පච්ඡා භත්තං බතට පසුව, පිණ්ඩපාත පටික්කන්තො පිඬුසිඟා යාමෙන් වෙන්වූයේ, වැළකුනේ, පල්ලංකං ආභුජිත්වා ඌරු බද්ධාසනය බැඳ උජුං කායං පණිධාය ශරීරය කෙලින් තබා, දහඅටක් වූ කොඳුඇට කොනින් කොන පිහිටුවා, මෙසේ සිටින්නහුගේ සම්-මස්-නහර නො නැමී කෙළින් සිටී. එකල්හි ඔහුට වරින් වර වේදනා නූපදියි. වේදනා නූපදනා කල්හි සිත එකඟ වෙයි. කමටහන නො පෙරළෙයි. කමටහන් වැඩීමට තරවීමට පැමිණෙයි.
පරිමුඛං සතිං උපට්ඨපෙත්වා කර්මස්ථානයට අභිමුඛව සිහිය පිහිටුවා, මුඛ සමීපයෙහි හෝ කොට යන අර්ථයි. විභංගයෙහි අයං සති උපට්ඨිතා හොති සුපට්ඨිතා, නාසිකග්ගෙවා මුඛ නිමිත්තෙ වා තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’ යනුවෙන් කීහ. නොහොත් පරීති පරිග්ගහට්ඨො මුඛන්ති නීන්යානට්ඨො - සතීති උපට්ඨානට්ඨො තෙන වුචචති පරිමුඛං සතිං’ මෙසේ පටිසම්භිදා මාර්ගයෙහි කී නයින් ද මෙහි අර්ථ දතයුතු. ගන්නා ලද හා නික්මයාම ඇති සිහිය ඇතිව, යනු කෙටි අදහසයි.
අභිජ්ඣං ලොකෙ යනු බිඳීම් අර්ථයෙන් පංච උපාදානස්කන්ධ ලෝකයයි කියයි. එහෙයින් පංච උපාදානස්කන්ධයන් කෙරෙහි රාගය දුරුකොට, කාමච්ඡන්දය සිඳ දමා යනු මෙහි අර්ථයයි. විගතාභිජ්ඣෙනාති සිඳ දැමීම් වශයෙන් ප්රහීණ බැවින් පහවූ අභිධ්යාව ඇතිව චක්ෂුර් විඥානය සමාන වුයේ නොවේ යන අර්ථයි. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති යනු අභිධ්යාවෙන් සිත සම්පූර්ණයෙන් මුදයි. යම්සේ අභිධ්යාව මුදන්නේත් නැවත නොගන්නේත් යන අර්ථයි. මෙසේ කරන්නේය යන අදහසයි. බ්යාපාද පදොසං පහායාති ආදියෙහි ද මේ ක්රමයයි.
මෙයින් සිත විකෘතියට පැමිණෙයි. කුණු කසළ ආදිය මෙන් පළමු ස්වභාවය හරී. බ්යාපාදො විකාරයට පැමිණීමෙන් දූෂ්ය වෙයි. අනුන් හෝ දූෂ්ය කෙරෙයි. විනාශ කෙරෙයි. පදොසො මේ දෙකින්ම ක්රෝධය හඳුන්වයි. ථීනං සිතේ ගිලන් බවයි. මිද්ධං සිතිවිලිවල ගිලන් බවයි. ථීනයද මිද්ධයද ථීනමිද්ධං නමි. ආලොක සඤ්ඤී යනු දහවල් දුටු එළිය රාත්රියෙහි ද හැඳිනීමෙහි සමත් වූ, පහ වූ නීවරණ ඇති. පිරිසිදු වූ සංඥාවෙන් යුක්ත වූයේ සතො සම්පජානො සිහියෙන් ද නුවණින් ද සමන්විත වූ, මේ දෙකම ආලෝක සංඥාවට උපකාර වේ. සිත විසිරී යන උද්ධච්චයද සැක සංකා ඇති කුකුස් බවද උද්ධච්ච කුක්කුච්ච වේ. තිණ්ණවිචිකිච්ඡො සැකය දුරුකොට, සැකය ඉක්මවා සිටියේ, මේ කෙසේද? මෙය පවතින්නේ ද? නො පවතින්නේද යන්න අකථංකථී නම් වේ. කුසලෙසු ධම්මෙසු නිවැරදි ධර්මයන්හි, මොව්හූ කුසලයෝද? කුසල් වන්නේ කෙසේද? ආදී වශයෙන් සැක නො කරයි යන අර්ථයි. මේ මෙහි කෙටි සටහනයි. නැවත මේ නීවරණයන්හි වචනාර්ථ ලක්ෂණාර්ථ භේදයෙන් යමක් කිවයුතු වේද ඒ සියල්ල විශුද්ධි මාර්ගයෙහි දැක්වේ.
