මෙතෙකින් බාහිර පරිෂ්කාරයන්ගේ විනාශයෙහි තැති ගන්නහුගේ තැති නොගන්නහුගේ ද, අධ්‍යාත්ම ස්කන්‍ධ විනාශයෙහි තැති ගන්නහුගේද, තැති නොගන්නහුගේදැයි වශයෙන් සිව්කොන් ඇති හිස්බව කියන ලදී. දැන් බාහිර පිරිකර අයිතිය (පරිග්ගහ) නම් කොට විසි ආකාර සක්කාය දෘෂ්ටිය මමය මාගේය යන හැඟීම මුල්කොට ඇති දෙසැට දෘෂ්ටීන් ‘දිට්ඨි නිස්සය’ නම් කොට තුන් කොන් හිස් බව දැක්වීමට තං භික්ඛවෙ පරිග්ගහං යනාදිය වදාළහ. එහි පරිග්ගහං බාහිර පරිෂ්කාරය පරිගණ්හෙය්‍යාථ යම්සේ නුවණැති මිනිසෙක් පරිග්‍රහණය කරන්නේ ද (එසේ විමසන්නහුය.) අහම්පි ඛො තං භික්ඛවෙ මහණෙනි, තෙපිද නොදක්නහු මම ද නොදක්නෙමි. මෙසේ මෙබඳු පිරිකරක් නැතැයි දක්වති. මෙසේ සියලු තැන්හි අර්ථය දතයුතුය.
මෙසේ ත්‍රිකෝණාකාර හිස් බව දක්වා, දැන් අධ්‍යාත්ම ස්කන්ධයන් ආත්ම යයි බාහිර පරිෂ්කාරයන් ආත්මනිය යයි කොට දෙකොන් හිස් බව දක්වන සේක් අත්තනි වා භික්ඛවෙ සති ආදිය කීහ. මේ එහි කෙටි අදහසයි. මහණෙනි, ආත්මය ඇති කල්හි මේ මාගේ පිරිකර සමූහය, තමා සතු යයි යන අදහස වන්නේ ය. තමන් සතු පරිෂ්කාර ඇති කල්හි මේ මගේ ආත්මය, මේ පිරිකරවල හිමිකරු මම ය යන අදහස ඇතිවන්නේ ය. මෙසේ මම යයි අදහස ඇති කල්හි, මාගේ යයි අදහස ඇති කල්හි, මම යයි ද සුදුසුය. සච්චතො සත්‍ය වශයෙන් ථෙතතො ස්ථිර වශයෙන්, පිහිටි වශයෙන්.
මෙවිට මේ පංච ස්කන්ධයන් අනිත්‍යය. දුක්ඛය. අනාත්මයයි මෙසේ තිපරිවෘත්ත වශයෙන් නොගන්නේ මේ අරිට්ඨ මෙන් මගේ ශාසනයෙහි කලල කසල දමන්නේ යයි දක්වන්නේ තං කිං මඤ්ඤථ භික්ඛවේරූපං අනිච්චංවා යනාදිය වදාළහ. අනිච්චං භන්තෙ ස්වාමීනි, යම්හෙයකින් ඇතිව නැතිවේද එහෙයින් අනිත්‍ය ය. ඉපදීම, විනාශවීම තාවකාලිකය. නිත්‍ය ප්‍රතික්‍ෂේපය යන සතර කරුණින් අනිත්‍යය. දුක්ඛං භන්තෙ වහන්ස, නැවත නැවත පෙළෙන ආකාරයෙන් දුක්ය. තැවීමය. ඉවසිය නොහැකි බවය. දුකට වස්තු බවය. සැපයට විරුද්ධය යන සතරාකාරයන්ගෙන් දුක්ය. විපරිණාම ධම්මං භවය ඉක්මවා ගිය නැවත භවයට නොපැමිණෙන ස්වභාවය පියවි බව හරින ස්වභාවය, කල්ලන්නු තං සමනුපස්සිතං එතං මම එ සො හමස්මි එසො මෙ අතතා එය තෘෂ්ණා, මාන වශයෙන් දෘෂ්ටි ග්‍රහණයෙන් මම ය මාගේ යයි මෙසේ ගැනීමට සුදුසුද? නොහෙතං භන්තෙ යන මෙයින් ඒ භික්‍ෂූහු වහන්ස වසඟයෙහි නො පවත්නා ආකාරයෙන් රූපය අනාත්මයයි පිළිණ කෙරෙති. ශුන්‍යත, අස්වාමික, අනීශ්වර, ආත්මය පිළිකෙව් කිරීම යන සතර කාරණයෙන් අනාත්මය.
භාග්‍යවතුන් වහන්සේ සමහර තැනක අනිත්‍ය වශයෙන් අනාත්ම බව දක්වති. සමහර තැනෙක දුක් වශයෙන් ද, සමහර තැනෙක දෙදෙනාගේ වශයෙන් ද අනාත්ම බව දක්වති. ඇස ආත්මය යයි යමෙක් කියන්නේද එය නොයෙදේ. ඇසෙහි ඇතිවීම ද නැතිවීම ද පෙනෙයි. යමෙක්හුගේ ඇතිවීමත් නැතිවීමත් පෙනේද මාගේ ආත්මය උපදින්නේ හෝ වේද නොවේ හෝද මෙසේ ඔහුට මෙපරිද්දෙන් ආයේ වේද, එහෙයින් ඇස ආත්මය යයි යමෙක් කියන්නේද එය නොයෙදේ. මෙසේ ඇස අනාත්මය යයි ඡ ඡක්ක සූත්‍රයේදී අනිත්‍ය වශයෙන් අනාත්ම බව දැක්වූහ. මහණෙනි! යම්හෙයකින් මේ රූපයත් ආත්මය වන්නේ නම් මේ රූපය ආබාධ පිණිස නො පවත්නේය. රූපයෙහි මාගේ රූපය මෙසේ වේවා! මාගේ රූපය මෙසේ නොවේවායි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි! යම්හෙයකින් රූපය අනාත්ම වේද එහෙයින් මේ රූපය ආබාධ පිණිස පවති. රූපයෙහි මාගේ රූපය මෙසේ වේවා. මාගේ රූපය මෙසේ නොවේවායි (පැතුවද) නො ලැබෙන්නේ ය. යන මේ අනාත්ම ලක්‍ෂණ සූත්‍රයෙහි දුක් වශයෙන් අනාත්ම බව දැක්වූ සේක. මහණෙනි! රූපය අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය ය. යමක් අනාත්ම නම්, එය මේ මාගේ නොවෙයි. මේ මම නොවෙමි. ඒ ආත්මය මාගේ නොවේයයි මෙසේ මේ රූපය තත් වූ පරිද්දෙන් විදර්ශනා ඤාණයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය. මේ අරහන්ත සූත්‍රයෙහි දෙදෙනාගේ වශයෙන් අනාත්ම බව දැක්වූ අයුරුයි. කවර හෙයින්ද! අනිත්‍යය ද දුක ද ප්‍රකටයහ. අනාත්ම යනු අප්‍රකටය.