එහි යම්කිසිවෙක් සිවුරු ආදිය ලබාගැනීමේ අදහසින් ද සිව්පිරිස් මැද කැපී පෙනීමේ අදහසින් ද, ලාභසත්කාර ලැබීමෙන් අදහසින් ද, බුද්ධ වචනය උගන්නේ නම් ඒ ‘අලගද්ද පරියත්ති’ නමි. මෙසේ බුද්ධ වචනය පුහුණු කිරීමට වඩා පුහුණු නොකොට නින්දට යාම ඉතා උතුම් වේ.
යම් කෙනෙක් බුද්ධ වචනය උගෙන, සීලය පැමිණි තන්හි සිල් පුරා, සමාධිය පැමිණි තන්හි සමාධියට සමවැදී, විදර්ශනාව පැමිණි තන්හි විදර්ශනා වඩා, මාර්ගඵලයන් පැමිණි තන්හි මාර්ගය වඩන්නෙමි. ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්නෙමියි බුද්ධ වචනය උගනී ද, ඔහුගේ එම පර්යාප්තිය නිත්‍ථරණ පර්යාප්තිය වේ.
ක්ෂීණාශ්‍රවයාගේ පරියාප්තිය වනාහි භාණ්ඩාගාරික පර්යාප්ති නම් වේ. ඔහු විසින් පරිඥානය නො කළ, ප්‍රහීණ නොකළ, අභාවිත වූ ප්‍රත්‍යක්‍ෂ නොකළ ඵලයෙක් නැත. යම්හෙයකින් හෙතෙම පරිඥානය කළ ස්කන්‍ධ ඇත්තේ ද, ප්‍රහීණ කළ කෙලෙස් ඇත්තේද වැඩූ මාර්ගය ඇත්තේද ප්‍රත්‍යක්‍ෂ කළ ඵලය ඇත්තේද එහෙයින් බුදු වදන් පුහුණු කරන්නේ පාලිය රකින්නේ ප්‍රවේණිය, පාලනය කරන්නේ වංශය රකින්නෙක්ම වී උගනියි. මෙසේ ඔහුගේ පර්යාප්තිය භාණ්ඩාගාරික පරියාප්තිය වේ.
යම්කිසි පෘථග්ජනයෙක් සාගින්න හා බිය ඇති කල්හි ග්‍රන්‍ථධාරීව එකතැනක විසීමට අපහසු වන්නේ තෙමේ (භික්‍ෂාචාරයෙන්) පිණ්ඩපාතයෙන් අතිශයින් ක්ලාන්ත වෙමින් ඉතා මිහිරි වූ බුද්ධවචනය නොනසීවා. පරම්පරාව දරන්නෙමි. වංසය තබන්නෙමි. ප්‍රවේණිය පාලනය කරන්නෙමි. පුහුණු කරන්නේ ද ඔහුගේ පර්යාප්තිය භාණ්ඩාගාරික පරියාප්තිය වේද නොවේද? නොවෙයි කුමක් හෙයින් ද ස්වකීය ස්ථානයෙහි නොසිට පුහුණු කළ හෙයිනි. පෘථග්ජනයාගේ පර්යාප්තිය නම් ‘අලගද්දා’ හෝ ‘නිත්‍ථරණ’ නම් වෙයි. සප්ත ශෛක්‍ෂයන්ගේ පර්යාප්තිය ‘නිත්‍ථරණ’ මය. ක්‍ෂීණාශ්‍රවයාගේ භාණ්ඩාගාරික පර්යාප්තියමැයි. මෙතන්හි නිත්‍ථරණ පරියාප්තිය අදහස් කරයි.
නිජ්ඣාවං ඛමන්තීති ශීලාදිය ආ තැන්හි මෙහි ශීලය කියන ලදී. මෙහි සමාධිය මෙහි විදර්ශනාය, මෙහි මාර්ගය - මෙහි ඵලය මෙහි වෘත්තය, මෙහි විවෘත්තය, මිථ්‍යා මාර්ගයට පැමිණෙත්. තඤ්චස්ස අත්‍ථං අනුභොන්තී යම් මාර්ග ඵලයන් සඳහා ප්‍රගුණ කෙරෙත්ද, මනාකොට ගන්නා ලද පර්යාප්තිය නිසා මාර්ගය වඩා ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්නාහූ ඒ ධර්මයේ ප්‍රයෝජනය ලබත්ද? අනුන්ගේ දොස් පෙන්වා දෙන්නට හැකිවන්නේද, තමන්ගේ වාදයට ආරෝපණය කළ දෝෂය කැමති කැමති තැනකින්, නිවැරදි කරන්නට මුදවන්නට හැකිවන්නේද ඒ ප්‍රයෝජනය ලබත්මයි. දීඝරත්තං හිතාය සුඛාය සංවත්තන්ති ශීලාදිය ආ තැන්හි ශීලාදිය පුරන්නවුන්ට ද, අන්‍යයන්ගේ වාදයෙහි කරුණු සහිතව දොස් නගන්නවුන්ට ද ස්වකීය වාදයෙන් දෝෂය බැහැර කරන්නවුන්ට ද, රහත්බවට පැමිණ පිරිස් මැද දහම් දෙසා, ධර්ම ශ්‍රවණයෙන් සතුටු වූවන් විසින් එළවූ සිව්පසය වළඳන්නවුන්ට ද, දිගුකලක් හිතසුව පිණිස පවතිත්.
