තිවිධපවිවෙකවණ්ණනා
පවිවිත්තො යනු කාය පවිවේකය, චිත්ත පවිවේකය, උපධි පවිවේකය යන මේ තුන් පවිවේකයන්ගෙන් සමන්විත වූයේ යනුයි. එක්වන්ව යයි, හුදෙකලාවම සිටියි. හුදෙකලාවම නිදයි. හුදෙකලාවම පිඬු පිණිස හැසිරෙයි. හුදෙකලාවම පෙරළා එයි. හුදෙකලාවම සක්මන් කරයි. හුදෙකලාවම හැසිරෙයි. හුදෙකලාවම වාසය කරයි. මේ වූ කලී කාය පවිවේකය නම් වෙයි. අෂ්ට සමාපත්තිය චිත්ත පවිවේකය නම් වේ. නිර්වාණය උපධි පවිවේක නම් වේ. ‘කාය පවිවේකොච වවකට්ඨ කායානං, නෙකඛම්මාහිරකානං, චිත්ත පවිවෙකො ච පරිසුද්ධ චිත්තානං, පරම වොදානප්පත්තානං, උපරි පවිවෙකොච නිරූපධීනං පුග්ගලානං විසංඛාර ගතානං’ යනු එහෙයින් කියන ලදී. පවිවෙක කථන්ති යනු භික්‍ෂූන්ට ද යළි මේ පවිවේක කථාව කරන්නේ,
පඤ්චවිධසංසග්ගවණ්ණනා
අසංසට්ඨො යනු පස් වැදෑරුම් සංසර්ගයන්ගෙන් වෙන් වූයේ, සංසර්ගය පස්වැදෑරුම්ය. ශ්‍රවණ සංසර්ගය (ශබ්දයෙහි ඇලීම), දර්ශන සංසර්ගය (දැකීමෙන් ඇලීම), සමුල්ලාප සංසර්ගය, (මිථ්‍යා විතර්කයන්හි ඇලීම) සම්හෝග සංසර්ගය (සම්භෝගයෙහි ඇලීම), කාය සංසර්ගය (ස්පර්ශයෙහි ඇලීම) යනු පස්වැදෑරුම් සංසර්ගයෝය. ඔවුන් අතුරෙහි මෙහි යම් භික්‍ෂුවක් අසවල් ගමේ හෝ නියම්ගමේ හෝ රූපශ්‍රීයෙන් යුත්, දැකුම්කළු, ප්‍රසාදය එළවන, ලස්සන පාටින් යුත් ස්ත්‍රියක් හෝ තරුණියක් ඉන්නේ යයි අසයි. අසා ඒ පිළිබඳ ඇල්මෙහි ගැලෙයි. විශේෂයෙන් ඇලෙයි. බ්‍රහ්මචරියාව ආරක්‍ෂා කරන්නට නො හැකි වෙයි. ශික්‍ෂාවන් දුර්වල වී එය ප්‍රකාශ නො කොට ගිහි බවට පත්වෙයි. මෙසේ අනුන් විසින් කියන ලද රූප සම්පත්තිය අසා හෝ තමන් විසින් සිනහසෙන, කථාකරන, ගී කියන හඬ අසන්නහුගේ ශ්‍රෝත විඤ්ඤාණයෙහි උපන්නා වූ රාග සිතිවිල්ල සවන සංසග්ග නම් වෙයි. මෙය අනිත්‍ථිගන්‍ධ පසේ බෝධි සත්ත්වයන්ගේ ද පංචග්ගල නම් ලෙන්වැසි තිස්ස සාමණේරයන්ගේ වශයෙන් ද දතයුතුයි.
සාමණේර තෙම අහසින් යන්නේ, ගිරිගම් වැසි කම්කරු දියණියන් වූ කුමරියන් පස්දෙනා පියුම් විලට ගොස් නා මල් පැළඳ මිහිරි හඬින් ගැයු ගී හඬ අසා කාම රාගයෙන් විඳින ලද්දේ විශේෂයෙන් පිරිහී අනතුරට පත් වූයේය.
මේ ශාසනයෙහි කිසියම් භික්‍ෂුවක් තමන්ම නො අසයි. (එහෙත්) ලස්සන රූපයක් ඇති ප්‍රසාදය එළවන, උතුම් වූ ඡවි වර්ණයෙන් පැහැපත් වූ හොඳට වැඩුණු අඟපසඟ ඇති ස්ත්‍රියක් හෝ තරුණියක් තමන්ම දකී. හෙතෙම ඈ දැක ඒ රූපයෙහි ඇලෙයි. වශී වෙයි. බඹසර රකින්නට නො හැකි වෙයි. ශික්‍ෂාවන් දුබල බවට පැමිණෙයි. ශික්‍ෂාවන් දුබල නොකොට ගිහි බවට පැමිණෙයි. මෙසේ විසභාග රූපය බලන්නාට චක්ෂුර් විඥාන වීථි වශයෙන් උපන් රාගය දර්ශන සංසර්ගය නම් වෙයි. එය මෙසේ දතයුතුයි.
