නො කිව යුතුය. එක්වරම ප්‍රයෝජනයට නොගත හැකිය. ක්‍රමයෙන් ඒවා ද ප්‍රයෝජනයට ගනී.
මෙසේම මේ මහතෙරුන් වහන්සේ ද, කුලුපොත්තෙක් මහත උණ ගහක් ලැබී සතරකට කොටස් කළාක් මෙන්, මේ මහත් වූ සූත්‍රය (මාතෘකා වශයෙන්) ගෙන චතුරාර්ය සත්‍ය වශයෙන් මාතෘකා වශයෙන් තැබීය. කුලුපොත්තා තුන් කොටසක් තබා එකක් ගෙන, කොටස් පහකට වෙන්කලාක් මෙන් තෙරුන්වහන්සේ ආර්ය සත්‍ය තුනක් තබා එක් දුක්ඛ සත්‍යය පමණක් ගෙන ස්කන්ධ වශයෙන් පස් අයුරෙකින් කොටස් කළේය. නැවත ඒ කුලුපොත්තා කොටස් සතරක් තබා එක් කොටසක් ගෙන පහකට පැලුවේද, එපරිද්දෙන් තෙරුන්වහන්සේ සතර අරූප ස්කන්ධයන් තබා රූපස්කන්ධය පමණක් ගෙන විභාග කරන්නේ, සතරමහා භූතයෝ ද, සතරමහා භූතයන්ගේ උපාදාය රූපය යයි ආකාර පසෙකින් විස්තර කළහ. නැවත ඒ කුලුපොතු තෙමේ පතුරු සතර තබා එකක් ගෙන බඩ පැත්ත හා පිට පැත්ත යයි දෙකට පැලීද එපරිද්දෙන් තෙරුන්වහන්සේ උපාදාය රූපයද ධාතු තුන ද තබා එක් පඨවී ධාතුවම විභාග කරන්නාහු, අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙපරිද්දෙකින් දැක්වූහ.
යම්සේ කුලු පොත්තා පිට භාගය තබා ඇතුළු භාගය ගෙන නන් වැදෑරුම් භාණ්ඩ තැනී ද එපරිද්දෙන් තෙරුන්වහන්සේ බාහිර පඨවි ධාතුව තබා, අධ්‍යාත්මික පෘථිවි ධාතුව (පඨවි) විභාගකොට දැක්වීම සඳහා, කතමාචාවුසො, අජ්ඣන්තිකා පඨවි ධාතු ආදිය වදාළහ.