පඤ්ඤාස දුබ්බලී කරණෙ මෙම පංච නීවරණ ඉපදීමෙන් නුපන් ලෞකික ලෝකෝත්තර ප්රඥාවට උපදින්ට ඉඩ නොදේ. උපන්නා වූ අෂ්ට සමාපත්ති හෝ පංච අභිඥාවන් මුලින් උපුටා හෙලති. එහෙයින් ප්රඥාව දුර්වල කෙරේ යයි කියනු ලැබේ. තථාගතපදං ඉතිපි යනු මෙය තථාගතයන්ගේ ඤාණපදය ඤාණ වලඤ්ජනය නුවණින් ඇක්මුණු තැනයයි කියනු ලැබේ. තථාගත නිසෙවිතං තථාගතයන් වහන්සේගේ නුවණ නමැති ඉළයෙන් ගටනා ලද තැනෙකි. තථාගත රඤ්ජිතං යනු තථාගතයන්ගේ නුවණ නමැති දළයෙන් ඉරි ඇඳි තැනෙක.
යථාභූතං පජානාති ස්වභාව වූ පරිද්දෙන් දැනගනී. නත්ථෙවතාව අරියසාවකො නිට්ඨං ගතො හොති මේ ධ්යානාභිඥා බාහිරකයන් හා සාධාරණයෝය. ඒ තාක් නිමාවට නො ගියේ වෙයි. මාර්ග ක්ෂණයෙහිද අවසන් නො කළ කටයුතු ඇති බැවින් ඒ තාක් නිමාවට නොගියේ වේ. අපි ච ඛො නිට්ඨං ගච්ඡති නැවත ද වනාහි මාර්ග ක්ෂණයෙහි මහා ඇතු දක්නා වූ නාග වනිකයා මෙන් භාග්යවතුන් වහන්සේ සම්යක් සම්බුද්ධයහයි මේ ආකාරයෙන් තුන් රුවන්හි නිමාවට යෙයි.
නිට්ඨංගතො හොති මෙසේ මාර්ග ක්ෂණයෙහි නිෂ්ඨාවට යන්නේ අර්තහත් ඵල ලක්ෂණයෙහි අවසන් කළ සියලු කිස ඇති බැවින් හැම අයුරකින්ම තුන්රුවන්හි නිමාවට ගියේ වේ. ඉතිරිය සියලු තන්හි ප්රකට අර්ථ ඇත්තේය.
චූලහත්ථිපදොපම සූත්ර වර්ණනාව නිමියේය.
මහාහත්ථිපදොපම සූත්ර වර්ණනාව
එවම්මෙ සුතං යනු මහා හත්ථිපදොපම සුත්රයයි. එහි ජංගලානං යනු මහාපොළොවෙහි හැසිරෙන්නා වූ, පාණිනං පා සහිත ප්රාණීන්ගේ, පද ජාතානි පදයෝ, සමොධානං ගචඡන්ති රැස්වීමට සහභාගිවීමට යති. අග්ග මක්ඛායති යනු ශ්රේෂ්ඨ යයි කියනු ලැබේ. යදිදං මහන්තන්නෙ යනු මහත් බැවින් අග්රයයි කියනු ලැබේ. ගුණ වශයෙන් නොවේ යන අර්ථයි. යෙ කෙචි කුසලා ධම්මා කිසියම් ලෞකික ලෝකෝත්තර කුශල ධර්මයෝ, සංගහං ගචඡන්ති මෙහි සතරාකාරයකින් සංග්රහ කෙරේ. සජාති සංග්රහ, සඤ්ජාති සංග්රහ, කිරිය සංග්රහ, ගහණ සංග්රහ යන වශයෙනි. ‘සියළු ක්ෂත්රියෝ එත්වා, සියළු බ්රාහ්මණයෝ එත්වා යනුවෙන් යොදන්නේ සජාති සංග්රහ නම් වේ. ‘සියලු කොසොල් රට වාසීහු සියලු මගධරට වාසීහු’ මෙසේ යොදන්නේ උපන් ප්රදේශ, සඤ්ජාති වශයෙනි. සියලු රියැදුරෝ සියලු ධනුර්ධරයෝ මෙසේ ක්රියා වශයෙන් යොදන්නේ කිරිය සංගහ නම් වේ. චක්ඛායතනය කවරේද? ස්කන්ධ ග්රහණයට යන්නේද, චක්ඛායතනය රූපස්කන්ධ ග්රහණයට යන්නේද? මේ ආදී වශයෙන් පවතින්නා වූ, පැවතිය යුතු වූ චක්ඛායතන, රූපස්කන්ධ, ආදී වශයෙන් සංග්රහ කරන මෙය ගහණ සංග්රහ නම් වේ. මෙතැන්හි දී මෙයම අදහස් කරන ලදී.