චංගවාරං මෙහි රදවුන් විසින් කර පරහනෙහි දිය වත්කරන කල්හි කළ එකක් ද දෙකක් ද දහයක් විසක් කළ සියයක් වත්කරත් ද, බිඳුවක් පමණකුදු දිය රඳා නොසිටී. මෙසේ නීවරණ සහිත වූ පුද්ගලයාගේ අභ්‍යන්තරයෙහි කුසල ධර්මයන් නො පිහිටයි. ‘චංගවාරන්ති ඛො භික්ඛු පඤ්චන්නෙතං නීවරණානං අධිවචනං’ යන්න එහෙයින් කියන ලදී. පජහ පඤ්ච නීවරණෙහි මෙහි වික්ඛම්භණ තදංග වශයෙන් නීවරණ ප්‍රහාණය වදාරණ ලදී.
කුම්මො මෙහි ඉදිබුවාගේ සතරපාද, හිස යනුවෙන් අංග පසක් වේද? එසේම සියලු සංඛත ධර්මයෝ සංග්‍රහ කරනු ලබන්නා වූ පංචස්කන්ධයම වෙති. ‘කුම්මොති ඛො භික්ඛු පඤ්චන්තෙනං උපාදානක්ඛන්‍ධානං අධිවචනං’ යනාදිය වදාළහ. පජහ පඤ්ච පාදානක්ඛන්‍ධෙහි මෙහි පඤ්ච උපාදානස්කන්ධයන්හී ඡන්‍ද රාගය දුරුකිරීම වදාරණ ලදී.
අසිසූනාති මෙහි යම් සේ මස්ලොඹුව මතුයෙහි මස් තබා මන්නයෙන් කපයිද කොටයිද? එපරිද්දෙන් සත්ත්වයෝ වස්තුකාමය පිණිස ක්ලේශ කාමයන් විසින් නසනු ලබන්නේ වේද, වස්තුකාමයන් මත්තෙහි කොට ක්ලේශකාමයන් විසින් කපන ලද්දාහු කොටන ලද්දාහුම වෙත්. ‘අසිසුනාති ඛො භික්ඛු පඤ්චන්නෙතං කාම ගුණානං අධිවචනං’ යන්න එහෙයින් වදාළහ. පජහ පඤ්චකාම ගුණෙති මෙහි පස්කම් ගුණයන්හි ඡන්‍දරාගය දුරුකිරීම කියන ලදී.
මංසපෙසීති ඛො භික්ඛු මෙහි (මංසපේසී) මස්වැදලි නම් බොහෝ දෙනා විසින් පතන ලදී. ක්‍ෂත්‍රියාදී මිනිස්සු ද එය ප්‍රාර්ථනා කරත්. කවුඩන් ආදී තිරිසන්නු ද ප්‍රාර්ථනා කරති. යම්හෙයකින් මේ සත්ත්වයෝ අවිද්‍යාවෙන් මුළුමනින්ම මුවා වී, නන්දිරාගයට පැමිණ සංසාරය (වෘත්තය) ප්‍රාර්ථනා කෙරෙද්ද? යම්සේ හෝ මස්වදැල්ල තැබූ තුබූ තැන ලැගේද එපරිද්දෙන් මේ සත්ත්වයෝ තෘෂ්ණාවෙන් බඳිනා ලද්දාහූ සසර ලැගෙති. දුකට පැමිණේ ද උකටලී නොවෙති. මෙසේ තෘෂ්ණාව මස් වැදැල්ලක් සමාන වූයේ වේ. ‘මංසපෙසීති ඛො භික්ඛු නන්‍දිරාගස්සෙතං අධිවචනං’ යන්න භාග්‍යවත්හු වදාළහ.
