චූළසාරොපම සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං චූළ සාරොපම සූත්‍රයයි. එහි පිංගලකොච්ඡො ඒ බ්‍රාහ්මණ තෙමේ පිඟුවන් ශරීර වර්ණ ඇත්තේය. කොච්ඡො කොච්ඡ යනු ඔහුගේ නමයි. ඒ නිසා පිංගල කොච්ඡ නම් වූයේය. සංඝිනො ප්‍රව්‍රජිත සංඝ සමුහයක් මොහුට ඇත්තේනුයි සංඝිනො නම් වේ. ස්වකීයමය වූ එම ගණය මොහුට ඇති නිසා ගණිනො නම් වේ. ආචාර - ශික්‍ෂා ආදී වශයෙන් ඒ සමූහයාගේ ආචාර්යවරයා වශයෙන් ගණාචරිය නම් වේ. ඤාතා යනු ප්‍රසිද්ධ වූවාහු ප්‍රකට වූවාහු යන අර්ථයි. අල්පේච්ඡ බව, සතුටෙන් සිටීම, අපිස් වූ බැවින් වස්ත්‍රයකුදු නොහඳියි. ආදී වශයෙන් උස්ව නැගෙන කීර්තිය මොහුට ඇතිනුයි යසස්සිනො නම් වේ. තිත්‍ථකරා ලබ්ධි ඇතිකරන්නාහු සාධු සම්මතා මේ අය සාධුවරුය, සුන්දරය, සත්පුරුෂයෝය. මෙසේ සම්මත බැවින් බහුජනස්ස ඇසූ පිරූ තැන් නැති. අන්ධබාල පෘථග්ජනයා විසින්,
දැන් ඔවුන් දක්වමින් සෙය්‍යථිදං, පූරණො ආදිය කීහ. එහි පූරණො ශාස්තෲයයි හඳුන්වන ඔහුගේ නමයි. කස්සපො යනු ගෝතයයි. හේ එක්තරා කුලයක දාසයන් එකුන්සියය පුරවමින් උපන්නේල. එයින් ඔහුට පූරණ යන නම ලැබිණ. තව ද මංගලදාස වූ බැවින් ඔහු විසින් කරන ලද නොකටයුතු දේ හෝ නොකරන ලද්ද නොකරන ලදැයි කියන්නේ හෝ නැත. හේ කුමට මම මෙහි වෙසෙන්නෙම්දැයි පලා ගියේය. ඉක්බිති එකල්හි සොරු ඔහුගේ වස්ත්‍රය පැහැර ගත්තාහුය. හේ පාත්‍රයෙන් හෝ තෘණවලින් විලි වසන්ටද නො දන්නේ උපන් අයුරින්ම එක් ගමකට පිවිසියේය. මිනිස්සු ඔහු දැක ‘මේ මහණ රහත්ය, අල්පේච්ඡය. මොහු හා සමානයෙක් නැතැයි’ ආහාර කැවුම් බත් ආදිය රැගෙන ඔහු වෙත එළඹියාහුය. ඔහු ද මා විසින් සළුවක් නොහැඳි බැවින් මේ සත්කාර උපනැයි, එයින් පසු සළුපිළි ලැබුනද නොහඟියි. එයම පැවිද්ද කොට ගත්තේය. ඔහු සමීපයේ වෙනත් පන්සියයක් මිනිස්සු පැවිදි වූහ. පූරණ කස්සපො යන්න ඔහු සඳහා කීහ.
මක්ඛලී යනු ඔහුගේ නමයි. ගවහලක උපන් බැවින් ගොසාලක යනු ඔහුගේ දෙවෙනි නමයි. මඩ සහිත බිම තෙල් කළයක් ගෙන යන ඔහුට ස්වාමියා ‘දරුව, නො පැකිල’ කීයේල. හේ පැකිල වැටී ස්වාමියාට බියෙන් පලාගියහ. ස්වාමියා එළවාගෙන ගොස් රෙදි කොනින් ඇල්ලුවේය. හේ සළුව දමා ‘හෙළුවෙන්ම’ පලා ගියේය. ඉතිරිය පූරණ හා සමානය.
