අරියපරියෙසන සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං මේ පාසරාසි සූත්‍රයයි. එහි සාධු මයං ආවුසො යනු ආයාචනා කරමින් කියත්. මේ දනව්වැසි පන්සියයක් භික්‍ෂූහු දශබලධාරීන් වහන්සේ දකින්නෙමුයි සැවැත්නුවරට පැමිණියාහුය. මේ පිරිස ශාස්තෲන් වහන්සේ දුටහ. එහෙත් ධර්මකථාවක් නො ඇසූහ. ඔවුන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය නිසා අපට ධර්මකථාවක් වදාරන්නැයි කියන්නට අපොහොසත් වූහ. බුදුවරු නම් ගෞරව කළයුත්තේමය. තනිව හැසිරෙන මෘගරාජන් වූ සිංහයෙකු බඳුය. මදය ඇති ඇතෙකු මෙනි. පෙණය කළ සර්පයකු මෙනි. ගිනිකඳක් මෙනි. එබැවින් ළංවිය නොහැක. මෙසේ කියන ලද්දේය.
අසිවිසො යථා ඝොරො - මිගරාජාච කෙසරී
නාගො ච කුඤ්ජරො දන්තී - එවං බුද්ධා දුරාසදා
දරුණු ආශීර්විෂයක්හු වෙත, ශෙර සිංහයකු වෙත, දන්තී නම් වූ ඇතකු වෙත ළංවිය නොහැක්කේ ද, එසේ සර්වඥ බුදුවරයන් වෙත ද ළංවිය නො හැක්කේය.
මෙසේ ළංවිය නො හැක්කා වූ බුදුරජුන් වෙත යාඥා කරන්නට නො හැකි වූ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්ද හිමියන් වෙත යාඥා කරන්නාහු සාධූ මයං ආවුසො යයි කීහූ.
අප්පෙවනාම ලබන්නෙමු නම් ඉතා යහපත්ය. කුමක් හෙයින් ඒ තෙරවරුන්ට රම්මක බමුණාගේ ආශ්‍රමයට පැමිණෙන්න යයි ආනන්ද තෙරුන් කීයේ ද, බුදුන් වහන්සේගේ ක්‍රියා තමන්ට පළපුරුදු බැවිනි. අද ශාස්තෲන් වහන්සේ දෙව්රම වැස පූර්වාරාමයේ දී දිවා විහාර කරන්නේය. අද පූර්වාරාමයෙහි වැස දෙව්රමැ දිවා විහාර කරන්නේය. අද හුදෙකලාවම පිඬු පිණිස පිවිසෙන්නේය. අද භික්‍ෂු සංඝයා පිරිවරා මෙකල ජනපද චාරිකාවේ සැරිසරන්නේය. මෙසේ දකින්නට ඔහුට චෙතොපරියාය ඤාණය තිබේද? නැත. අනුමාන බුද්ධියෙන් මෙතෙක් කරන ලද ක්‍රියාවන් පිළිබඳ දැනීමෙන් මේ පිළිවෙළ දනියි. යම් දවසක භාග්‍යවතුන් වහන්සේ ජේතවනයෙහි වැස පූර්වාරාමයෙහි දිවා විහාරය කරනු කැමති වේද, එකල්හි සේනාසන පරිෂ්කාර භාණ්ඩයන්ගේ සකස්කරන අයුරු දැක්වෙයි. තෙරුන්වහන්සේ මුසුන් කසල දමන කූඩ ආදිය සකස් කෙරේ. පූර්වාරාමයේ වැස දෙව්රම් වෙහෙර දිවා විහාරය කරනු කැමති වේද, එකල්හි ද මේ ක්‍රමයමැයි.
යම් දවසක හුදෙකලාව පිඩු පිණිස හැසිරීම කැමති වේද, එදා උදෙන්ම සිරුර පිළිදැගුම් කොට, ගඳකිළියට වැඩමවා දොර වසා ඵල සමාපත්තියට වඩා හිඳියි. අද භාග්‍යවතුන් වහන්සේ හික්මවිය යුත්තෙකු දැක හුන්නේ ය යන සංඥාව දැන, අද භාග්‍යවතුන් වහන්සේ තනිවම පිඬුසිඟා වඩින්නේ ය. තෙපි පිඩුසිඟා යාමට, භික්‍ෂාචාරයට සැරසෙවු යයි භික්‍ෂූන්ට දැනුම් දෙයි. යම්කිසි දවස භික්‍ෂූන් පිරිවරා වැඩමවනු කැමැත්තේ වේද, එදින ගඳකිළියේ දොර අඩක් පමණක් වසා ඵලසමවත් සුවය විඳිමින් සිටියි. ආනන්ද තෙරුන් එයින් දැන පා සිවුරු ගෙන පිඬු පිණිස හැසිරීමට සූදානම් වන්නැයි භික්‍ෂූන්ට දන්වයි. යම්කිසි දවසක ජනපදචාරිකාවේ පිවිසෙනු කැමති වන්නේ ද එදිනට පිඩු දෙක තුනක් වැඩිපුර වළඳා සක්මනට නැගී ඔබිනොබ සක්මන් කරති. ඒ සලකුණෙන් ආනන්ද තෙරුන්, භාග්‍යවතුන් වහන්සේ ජනපද චාරිකාවේ හැසිරෙන්නේ ය. ඔබලාද කළයුතු දේ දනිවු යයි භික්‍ෂූන්ට දන්වයි.
භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම බෝධියෙහි විසිවසක් අනිබද්ධවාසික වූයේය. පසුව විසිපස් වසක් සැවැත්නුවරම ඇසුරුකොට වාසය කරන්නේ එක් දවස දෙතැනක් පරිභෝග කරති. දෙරම් වෙහෙර රාත්‍රියෙහි වැඩසිට දෙවන දවසේ භික්‍ෂු සංඝයා පිරිවරා දකුණු දොරින් පිණ්ඩපාතය සඳහා පිවිස, පෙරදිග දොරින් නික්ම පූර්වාරාමයෙහි දිවා විහරණය කරයි. පූර්වාරාමයේ රාත්‍රියේ වැඩසිට දෙවන දවසේ නැගෙනහිර දොරටුවෙන් සැවැත්නුවර පිඬු පිණිස හැසිර, දකුණු දොරින් නික්ම දෙව්රම දිවා විහාරය කරති. කවර හෙයින් ද, දෙපසම මහජනයාට අනුකම්පාව පිණිසය. පුරුෂයෙකු වශයෙන් ජීවත්ව අනේපිඬු සිටාණන් මෙන් ද, ස්ත්‍රියක වශයෙන් ජීවත්ව විශාඛාව මෙන් ද තථාගතයන් උදෙසා ධන පරිත්‍යාග කළ වෙනත් පුරුෂයකු හෝ ස්ත්‍රියක නැත. එබැවින් භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කිරීම පිණිස මේ දෙතැනම පරිභෝග කළ සේක. මේ කියන දවසේ ජේතවනයේ විසූහ. එහෙයින් ආනන්ද ස්ථවිර තෙමේ අද භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිර, සවස් කාලයෙහි සිරුර සේදීම සඳහා පැදුන් කොටුවට යන සේක. එහිදී මම ඇඟ සෝදා සිටියා වූ භාග්‍යවතුන් යැද, රම්මක බමුණාගේ අසපුවට ගෙන යන්නෙමි. එහිදී මේ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් දැහැමි කථා අසන්නට හැකි වන්නේ යයි සිතා එම භික්‍ෂූන්ට (එහි යන ලෙස) මෙසේ කීහ.
මිගාරමාතු පාසාදො විශාඛාව විසින් ඉදිකළ ප්‍රාසාදය. ඕ තොමෝ මිගාර සිටුවරයා විසින්, මව් තන්හි තැබූ බැවින් මිගාර මාතා යයි කියයි. පටිසල්ලානා වුට්ඨිතො ඒ ප්‍රාසාදයෙහි දෑගසව්වන් ගේ සැතපෙන කාමර දෙක මැද, භාග්‍යවතුන් වහන්සේගේ ගඳකිළිය වූයේ ය. තෙරුන්වහන්සේ දොර විවරකොට ඇතුළු කාමරය හැමද පරවුණු මල් කසළ බැහැරකොට ඇඳ පුටු ආදිය සකසා පණවා ශාස්තෲන් වහන්සේ දැන් වූ කල්හි, ශාස්තෲන් වහන්සේ ඇතුළු ගැබට පිවිස සතිසම්පජඤ්ඤයෙන් යුතුව, දකුණු පසට හැරී සිංහ සෙය්‍යාවට පැමිණ වෙහෙස නිමවා නැගිට ඵල සමවතට සමවැද හිඳ, සවස් භාගයෙහි එයින් නැගී සිටියේය. පටිසල්ලාණ වුට්ඨිතො යනු ඒ සඳහා කියන ලදී.
පරිසිඤ්චිතුං යමෙක් වනාහි හුණු මැටි ආදියෙන් අත් පා අවයව උලමින්, මූලාදියෙන් ගටමින් නාන්නේද, හෙතෙම ජලස්නානය කරන්නේ යයි කියනු ලැබේ. යමෙක් එසේ නොකොට ප්‍රකෘතියෙන්ම නහා ද හෙතෙම පරිෂේක කෙරේයයි කියනු ලැබේ. බුදු සිරුරෙහි එසේ හළයුතු රජස් දැලි ආදිය නො තැවරෙයි. එහෙත් ඍතු ගැනීම සඳහා තථාගතයෝ හුදෙක් ජලයට බසිති. ගත්තානි පරිසිඤ්චිතුං යන්න එබැවින් කීහ. පුබ්බ කොට්ඨකො පැදුන් කොටුව,