ද්වෙධා විතක්ක සූත්‍ර වර්ණනාව
එවම්මෙ සුතං යනු ද්වෙධා විතක්ක සූත්‍රයයි. එහි ද්වෙධා කත්‍වා ද්වෙධා කත්‍වා කොටස් දෙකක් දෙකක් කොට කාමවිතක්කො කාම ප්‍රතිසංයුක්ත වූ විතර්කය, බ්‍යාපාද විතක්කො ව්‍යාපාද ප්‍රතිසංයුත්ත වූ විතර්කය, විහිංසා විතක්කො විහිංසා ප්‍රතිසංයුක්ත වූ විතර්කය. එකං භාගං අධ්‍යත්ම වූ හෝ බාහිර වූ හෝ මහත් වූ හෝ සියුම් වූ හෝ මේ සියළු විතර්කයෝ ම අකුසල පක්‍ෂයේ ම වූයේ ම යයි කාම, ව්‍යාපාද, විහිංසා විතර්කයන් තිදෙන එක් කොටසක් කළෙමි. කාමයෙන් වෙන්වුනා වූ නෛෂ්ක්‍රම්‍ය සමග පවතින වූ විතර්කය. නෙක්ඛම්ම විතක්කො නෙක්ඛම්ම විතර්කය නම් වෙයි. ඒ විතර්කය ප්‍රථම ධ්‍යානය තෙක් වටී. අව්‍යාපාදය සමග පවතින විතර්කය අබ්බ්‍යාපාද විතක්කො අවිහිංසා විතර්කය නම් වේ. එය කරුණා පූර්වභාගයේ පටන් ප්‍රථමධ්‍යානය තෙක් පවතී. දුතියං භාගන්ති මේ සියලු විතර්කයන්ම කුසල පක්‍ෂයෙහි වූයේම බැවින් දෙවෙනි කොටස කළෙමි. මේ මගින් බෝසතුන්ගේ විතර්ක නිග්‍රහය කරන කාලය කියන ලදී.
වසර හයක් ප්‍රධන් වීර්යය කරන්නා වූ බෝසතුන්ට විතර්කාදිය සමූහ සමූහව, මහා ගංගාවක සැඩපහර මෙන් පැවැත්තාහුය. එහෙත් සිහිමුළාවීමකින් වහා කාමවිතර්කාදිය ඉපිද, කුසල වාරය සිඳ, තුමූ අකුසල ජවන වාරයෝ වී සිටිති. එනිසා බෝසත්හු මෙසේ සිතූහ. මාගේ මේ කාම විතර්කාදිය කුසල් වාරය වෙනස්කොට (කඩා) සිටිති. මම මේ විතර්කයන් දෙ කොටසක් කොට වාසය කරමි. කාම විතර්කාදීහු අකුශල පක්‍ෂයේ වූවාහුයි එක් කොටසක් කරමි. නෛෂ්ක්‍රම්‍ය විතර්කාදිය කුශල පක්‍ෂයේ වූවහුයි එක් කොටසක් කරමි. ඉක්බිති අකුශල පක්‍ෂයෙන් ආවා වූ විතර්කය, මන්ත්‍ර බලයකින් කළු සර්පයෙකු දැඩිව පෙළා ගත්තාක් මෙන් ද, සතුරකු බෙල්ලෙන් මැඩ ගත්තකු මෙන් ද දමනය කරන්නෙමි. වැඩෙන්නට ඉඩ නො දෙන්නෙමි. කුශල පක්‍ෂයෙන් ආ විතර්කය වැසි කලෙක මේඝයක් මෙන් ද, මනා කෙතක හොඳින් වැඩෙන සල් පැළයක් මෙන් ද, වහ වහා වර්ධනය කරන්නෙමි යි (සිතීය.) හේ එසේ කොට අකුසල විතර්කයන් දුරු කළේය. කුසල විතර්කයන් වර්ධනය කළේය. මෙසේ බෝසතුන්ගේ විතර්ක නිග්‍රහ කාලය කියන ලද්දේ යයි දතයුතුය.