නාගොතිචො භික්ඛු ඛීණාසවස්සෙතං භික්ඛුනො අධිවචනං මෙහි යම් අර්ථයකින් ක්ෂිණාශ්‍රව තෙම නාගයයි කියනු ලැබේද? එය අනඞ්ගන සූත්‍රයෙහි ප්‍රකාශ කරන ලදී. නමො කරොහි නාගස්ස ක්‍ෂීණාශ්‍රව වූ බුද්ධ නාගයා හට ‘ඒ භාග්‍යවත්හු සත්‍යාවබෝධය කළාහු සත්‍යාවබෝධය පිණිස දහම් දෙසති. ඒ භාග්‍යවත්හු දැමුණාහු ඉන්‍ද්‍රිය දමනය පිණිස දහම් දෙසති. ඒ භාග්‍යවත්හු සන්සිඳුනාහු ශමථය පිණිස දහම් දෙසති. ඒ භාග්‍යවත්හු තරණය කළාහු නිත්ථරණය පිණිස දහම් දෙසති. ඒ භාග්‍යවත්හු පිරිනිවියාහූ පරිනිර්වාණය පිණිස දහම් දෙසති. මෙසේ නමස්කාර කරවයි මෙහි අර්ථයි.
මෙසේ මේ සූත්‍රය තෙරුන් වහන්සේට කර්මස්ථානය විය. තෙරුන් වහන්සේද මේ සූත්‍රයම කර්මස්ථානය කොට විදසුන් වඩා රහත් බවට පැමිණි සේක. අයමෙතස්ස අත්‍ථො මේ එම ප්‍රශ්නයාගේ අර්ථයයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ, රුවන් රැසක කුළුගන්වන්නාහු මෙන් අන්සන්ධි වූ පරිද්දෙන් දේශනාව නිමවූ සේක.
වම්මික සූත්‍ර වර්ණනාව නිමියේය.
රථවිනීත සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු රථවිනීත සූත්‍රයයි. එහි රාජගහෙ එනම් නගරයෙහි ඒ නගරය වනාහී මහා මන්ධාතු මහා ගෝවින්ද ආදීන් විසින් පරිහරණය කරන ලද බැවින් රාජගහ යයි කියනු ලැබේ. මෙහි අන්‍ය වූ ප්‍රකාරයන් වර්ණනා කරති. ඔවුන්ගෙන් කිම මේ ඒ නගරයේ නාමයයි. මේ නගරය බුද්ධ කාලයෙහි ද, චක්‍රවර්ති කාලයෙහි ද, නගරය වේ. සෙසු කල හිස් වූයේ යක්‍ෂයන් විසින් අරක් ගන්නා ලදී. ඔවුන්ට වසන්ත වනයක්ව සිටී. වෙළුවනෙ කලන්‍දක නිවාපෙ වෙළුවනං ඒ උද්‍යානයේ නාමයයි. එය වනාහි හුණ ගසින්ද අටළොස් රියන් පවුරකින් ද, ගෝ පුර අට්ටාල ආදියෙන් යුක්තය. නීලවරණ වූයේ මනහර වෙයි. එහෙයින් වෙළුවන යයි කියයි. තව ද මෙහි ලෙහෙනුන්ට වැටුප් දුන්නාහු, එහෙයින් කලන්‍දක නිවාප යයි කියනු ලැබේ.
පෙර එක්තරා රජෙක් එහි උයකෙළි කෙළීමට පැමිණියේ සුරා මදයෙන් මත් වී දහවල් නින්දට පැමිණියේ ශයනය කළේය. ඔහුගේ පිරිවර ජනයා ද රජු ශයනය කළේයයි මල්පල ආදියෙන් පොළඹවනු ලබන්නේ ඔබනොබ ඇවිද්දේය. එකල රා ගඳ නිසා එක්තරා ගස් සිදුරකින් කළු නයෙක් නික්ම රජු ඉදිරියට ආයේය. ඒ දැක රුක් දේවතාවා රජුගේ ජීවිතය දෙමියි ලෙහෙන වෙසින් අවුත් කණ ළඟ ශබ්ද කළේය. රජු පිබිදියේය. කළු නයා නැවතුනේය. හෙතෙම එය දැක මේ ලෙහෙනා විසින් මට ජීවිත දානය දුන්නේ යයි එහි ලෙහෙනුන්ට වැටුප් පිහිටුවීය. ජීවිත දානයෙන් ද ඝෝෂා කළේය. එතැන් පටන් කලන්‍දක නිවාප යයි ප්‍රසිද්ධියට පත්විය. කලන්‍දක යනු ලෙහෙනුන්ට නමකි.