අජිත යනු ඔහුගේ නමයි. කෙස්වලින් තැනූ කම්බිලියක් දරානුයි අජිත කෙසකම්බලී යන නම ආයේය. එහි කෙසම්බල නම් මිනිස් කෙස්වලින් තැනූ කම්බිලියයි. එයට වඩා අතිශයින් ලාමක වූ වෙනත් වස්ත්‍රයක් නැත. සෙය්‍යථාපි භික්ඛවෙ යානි කානිච තන්තා වුතානං වත්‍ථානං කෙසකම්බලො භික්ඛවෙ සීතෙ සීතො, උණෙ උණ්හො, දුබ්බණ්ණො දුග්ගන්‍ධො දුක්ඛසම්ඵස්සො’ යනු එහෙයින් වදාළහ.
පකුධො යනු ඔහුගේ නමය. කච්චායනො යනු ගෝත්‍රයයි. මෙසේ නම් ගොත් සසඳා පකුධ කච්චායන යයි කියයි. සිහිල් දිය ප්‍රතික්‍ෂේප කළ කෙනෙකි. වසරකට ද දියකිය නොකරයි. උණුදිය හෝ කැඳ හෝ ලැබ දිය කිස කරයි. නදියෙහි හෝ මාර්ගයෙහි ජලය ඉක්මවා මගේ සිල් බිඳිනේ යයි වැලි සෑයක් කොට සිල් අදිටන් කොට යයි. මෙසේ වැඩකට නැති ලබ්ධි ඇත්තෙකි.
සඤ්ජයො සඤ්ජය යනු ඔහුගේ නමයි. බෙල්ලට්ඨගේ පුතා නිසා බෙල්ලට්ඨි පුත්ත නම් වේ. ඒ නිසා සඤ්ජය බෙල්ලට්ඨි පුත්ත නම් වෙයි.
අප තුළ ගැටගසන කෙලෙස්, වෙහෙසන කෙලෙස් නැත. අප කෙලෙස් ගැට රහිතම්හයයි ප්‍රකාශ කරන නිසා නිඝණ්ඨ නම් වෙයි. නාථයාන්ගේ පුතා වූ නිසා නාථ පුත්ත නම් වේ. අබ්භඤ්ඤංසු ඔවුන්ගේ ප්‍රතිඥාව යම්සේද, එසේ දැනගත්තහු ද, නො දැනගත්තහු ද, මේ කියන ලද වෙයි. ‘ඉදින් ඔවුන්ගේ ඒ ප්‍රතිඥාව නෛර්යාණික වූවානම් සියල්ලෝ දැනගත්තාහු ද, ඉදින් නෛර්යාණික නොවූවා නම් නොදැන ගත්තාහු ද, එහෙයින් ඔවුන්ගේ ප්‍රඥාව කිම, නෛර්යාණික වූවා ද නෛර්යාණික නොවූවාද, මේ එම ප්‍රශ්නයේ අර්ථයයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අනෛර්යාණික බව කීමෙන් අර්ථයක් නැති හෙයින් අලං යි ප්‍රතික්‍ෂේප කොට උපමාවෙන් අර්ථය පිරිවරමින් ධර්මයම දෙසනු පිණිස ධම්මං තෙ බ්‍රාහ්මණ දෙස්සොමි යනාදිය වදාළහ.
එහි සච්ඡි කිරියාය ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස, න ඡන්‍දං ජනෙති කත්තුකම්‍යතා ඡන්‍දය නො උපදවයි. න වායමති වෑයම පරාක්‍රමය නො කරයි. ඛලීන වුත්තිකො ච හොති හීන වූ අදහස් ඇත්තේ වෙයි. සාථලිකො ශිථිල කොට ගත්තේ, ලිහිල් කොට ගනී.
ඉධ බ්‍රාහ්මණ භික්ඛු විවිච්චෙව කාමෙහි කෙසේ මේ ප්‍රථමධ්‍යානාදී ධර්මයෝ ඥාන දර්ශනයෙන් උත්තරීතර වූවාහුද නිරෝධපාදක බැවිනි. යම් හෙයකින් ඉහත කී ප්‍රථමධ්‍යානාදී ධර්ම විදර්ශනාපාදක වූවාහුද, මොව්හූ නිරෝධපාදක වූවාහුද, එහෙයින් උත්තරීතර වූවාහයයි දතයුතු. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය ද අනුසන්ධි වූ පරිද්දෙන්ම නිම වූ සේක. දේශනා කෙළවර බමුණා සරණ ශීලයෙහි පිහිටියේ ය.
චූල සාරෝපම සූත්‍ර වර්ණනාව නිමියේය.
තුන්වැනි ඔපම්ම වර්ග වර්ණනාව සමාප්තයි.