දැන් මෙවිට, යම්සේ ඔහුට විතර්කයෝ උපන්නාහු ද යම් සේ ඔවුන් නිග්‍රහ කළේද? එය දැක්වීම සඳහා තස්ස මයහං භික්ඛවෙ යනාදිය කීහ. එහි අප්පමත්තස්සා සිහියෙන් වෙන් නොවී සිටියාහු ආතාපිනො කෙළෙස් තවන වීර්යය ඇත්තා වූ පහිතත්තස්ස යවන ලද සිත් ඇත්තාහු, උප්පජ්ජති කාම විතක්කො වසර සයක් ප්‍රධන් වීර්යය වඩන බෝසතුන්ට රජසුව පිළිබඳව හෝ ප්‍රාසාද පිළිබඳව හෝ, නිළියන් පිළිබඳව හෝ, අන්තඃපුරය පිළිබඳව හෝ කිසියම් සැපතක් පිළිබඳව කාම විතර්කයක් පහළ වූයේ නැත. දුෂ්කර ක්‍රියාවෙහි ආහාර නොගැනීමෙන්, පමණ ඉක්මගිය කෘෂ භාවයට (කෙට්ටු වීමට) පැමිණි ඔහුට මෙසේ සිතිණ. ආහාර ප්‍රතික්‍ෂේප කිරීමෙන් විශේෂයක් උපදවන්නට නො හැකිය. යම් හෙයකින් ඕළාරික ආහාර ගන්නේ නම් ඉතා යෙහෙක. හෙතෙම පිඬු පිණිස උරුවෙල් දනව්වට පිවිසියේය. මිනිස්සු, පෙර මහා පුරුෂයා සමීපයට ගෙනත් දෙන ලද්ද ද නො පිළිගත්හ. දැන් ඒකාන්තයෙන් ඔහුගේ මනදොළ මුදන් පැමිණියේ වන. එහෙයින් තෙමේ ම ආයේ වනැයි ප්‍රණීත ආහාර පිදූහ. බෝසතුන්ගේ ජීවිත පැවැත්ම වැඩිකල් නොගොස්ම ප්‍රකෘති ස්වභාවයට පත්විය. ජරාවෙන් දිරීම් ස්වභාවයට පැමිණි ආත්ම භාවයක් සැප බොජුන් ලැබීමෙන් ප්‍රකෘති තත්ත්වයට නො පැමිණේ. එහෙත් බෝසත්තුමා වනාහි සැප වූ ආහාර ගැනීමෙන් වැළිත් තරුණ වූයේ නොබෝ කලකින් ම ආත්මභාවය ප්‍රකෘති ස්වභාවයට පැමිණියේය. ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පැහැදුනහ. සමේ පැහැය පිරිසිදු විය. තාරකා සමූහයෙන් ශෝභන වූ අහස මෙන් දෙතිස් මහා පුරිස් ලකුණු වලින් සැරසුණු ශරීරය විය. හෙතෙම ඒ සිරුර බලා ‘ඒ තාක් ක්ලාන්ත වූ ආත්මභාවය මෙසේ පෙරළා ප්‍රකෘති තත්ත්වයට පත්විනැයි සිතා තමාගේ ප්‍රඥා මහන්තත්වය හේතුකොටගෙන මෙසේ විනැයි මද වූද විතර්කය ගෙන කාම විතර්කය යයි (මෙනෙහි) කළේය.
පන්සල ඉදිරිපිට උන්නා වූ රූරු මෘග, පසද මෘග, ගවර, රෝහිත මෘග ආදී මෘග සමූහයන් ද, සිත්කලු වූ පියාපත් හා හඬ ඇති. මොනර වළිකුකුළු ආදී වූ කුරුළු සමූහයා ද, නිලුපුල්, කුමුදු, නෙළුම් ආදියෙන් ගැවසීගත් කුඩා විල් ද, නන්වැදෑරුම් මල්වලින් ගැවසීගත් පඳුරු ඇති වනරොදවල් ද, මැණික් මෙන් පිරිසුදු ජලය ගලා යන නේරංජරා නදියද, දැකීමෙන් ඔහුට මෙසේ සිත්විය. ‘මේ මුව සමූහයෝ ද, පක්‍ෂි සමූහයෝද කුඩා විල් වන ලැහැබ් නේරංජරා නදිය ඒකාන්තයෙන් දැකුම්කළුය. හොබනේය. හෙතෙම ඉතා සුළු වූ ද ඒ විතර්කය ගෙන කාම විතර්කයක් කළේය. එහෙයින් වදාළහ. උප්පජ්ජති කාම විතක්කො
