වම්මික සූත්ර වර්ණනාව
එවම්මෙ සුතං වම්මික සූත්රයයි. එහි ආයස්මා මේ ප්රියවචනයයි. කුමාර කස්සපො ඔහුගේ නමය. කුමාර කාලයෙහි පැවිදි වූ බැවින්, භාග්යවතුන් වහන්සේ විසින් කාශ්යපයන් කැඳවවු. මේ ඵලය හෝ කන දෙය කාශ්යපට දෙවු යයි කී කල කවර කාශ්යපටදැයි ඇසූ විට) කුමාර කාශ්යපට යයි කී හෙයින්, එතැන් පටන් මහළු වූ කාලයෙහි පවා ‘කුමාර කස්සප’ යයි ම කියයි. තව ද රජුන් විසින් පෝෂණය කළ කුමාරයා බැවින් ද කුමාර කාශ්යප යයි හැඳින්වූහ. මේ වනාහි ඔහුගේ පෙර ආත්ම චරිතයේ පටන් පවසන කථාවයි -
මේ තෙරුන් වනාහි පදුමුත්තර භාග්යවතුන්ගේ කාලයෙහි සිටු පුතෙක් වුයේය. එකල එක් දවසක් භාග්යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනයෙහි එක් ශ්රාවකයකු, චිත්ර කථිකයන් අතුරෙන් අග්රස්ථානයේ පිහිටවනු දැක, භාග්යවතුන් වහන්සේට සත්දිනක් මහා දන් දී ‘භාග්යවතුන් වහන්ස, මම ද අනාගතයේ දී එක් බුදු කෙනෙකුන්ගේ ශාසනයෙක, මේ තෙරුන් වහන්සේ මෙන්, චිත්රකථික අග තනතුරු ලබන ශ්රාවකයෙක් වන්නෙමි යි ප්රාර්ථනා කොට පින් කරන්නේ කාශ්යප බුදුන් වහන්සේ ශාසනයෙහි පැවිදි වී විශේෂයක් උපදවන්නට නො හැකි විය. එය මෙසේ අසනු ලැබේ.
එකල පිරිනිවියා වූ භාග්යවතුන්ගේ ශාසනයෙහි භික්ෂූන් පස්දෙනෙක් හිණිමගක් බැඳ පර්වතයකට නැගී මහණදම් කළාහුය. එහි සංඝ ස්ථවිර තෙමේ තුන්වන දිනයෙහි රහත්බවට පැමිණියේය. දෙවෙනි ස්ථවිර තෙම සතරවැනි දවසේ අනාගාමී ඵලයට පැමිණියේය. ඉතිරි තෙනම විශේෂයක් උපදවන්නට නොහැකිව දෙව්ලොව උපන්නාහුය.
එක් බුද්ධාන්තරයක් දෙව්ලොව ද මිනිස්ලොව ද සම්පත් වළඳන්නා වූ ඔවුන් අතුරෙන් එක් අයෙක් තක්සිලාවේ රජගෙදර ඉපිද පුක්කුසාති නම් රජ වැ භාග්යවතුන් වහන්සේ උදෙසා පැවිදි වී රජගහ නුවරට එන්නේ කුම්භකාර ශාලාවෙහි භාග්යවතුන් වහන්සේගේ ධර්මය අසා අනාගාමී ඵලයට පැමිණියේය. එක් අයෙක් එක් මුහුදු පටුනෙක කුලගෙයක ඉපදී නැවකට නැගී (යන්නේ) නැව බිඳී ගිය කල්හි දැව වැහැරි කඳ ලාභ සම්පත්තියට පැමිණියේ තමන් රහත් කෙනෙකැයි සිත් උපදවා සිටි කල්හී) එක් වැඩ කැමති දේවතාවෙකු විසින් තොප රහත් කෙනෙක් නොව, යව ශාස්තෲන් වහන්සේ හමුවී ප්රශ්න විචාරවයි මෙහෙයවන ලදින් එසේ කොට රහත්ඵලයට පැමිණියේය.
තුන්වැන්නා රජගහනුවර එක් කුල දැරියකගේ කුස උපන. ඕ තොමෝ පළමුකොට මව්පියන් අයැද පැවිදිවීමට අවස්ථාව නො ලද්දී, විවාහ වීමෙන් පසුව පිහිටියා වූ ගැබ නො දන්නී ස්වාමියා සතුටුකොට ඔහුගේ අනුමැතිය ලබා භික්ෂුණීන් කෙරෙහි පැවිදි වූවාය. ඇගේ ගැබ් නිමිති දැක භික්ෂුණීන් දෙව්දත්ගෙන් (කළ යුත්ත) විචාළාහුය. හෙතෙම අශ්රමණික යයි කීය. (පසුව) දශබලධාරින් වහන්සේගෙන් විමසූහ. ශාස්තෲන් වහන්සේ උපාලි ස්ථවිරයන්ට පැවරීය. උන්වහන්සේ සැවැත්නුවරවාසී කුලන් ද, විශාඛා උපාසිකාව ද කැඳවා, ඔවුන් ලවා පරික්ෂා කරවන්නාහු (පැවිද්දෙන්) පෙර ලත් ගරභයෙක පැවිද්ද නිදොස් වූයේ යයි (ඔව්හූ) තීරණය කළහ. අධිකරණය මනාකොට කරන ලද්දේ යයි ශාස්තෲන් වහන්සේ උපාලි ස්ථවිරයන්ට සාධුකාර දුන්හ. ඕ මෙහෙණ රන් පිළිමයක් වැනි පුතකු වැදූය. ඔහු ගෙන පසේනදී කොසොල් රජු පෝෂණය කළේය. ඔහුට කස්සප යයි නම්කොට පසුකලෙක ශාස්තෲන් වහන්සේ වෙත ගෙන ගොස් පැවිදි කරවීය. මෙසේ ඔහු රජු විසින් පෝෂණය කළ කුමාරයා බැවින් ‘කුමාර කස්සප’ යයි හැඳින්වීය.
