ගාහගාහකාදිවණ්ණනා
මේ පස්වදෑරුම් සංසර්ගයන් අතුරෙන් භික්‍ෂූන් සමග භික්‍ෂුවගේ ශ්‍රවණ, දර්ශන, සමුල්ලාප සම්භෝග, කාය සංසර්ග නිරතුරුව සිදුවන්නේය. භික්‍ෂුණීන් සමග කාය සංසර්ගය තබා සෙසු සංසර්ගයෝ කලින් කල වෙති. උපාසිකාවන් සමග ද එසේයි. උපාසකයන් සමග සියල්ලෝම කලින් කල වෙති. ඔවුන් ක්ලේශ වසඟ නොවී සිත රැකිය යුතුය.
එක් භික්‍ෂුවක් ග්‍රහ ග්‍රාහක වෙයි. එක් භික්‍ෂුවක් ග්‍රාහ වුත්තක වෙයි. එක් භික්‍ෂුවක් මුක්ත මුක්තක වෙයි.
ඔවුන් අතරෙහි යම් භික්‍ෂුවක් කරා මිනිස්සු ආමිසයෙන් සංග්‍රහ කිරීම් වශයෙන් පැමිණෙත් ද, භික්‍ෂුවද මල් ගෙඩි ආදියෙන් සංග්‍රහ කෙරේ ද, මේ තෙමේ ගාහ ගාහක නම් වේ. යම්කිසි මිනිසුන් පිරිසක් යම්කිසි භික්‍ෂුවක් කරා කී පරිද්දෙන් පැමිණේද, භික්‍ෂුව ද දක්‍ෂිණෙය්‍ය (දීමට සුදුස්සා වශයෙන්) පැමිණේද, මේ තැනැත්තේ ග්‍රාහ මුත්තක නම් වේ. යම් භික්‍ෂුවකට මිනිස්සු සිව්පසය දෙත්. භික්‍ෂූහු මල් ගෙඩි ආදිය දී සංග්‍රහ කෙරේද, මෙ තෙමේ මුත්තගාහක නම් වේ. යම් භික්‍ෂුවකට මිනිස්සු දීමට සුදුස්සන් වශයෙන් සළකා සිව්පසය දෙත් ද, භික්‍ෂුව ද චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙරුන් මෙන් දක්ඛිණෙය්‍ය වශයෙන් වළඳීද? මේ තෙමේ මුක්ත මුත්තක නම් වේ.
එක් උපාසිකාවක් චුල්ල පිණ්ඩපාතිකතිස්ස තෙරුන්ට දොළොස් වසරක් පිණ්ඩපාතයෙන් උපස්ථාන කළේය. එක් දවසක් ගමේ ගින්නක් ඇති වී උපාසිකාවගේ ගෙය දැවිණ. අනෙක් කුලුපග භික්‍ෂූන් පැමිණ කිමෙක්ද, උපාසිකාවෙනි, යම්කිසි දෙයක් රැක ගන්නට පුළුවන් වීද යනුවෙන් පිළිසඳර කථා කළහ. මිනිස්සු අපගේ මවගේ කුලුපග තෙරුන් වහන්සේ වළඳන වේලාවටම එන්නේ යයි කීහු. තෙරුන් වහන්සේ ද පිඬු පිණිස හැසිරෙන වේලාවටම වැඩියහ. උපාසිකාවද බිත්ති සෙවනෙහි හිඳුවා භික්‍ෂාව සකස්කොට දුන්නීය. තෙරුන්වහන්සේ බත්කිස නිමවා නික්ම ගිය කල්හි මිනිස්සු අපේ මවගේ කුලුපග භික්‍ෂුව වළඳන වේලෙහිම පැමිණියාහු යයි කීහ. උපාසිකා තොමෝ ඔබලාගේ කුලුපග භික්‍ෂූහු ඔබලාටම සුදුසුය. මගේ කුලුපග භික්‍ෂුව මටම සුදුසුයයි කීවාය.