අත්තව්‍යා බාධායපි තමහට දුක් පිණිස සියලු තන්හි මෙම ක්‍රමය මැයි. කිම? යළිත් මහා සත්ත්වයන්ට ද්විවිධ දුක් පිණිස පවත්නා වූ විතර්කයෙක් ඇත්ද? නැත. එසේ වුවත් ප්‍රහාණය නොකොට සිටියහුගේ විතර්කය යම්තාක් උභය දුක් පිණිස පවතීනුයි මේ නම් තුන ලබයි. එහෙයින් මෙසේ වදාළහ. පඤ්ඤා නිරොධිකො නූපන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවන් උපදින්නට ඉඩ නො දෙයි. ලෞකික ප්‍රඥාව අෂ්ට සමාපත්ති, පංචභිඥා වශයෙන් උපන්නත් සිඳ දමනුයි පඤ්ඤා නිරෝධික නම් වේ. විඝාත පක්බිකො දුක් කොටසෙහි වූයේ සංස්කරණය නොකළ නිර්වාණාමෘතය ප්‍රත්‍යක්‍ෂ කරන්නට ඉඩ නො දේනුයි අනිබ්බාන සංවත්තනික නම් වේ. අබ්භත්‍ථං ගච්ඡති ක්‍ෂය වීමට නැති බවට පත්වෙයි. දියබුබුළක් මෙන් නොපෙනී යයි. පජහාමෙව දුරු කෙළේම ය. විනොදමෙව බැහැර කළෙමිම ය. ව්‍යන්තෙව නං අකාසි යනු විගතාන්ත වූවක්, ඉතිරි නොවූවක්, හාත්පසින් පරිච්ඡින්න වූවක්ම පිරිසිඳින ලද්දක්ම කළෙමි.
බ්‍යාපාද විතක්කො අනුන් පෙලීම පිළිබඳ විතර්කයක් නම් බෝසතුන් ගේ සිතෙහි නූපදී. එහෙත් අධික වර්ෂාව, අධික උෂ්ණය, අධික ශීතල ආදිය නිසා ඔහුගේ සිතෙහි වෙනස්වීම් ස්වභාවය ඇතිවෙයි. ඒ සඳහා බ්‍යාපාදවිතක්කො යයි කීහ. විහිංසා විතක්කො මෙරමා කෙරෙහි දුක් ඉපිදවීම පිළිබඳ විතර්කයක් බෝසතුන්ට නූපදී. එහෙත් සිත්හී උඩඟු වූ ආකාරය එකඟ නොවූ ආකාරය එයි. එය ගෙන විහිංසා විතර්කය කළේ ය. පන්සල් දොරකඩ හුන්නේ සිංහ ව්‍යාඝ්‍ර ආදී ව්‍යාල මෘගයන්, ඌරන් ආදී වූ කුඩා සතුන් නසන්නවුන් දකී. එකල්හි බෝසත්හු බිය රහිත වූ මෙම වනයෙහි ද මේ තිරිසන්ගත සතුන්ට ද සතුරෝ උපදිති. බලවත්හු දුබලයන් ගොදුරු කරගනිති. දුර්වලයන් කන්නේ යයි කරුණාව උපදවයි. අනෙක් බළල් ආදීන් ද, කුකුළු, මී ආදීන් කන්නවුන් දකී. ගමට පිණ්ඩපාතයේ යනවිට රාජ්‍ය නිලධාරීන් විසින් මිනිසුන්ට වධ බන්‍ධන පමුණුවනු දකී. තමන්ගේ ගොවිතැන් වෙළඳාම් කරගෙන ජීවත් වන්නට ඉඩ නොලබයි. මේවා දැක කරුණාව උපදී. ඒ සඳහා උප්පජ්ජති විහිංසා විතක්කො යනාදිය වදාළහ. තථාතථා ඒ ඒ කියන ලද ආකාරයෙන් මේ කියන ලද වේ. කාම විතර්කාදීන් අතුරෙන් යමක් විතර්ක කෙරේද? යම් යම් විතර්කයන් පවත්වාද? ඒ ආකාර වූම කාම විතර්කාදි භාවයෙන් ඔහුගේ සිතේ නැමීම වෙයි. පභාසි නෙක්ඛම්ම විතක්කං නෛෂ්කම්‍ය විතර්කය දුරු කෙරෙයි. බහුල ඔකාසි බහුල කෙරෙයි. තස්ස තං කාම විතක්කාය චිතතං ඔහුගේ ඒ සිත කාම විතර්කය පිණිස, යම්සේ කාම විතර්ක සම්ප්‍රයුක්ත වූයේ ද, එපරිද්දෙන් නැමෙයි යන අර්ථයි. සෙසු පදයන්හි ද මෙම ක්‍රමයමැයි.