අන්ධවනෙ එසේනම් ඇති වනයෙහි ඒ වනය බුදුවරුන් දෙදෙනකුගේ කාලයෙහි අන්ධ වනයයි කියාම නො හරනා ලද නාමය පෙනේ. මේ එහි ව්යවහාරය පැහැදිලි කිරීමයි. අල්පායුෂ්ක බුදුවරුන්ගේ ශාරිරික ඒකඝන නොවේ. අධිෂ්ඨාන පරිද්දෙන් විසිරී යයි. ඒ අනුව අප බුදුන් වහන්සේ ද මම බොහෝකල් සිටියේ නො වෙමි. ස්වල්ප වූ සත්ත්වයන් විසින් මම දක්නා ලද්දෙමි. නො දක්නා ලද අය බොහෝ වෙති. ඔව්හූ මගේ ධාතූන් ගෙන ඒ ඒ තැන්වල පිදීමෙන් නිවනට මග පාදා ගන්නාහු වෙති යි පරිනිර්වාණය සමීපවන කල්හි තමන්ගේ ශරීරය ධාතු විසිරේවායි අධිෂ්ඨාන කළේය. දීඝායුෂ්ක බුදුන් වහන්සේලාගේ වනාහි රන්කඳක් මෙන් ඒකඝන වූ ධාතු ශරීරය සිටී.
කාශ්යප භාග්යවතුන් වහන්සේගේ ද එසේ සිටියහ. ඉක්බිතිව මහාජනයා රැස්ව ධාතු ඒකඝන වූයේය. වෙන් කරන්නට නොහැක. කුමක් කරන්නෙමුදැයි කථාකොට එකම සෑයක් කරන්නෙමුයි තීරණය කළහ. එක් අයෙක් සත්යොදුනක් යයි යෝජනා කළේය. මෙය ඉතා විශාලය. අනාගතයේ පිළිදැගුම් කරන්නට නුපුළුවන් වේ. යොදුන් සය, යොදුන් පහ, යොදුන් සතර, යොදුන් තුන, යොදුන් දෙක, එක් යොදුනයයි සම්මත කොට ගඩොල් කෙබඳු වන්නාහුදැයි? පිටිපස ගඩොල් රක්ත ස්වර්ණමය වූ ඒකඝන වූ ලක්ෂයක් අගනාහු විය යුතුය. ඇතුළුපස ගඩොල් පනස්දහසක් අගනාහු විය යුතුය. සිරියල් මනෝසීල මැටි සඳහා ගතයුතුය. තල තෙලින් දිය කිස කළ යුතුය. මේ අයුරින් හතර පැත්ත කොටස් හතරකට බෙදූහ. රජු එක් පැත්තක් භාර ගත්හ. රාජ පුත්ර වූ පඨවින්ධර කුමරු එක් පැත්තක් ද, ඇමතියන්ට ප්රධාන වූ සෙනෙවි තෙම එක් පැත්තක් ද, ජනපදවාසීන්ට ප්රධාන වූ සිටුවරයා එක් පැත්තක් ද භාර ගත්තේය.
ඔවුන් අතුරින් රජු ධන සම්පන්න බැවින් රන් බැහැර කරවා තමා විසින් ගන්නා ලද පැත්තෙහි කර්මාන්ත ආරම්භ කළේය. යුවරජු ද, සේනාපති ද බාරගත් පැතිවල කර්මාන්ත ඇරඹිණි. එහෙත් සිටුවරයා ගත් පැත්තේ කර්මාන්ත පමා වෙයි. මේ අතර ත්රිපිටක භාණක වූ, අනාගාමී ආර්ය ශ්රාවකයකු වූ සෝරත නම් උපාසකයෙක් විය. හෙතෙම කර්මාන්ත පසුබසී යයි දැන, පන්සියයක් ගැල් යොදවා ජනපදයට ගොස්, කාශ්යප බුදුන් වහන්සේ විසිදහසක් අවුරුදු සිට පිරිනිවන්පෑ සේක. උන්වහන්සේ වෙනුවෙන් යොදුනක රුවන්සෑයක් ඉදිකරයි. යම්කිසි කෙනෙක් රන් හෝ අමුරන් හෝ සප්තවිධ රත්න හෝ, සිරියල් හෝ මනෝසීල හෝ යමක් දීමට කැමැත්තේ නම් එය දෙවයි මහජනයා සම්මාදම් කරවීය. මිනිස්සු තම තමන්ගේ ශක්ති පරිද්දෙන් රන් අමුරන් ආදිය පූජා කළහ. නොහැකි වූ අය තෙල් සහල් ආදිය දුන්හ. උපාසක තෙමේ තෙල් සහල් ආදිය කම්කරුවන්ගේ බත් වැටුප් පිණිස යවයි. තවදුරටත් රන් රැස්කරවා යවයි. මේ අයුරින් මුළු දඹදිව පින්කමට සම්මාදන් වූහ.