අලගද්දූපම සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං මේ අල ගද්දූපම සූත්‍රයයි. එහි ගිජුලිහිණියන් නැසුවේනුයි ‘ගද්ධබාධි’ නම් වේ. ගිජුලිහිණියන් නැසූ පෙර පුරුෂයෝ මේ අය වෙත්නුයි ‘ගද්ධබාධිපුබබ’ නම් වෙයි. ගද්ධබාධිපුබ්බස්ස ගිජුලිහිණියන් නසන කුලයෙහි උපන්නහුගේ යන අර්ථයි. සගමොක් සුවයන්ට අන්තරාය කෙරෙත්නුයි අන්තරායික නම් වෙයි. ඔව්හූ කම්ම- කිලෙස විපාක-උපවාද-ආණාවීතික්කම වශයෙන් පස්වැදෑරුම් වේ. ඔවුන් අතරෙහි පංච ආනන්තරිය කර්මයෝ කර්මාන්තරායික නම් වෙත්. භික්‍ෂුණි දූෂක කර්මය ද එසේයි. එහෙත් එය මෝක්‍ෂයටම අනතුරු කරයි. ස්වර්ගයට අනතුරක් නැත. නියත මිථ්‍යාදෘෂ්ටි ධර්මයෝ ක්ලේශ අන්තරායික නම් වේ. පණ්ඩක තිරශ්චීනගතික උභතෝඛ්‍යඤ්ජනක යන අයගේ ප්‍රතිසන්ධි ධර්මයෝ විපාක අන්තරායික වෙත්. ආර්යෝපවාද ධර්මයෝ උපවාද අන්තරායික වේ. ඔව්හූ වූ කලී යම්තාක් ආර්යයන් ක්‍ෂමා නොකරවත්ද ඒ තාක්ම වෙති. එයින් මත්තෙහි නොවෙති. දැන දැන ඉක්මවන සප්ත ආපත්ති ස්කන්ධයෝ ආඥා ව්‍යතික්‍රම අන්තරාය වෙති. (අණ ඉක්මවීමේ අනතුර) ඔව්හුද යම්තාක් භික්‍ෂුභාවය ප්‍රාර්ථනා කෙරේ ද (ඇවතින්) නො නැගිටි හෝ වේද? නො දෙසා හෝ වේද ඒ තාක්ම වෙති. එයින් මත්තෙහි නො වෙති.
එහි භික්‍ෂුව ඇසූ පිරූ තැන් ඇතියහ. ධර්ම කථිකයහ. සෙසු අන්තරායකර ධර්මයන් දනී. එහෙත් විනයෙහි අදක්‍ෂ බැවින් ව්‍යවහාරය පැණවීම ඉක්මවීමේ අන්තරායකර ධර්මයන් නොදනී. එහෙයින් රහසිගතව මෙසේ සිතයි. මේ ගිහියෝ පස්කම් සුව වළඳමින්ම සෝවාන් සකෘදාගාමී අනාගාමී මාර්ග ඵලවල පැමිණෙත්. භික්‍ෂූහු මන වඩන්නා වූ රූපයෝ චක්ෂුර් විඥානයෙන් දකිති. කයින් විඳිය යුතු වූ ස්පර්ශයන් ස්පර්ශ කරති. මෘදු වූ සුවදායක වූ ඇතිරිලි ආදිය පරිහරණය කරති. මේ සියල්ල සුදුසුය. කවරහෙයින්ද ස්ත්‍රීන්ගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෝ පමණක් නුසුදුසුද නොවටිත්ද, මෙසේ වරද රහිත වූ ප්‍රත්‍ය පරිභෝග රසය ද, වරද සහිත වූ කාම පරිභෝගය ද එකක් කොට, ගොරෝසු රුක් පට්ටා සමග ඉතා සිනිඳු නූලක් සම කරන්නෙකු මෙන්, අබ ඇටයක් සමග මහමෙර සමාන කරන්නාක් මෙන් පාපී දෘෂ්ටියක් උපදවා ඇයි භාග්‍යවතුන් වහන්සේ මහා සමුද්‍රය බඳින්නෙකු මෙන් මහත් උත්සාහයෙන් ප්‍රථම පාරාජිකා පත්තිය පනවන ලද්දේද? මෙහි වරදක් නැත. සවඥතාඥානය සමග ප්‍රතිවිරුද්ධ වෙමින් වෛශාරද්‍ය ඥානය වලක්වමින් ආර්ය මාර්ගයේ කණු කටු ආදිය හෙලමින් මෙවුන්දම් සෙවීමෙහි දොසක් වරදක් නැතැයි ජිනයන් වහන්සේ ආඥා චක්‍රයෙහි පහර දුන්නේ ය. එහෙයින් කීහ. තථාහං භවෙතා ධමමං දෙසිතං අජානාමීති යනාදිය.
එවං ව්‍යං ඛො එවං+විය ඛො එසේම සමනුයුඤ්ජන්ති ආදියෙහි කවර ලබ්ධියෙක්ද? ඔබ ලබ්ධිය කියනු මැනවැයි විචාරන්නාහු සමනුයුඤ්ජන්ති නම් වේ. ලබ්ධියෙහි පිහිටුවන්නේ, සමනුගාහන්ති යනුවෙන් කවර කාරණයකින් මෙසේ කියත්දැයි කරුණු විමසන්නේය. සමනුභාසන්ති නම් වේ. අට්ඨිකංඛලූපමා කාමා මද වූ රසවිඳීම් අර්ථයෙන් ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තේ, මංසපෙසූපමා බොහෝදෙනාට සාධාරණ අර්ථයෙන් මස් වැදැල්ලකට බඳු උපමා ඇත්තේ අංගාරකාසූපමා මහත් වූ අභිතාප අර්ථයෙන් අඟුරු වලකට බඳු උපමා ඇත්තේ, සුපිනකූපමා මද කලක් එළඹ සිටීම අර්ථයෙන් සිහිනයකට බඳු උපමා ඇත්තාහුය. යාචිතකූපමා තාවකාලික අර්ථයෙන් පිරුළුවකට බඳු උපමා ඇත්තාහුය. රුක්ඛඵලූපමා සියළු අගපසඟ බිඳීම් අර්ථයෙන් රුෂ්ඵල හා උපමා ඇත්තාහු, අසිසූනුපමා දංගෙඩිය - මස්ලොඹුව යන අර්ථයෙන් කඩුව හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහුය. සත්තිසුලූපමා විනිවිද යන අර්ථයෙන් සැත් හලකට බඳු උපමා ඇතියහ. සප්පසිරූපමා සැක සහිත බිය යන අර්ථයෙන් සර්ප හිසකට බඳු උපමා ඇතියහ. ථාමසා දෘෂ්ටි ශක්තියෙන්, පරාමාසා දෘෂ්ටිය ස්පර්ශ කිරීමෙන්, අභිනිවිසස වොහරති ඇතුළත්ව ව්‍යවහාර කෙරෙයි. ඇතුළත්ව දක්වයි.
යතො ඛො තෙ භික්ඛු යම් කලෙක ඒ භික්‍ෂූහු, එවං ව්‍යා ඛො අහං භන්තෙ භගවතා මෙය මොහු තමන්ගේ අදහසක් නැතැයි කියනු කැමැත්තේ වුවද, භාග්‍යවතුන්ගේ ආනුභාවයෙන් පිළිගනී. බුදුන්වහන්සේ හමුයෙහි කථා දෙකක් කීමට සමර්ථ කෙනෙක් නැත.