එක් තරුණ භික්‍ෂුවක් කාල දීඝවාපී විහාරයට පාමොක් උදෙසීම පිණිස ගියේ ගුරුවරයා ඔහුට වන අන්තරාය දැක අවසර නුදුන්නේ. හෙතෙම නැවත නැවත ඇවිටිලි කරන්නේ, ඉදින් ඔබ ඇතුලුගම නො හැසිරෙන්නෙහි නම් තොපට අවසර දෙන්නෙමි’යි කීය. භික්‍ෂුව එය පිළිගෙන අවසර ලබා, උද්දේසය නිමි කල්හි ආචාර්යයන් වැඳ යන්නේ, ගුරු හාමුදුරුවෝ මේ ගමෙහි හැසිරෙන්නට ඉඩ නො දෙයි. කවර කරුණක් නිසාදැයි සිවුරු පොරවා ගමට පිවිසියේය. එක් කුල දියණියක් කහ වස්ත්‍රයක් පොරවා ගෙදර සිටියේ, තරුණ භික්‍ෂුව දැක හටගත් රාග ඇත්තේ කෙණෙස්සෙන් කැඳ ගෙනැවිත් භික්‍ෂුවගේ පාත්‍රයෙහි බහා නැවතී ඇඳෙහි හොත්තීය. එකල්හි මව්පිය දෙදෙන මේ ඇයිද දරුවයි විචාළහ. (දැන) මෙතනින් ගියා වූ භික්‍ෂුව ලබන්නේ නම් ජීවත් වන්නෙමි. නැතිනම් මිය යන්නෙමියි ඇය කීවාය. මව්පිය දෙදෙන ඉක්මනින් ගොස් ගම්දොරදී තරුණ භික්‍ෂුව නවත්වා වැඳ ස්වාමීනි නවතිනු මැනැවි. දහවල් දානය ගතමැනැවැයි කීහ. භික්‍ෂුව කම් නැත යන්නෙමියි කීය. ඔව්හූ වහන්ස, කීමට කාරණයක් ඇතැයි ඉල්ලා සිටින්නේ, අපේ ගෙදර බොහෝ ධනය ඇත. එකම දියණියක් ද සිටී. ඔබ අපගේ එකම පුතා වනු මැනැවි. සුවසේ ජීවත් වන්නට හැකියයි කීහු. තරුණ භික්‍ෂුව මට මේ පළිබෝධයෙන් ප්‍රයෝජන නැතැයි නික්ම ගියේය.
දෙමාපියෝ ආපසු ගොස් දරුව, භික්‍ෂුව නවත්වා ගැනීමට නො හැකි විය. අපි වෙනත් කැමැති කෙනෙකු බලමුයි කීහ. නැගිට කන්න බොන්නැයි කීහ. ඕ නො කැමති වන්නී සතියක් නිරාහාරව සිට කලුරිය කළාය. දෙමාපියෝ, ඇගේ සිරුර පිළිබඳව අවසන් කටයුතු කර ඒ කහ වස්ත්‍රය ළඟ පන්සලේ භික්‍ෂු සංඝයාට පූජා කළහ. භික්‍ෂූහු වස්ත්‍රය කෑලි කෑලි කපා බෙදූහ. එක් මහළු භික්‍ෂුවක් තමන් ලත් කොටස ගෙන, කැළණි විහාරයට පැමිණියේය. (යට කී) තරුණ භික්‍ෂුව ද කැළණි සෑය වැඳීම සඳහා දවල් කාලයෙහි ම එහි ගොස් සිටියේය. මහළු භික්‍ෂුව ඒ රෙදිකඩ ගෙන, මේ රෙද්දෙන් මට පෙරහනක් මසා දෙන්නැයි තරුණ භික්‍ෂුවට කීය. තරුණ භික්‍ෂුව මේ රෙදිකඩ කොහෙන් ලැබුනේදැයි මහළු භික්‍ෂුවගෙන් ඇසීය. මහළු භික්‍ෂුව සියළු ප්‍රවෘත්ති කථාව කීය. හෙතෙමේ එය අසාම මෙබඳු තැනැත්තිය සමග සංවාසය නො ලදිමියි රාග ගින්නෙන් දැවන්නේ එහිම කළුරිය කළේය.