ආයුෂ්මත් මන්තාණිපුත්‍ර තෙරුන් වනාහි මේ පස්වැදෑරුම් සංසර්ගයන්ගෙන් අසංසර්ග වුයේම ග්‍රාහ මුත්තක ද මුත්තමුත්තක ද වූයේය. උන්වහන්සේ අසංසට්ඨ වූයේ ද, එපරිද්දෙන් අනෙක් භික්‍ෂූන්ට ද අසංසට්ඨ කථාවම කරන්නේ විය.
ආරද්ධවිරියො දැඩිව ගන්නා ලද වීර්යය ඇත්තේ සම්පූර්ණ වූ කායික චෛතසික වීර්යය යන අර්ථයි. යම්කිසි භික්‍ෂුවක් ගමනෙහි දී උපන් ක්ලේශයෝ පැමිණෙන්නට නො දේද? සිටීමෙහි උපන් ක්ලේශය හිඳීමට හෝ හිඳීමෙහි උපන් ක්ලේශ නිදීමට හෝ පැමිණෙන්නට නොදේද, මන්ත්‍රයකින් කළු නයෙකු පෙළාගන්නෙකු මෙන් ද, සතුරෙකු බෙල්ලෙන් අල්ලා ගන්නාක් මෙන් ද හැසිරේද මෙතෙම ආරද්ධවීරිය නම් වේ. මේ ස්ථවිරයෝ ද එබඳු වූහ. භික්‍ෂූන්ට ද එසේම වීර්යාරම්භ කිරීමට අවවාද කරන්නෙක් වූයේය.
සීල සම්පන්නො යනාදියෙහි සීලං යනු සිව්පිරිසිදු ශීලයයි. සමාධි විදර්ශනාව පාදක කොටගත් අෂ්ට සමාපත්තියයි. පඤ්ඤා යනු ලොවී ලොව්තුරා නුවණයි. විමුත්ති යනු ආර්ය ඵලයයි. විමුත්ති ඤාණදස්සනං යනු එකුන්විසි වැදෑරුම් ප්‍රත්‍යවේක්‍ෂා ඤාණයයි. ස්ථවිර තෙමේ තමනුත් ශීලාදියෙන් සම්පූර්ණව, සෙසු භික්‍ෂූන්ට ද ශීල සම්පන්න වන ලෙස සීලාදී කථා වදාරයි.
ඒ මේ ස්ථවිර තෙම දසකථා වස්තූන්ගෙන් අවවාද දෙයි. ඔවාදකො යමෙක් අවවාද කරන්නේම වේද, සියුම්ව අර්ථය පරිවර්තනය කර දක්වන්නට නොහැකි වේද? මේ ස්ථවිරයෝ එසේ නොවේ. මේ ස්ථවිරයන් වනාහි ඒ දසකථා වස්තූන් විස්තර කරන්නට හැකිවන බැවින් විඤ්ඤාපක නම් වේ. තවත් කෙනෙකුට දක්වන්නට හැකිවෙයි. කරුණු දක්වන්නට නො හැකි වෙයි. මේ ස්ථවිරයෝ කරුණු ද දක්වති. ඒ නිසා සන්‍දස්සක නම් වේ. තවත් කෙනෙක් විද්‍යමාන කරුණ දක්වයි. එහෙත් තේරුම් ගන්වන්නට නො හැකි වෙයි. මේ ස්ථවිරයෝ තේරුම් ගන්වන්නට ද සමත් වේ. ඒ අනුව සමාදපක නම් වේ. නැවත එසේ සමාදන් කරවා ඒ කථා වස්තූන්හි උත්සාහය ඉපදවීම් වශයෙන් භික්‍ෂූන් තෙදගන්වන නිසා සමුත්තෙජක නම් වෙයි. උත්සාහය උපන් කල්හි ගුණ කියා සතුටු කරවත්නුයි සම්පහංසක නම් වෙයි.