මෙසේ මනාකොට උගන්නා ලද බුද්ධ වචනයෙහි අනුසස් දක්වා එහිම යොදවන්නේ තස්මාතිහ භික්ඛවෙ යනාදිය වදාළහ. එහි තස්මා යම්හෙයකින් වරදවා ගත්තා වූ පර්යාප්තිය වරදවා ගත් සර්පයෙකු මෙන් දිගුකලක් අහිත පිණිස දුක් පිණිස පවතී යන අර්ථයි. තථානං ධාරෙය්‍යාථ එසේම එය දරන්නහුය. ඒ අර්ථයෙන්ම ගන්නාහුය. යෙ වා පනස්ස ව්‍යත්තා භික්ඛූ අන්‍ය වූ සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප, කච්චායන ආදී ව්‍යක්ත වූද ප්‍රඥාවන්ත වූද භික්‍ෂූන්ගෙන් විමසිය යුතුය. මගේ ශාසනයෙහි අරිට්ඨ භික්‍ෂුව මෙන් මඩ හෝ කසළ නොදැමිය යුතුය. නොබහාළිය යුතුය.
කුලලූපමං පසුරක් සමානකොට, නිත්‍ථරණත්‍ථාය චතුරෝඝයෙන් එතෙරවීම පිණිස උදකණ්ණවං යම් ජලයක් වනාහි ගැඹුරුද පුළුල් නොවේද නැතිනම් පුළුල් ද ගැඹුරු නොවේ ද එය අර්ණවයයි කියනු නොලැබේ. යම් ජලයක් ගැඹුරුත් වේද, පුළුලුත් වේද, එය අර්ණවයයි කියනු ලැබේ.
මහන්තං උදකණ්ණවං යනු මහත් වූද, පුළුල් වූද, ගැඹුරු වූද, ජලයකැයි මෙසේ අර්ථ වේ. සාසංකං යම්කිසි තැනෙක සොරුන් විසූ තැන පෙනේද සිටි තැන පෙනේද හොත් තැන පෙනේද, හුන් තැන පෙනේද එයයි. සප්පටිභයං යනු යම්කිසි පෙදෙසක සොරුන් විසින් මිනිස්සු නසන ලද්දාහු දක්නට ලැබේද, පැහැර ගන්නාහු දක්නා ලද්දේද, තලන ලද්දාහු දක්නට ලැබේද (එයයි) උත්තර සෙතුං ගඟට ඉහලින් තනන ලද පාලම, කුල්ලං බන්‍ධිත්‍වා කුල්ල නම් දියෙන් එතෙරවීම සඳහා මිටිකොට බඳනා ලද්ද පහුරු ආදියයි. යමෙක් ‘උළුම්ප’ පාරුව යයි ද කියනු ලැබේ. උස්සාදෙත්‍වා ඔසවා තබා, නිච්චකාරී කරනසුළු වූයේ, යෝග්‍ය සේ කරනසුළු වූයේ, සුදුසු සේ කරන සුළු වූයේ යන අර්ථයි.
ධම්මාපි වො පහාතබ්බා මෙහි ධමමා යනු සමථ විදර්ශනාය. භාග්‍යවතුන් වහන්සේ සමථයෙහි ද විදර්ශනාවෙහි ද, ඡන්‍දරාගය දුරුකරවන සේක. සමථයෙහි ඡන්‍දරාගය කෙසේනම් දුරු කරන්නේද? ‘ඉති ඛො උදායි නෙවසඤ්ඤා නාසඤ්ඤායතනස්සපි පහානං වදාමි පස්සසි නො ත්‍වං උදායි තං සංයෝජනං අණුංවා ථූලංවා යස්සාහං නො පහානං වදාමි’ උදායී මෙසේ වනාහී නේවසඤ්ඤා නාසඤ්ඤායතනයාගේ ද ප්‍රහාණය කියමි. උදායි! මම යම් සංයෝජනයක්හුගේ ප්‍රහාණය නො කියම්ද, සියුම් වූ හෝ මහත් වූ හෝ ඒ සංයෝජනය තෙපි දක්නහුද? යන මෙහි ශමථයෙහි ඡන්‍දරාගය දුරුකර වූයේය. ඉමඤ්ච තුම්හෙ භික්ඛවෙ දිට්ඨිං එවං පරිසුද්ධං පරියොදාතං න අල්ලීයෙථ, න කෙළායෙථ, න ධනායෙථා ති එත්‍ථ විපස්සනාය ඡන්‍දරාගං පජහාපෙසි මහණෙනි, තෙපි මෙසේ පිරිසිදු වූ හාත්පසින් සිදු වූ මේ දෘෂ්ටිය නොඇලෙන්නාහුය. මමත්වය නොකරන්නාහුය. ධනයක් මෙන් නොගන්නාහුය. මෙසේ විදර්ශනාවෙහි ඡන්‍දරාගය දුරු කරවූහ. මෙහි දෙතැන්හිම ඡන්‍දරාගය දුරුකරන අයුරු පෙන්වීය. ධම්මාපි වො පහාතබබා පගෙව අධම්මාති ආහ යී වදාළහ.