විතක්කසණ්ඨාන සූත්‍ර වර්ණනාව
එවම්මෙ සුතං විතක්ක සණ්ඨාන සූත්‍රයයි. එහි අධිචිත්ත මනුයුත්තෙන දස කුසල කර්මපථ වශයෙන් උපන් සිත සිතම මයි. විදර්ශනා පාදක වූ අෂ්ට සමාපත්ති චිත්තය ඒ සිතට වඩා අධික වූ චිත්ත යනුයි අධිචිත්ත නම් වේ. අධිචිත්තං අනුයුත්තෙන ඒ අධිචිත්තයෙහි යෙදුනහු විසින් එහි යෙදුණු මනාව යෙදුණු යන අර්ථයි.
එහි මේ භික්‍ෂුව පෙරබත පිණ්ඩපාතයේ හැසිර, බතින් පසුව පිණ්ඩපාතය ප්‍රතික්‍ෂේප කරන්නේ, නිසීදනය (පත්කඩය) අසවල් රුක්මුල හෝ වනලැහැබෙහි හෝ පර්වත පාදයෙහි හෝ පල්ලමෙහි හෝ මහණකම් කරමියි නික්මෙන්නේ ද, එහි ගොස් අතින් හෝ පයින් හෝ හිඳිනා තැන තණ පරණලා ඉවත් කරයිද, ඔහු අධිචිත්තයෙහි යෙදුනාම වේ. හිඳගෙන මුහුණ කට සෝදා (අත් පා) එරමිණිය ගොතා වාඩි වී මූල කර්මස්ථානය ගෙන වාසය කරන්නේ අධි චිත්තයෙහි යෙදුනේම වේ.
නිමිත්තානි කාරණයෝ කාලෙන කාලං කලින් කල, කර්මස්ථානය නම් මොහොතක්වත් නො හැර නිරතුරුව මෙනෙහි කළයුතු නොවේද? භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් ‘කලින් කල’ යයි වදාළේ ද, පෙලෙහි කර්මස්ථානයේ තිස්අටක් බෙදන ලදහ. ඔවුන් අතුරෙන් තමන්ගේ සිතට රුචි වූ කර්මස්ථානයක් ගෙන, හුන්නා වූ මහණ විසින් යම් කිසියම් උපක්ලේශයක් නො උපදී ද, ඒ තාක් මේ නිමිත්තයන්ගේ මනසිකාර කෘත්‍යයක් නැත. යළිත් යම්විටක උපක්ලේශයක් උපදීද, එකල මේ නිමිති ගෙන සිතෙහි උපන් අර්බුදය බැහැර කටයුතු යයි දැක්වීමට මෙසේ වදාළහ.
ඡන්‍දූපසංහිතානි ඡන්‍ද සහගත වූ රාගය හා යෙදුනා වූ මේ තුන් විතර්කයන්ගේ උත්පත්ති ස්ථානය ද, අරමුණ ද දතයුතුයි. එහි ඡන්‍ද සහගත වූ විතර්කයන්ට ලෝභ සහගත සිත් අටදෙන ක්‍ෂේත්‍රයයි. උපන් බිමයි. ද්වේෂ සහගත විතර්කයන්ට, දෝස සහගත සිත් දෙදෙන උපන් බිමයි. මෝහ සහගත විතර්කයන්ට අකුසල් සිත් දොළසම උපන් බිම වන්නාහ. විචිකිච්ඡා උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත් දෙදෙන මොවුන්ට තම තමන්ට අයත් ක්‍ෂේත්‍රයි. සියල්ලන්ට ම සත්ත්වයෝ ද සංස්කාරයෝ ද අරමුණු වේ. ඉෂ්ට අනිෂ්ට වශයෙන් නො සමව බලන ලද සත්ත්වයන් කෙරෙහි ද සංස්කාරයන්හි ද විතර්කයෝ උපදිත්.
අඤ්ඤං නිමිත්තං මනසිකා තබ්බං කුසලූපසංහිතං එහෙයින් ඒ නිමිත්තට අන්‍ය වූ කුසල නිමිත්තක් මෙනෙහි කළ යුතුය. එහි අනෙක් නිමිත්ත නම් ඡන්‍ද සහගත වූ විතර්කයක් සත්ත්වයන් තුළ උපන් කල්හි අශුභ භාවනාව අන්‍ය නිමිත්ත නම් වේ. සංස්කාරයන් කෙරෙහි උපන් කල්හී අනිත්‍යය මෙනෙහි කිරීම අන්‍ය නිමිත්ත නම් වෙයි. ද්වේෂ සහගත විතර්කයක් සත්ත්වයන් තුළ උපන් කල්හි මෛත්‍රී භාවනාව අනෙක් නිමිත්ත වේ. සංස්කාරයන් කෙරෙහි උපන් කල්හි ධාතු මනසිකාරය අනෙක් නිමිත්ත නම් වේ. මෝහ සහගත විතර්කයක් යම්කිසි තැනෙක උපන් කල්හි පංච ධර්මයන් ඇසුරු කිරීම අනෙක් නිමිත්ත වේ.
මොහුගේ අත් හෝ පා හෝ හොබනාහුය යනාදී ක්‍රමයෙන් සත්ත්වයන් කෙරෙහි ලෝභය (ආශාව) උපන් කල්හි අශුභ වශයෙන් කල්පනා කළ යුතුය. කුමක් කෙරෙහි ඇලුනේද? කේශයන්හි ඇලුනේ වෙයි. ලෝමයන්හි ඇලුනේ වෙයි. මුත්‍රයෙහි ඇලුනේ වෙයි. මේ ආත්මභාවයෙහි නම්, තුන්සියයක් ඇටවලින් ඔසවන ලද්දේය. නවසියයක් නහරවලින් බඳන ලද්දේය. මාංශපේශි නවසියයකින් අනුලිප්තය. තෙත් සමින් හාත්පස වසන ලද්දේය. සිවියෙන් වසන ලද්දේය. නව වණ දොරින් ද නවානූදහසක් රෝම කූපයන්ගෙන් ද, අසූචි වැගිරෙයි. ඇටසැකිලිවලින් පූරිතය. දුගඳය. පිළිකුල්ය. ජුගුප්සිතය. දෙතිස් කුණපයන්ගේ සමූහය ය. මෙහි සාරයක් හෝ උතුම් වුවක් නැතැයි, මෙසේ අසුභ වශයෙන් සිතන්නහුට සත්ත්වයන් කෙරෙහි උපන් ආශාව ප්‍රහීණ වෙයි. එහෙයින් අශුභ වශයෙන් මෙනෙහි කිරීම ඒ නිමිත්තේ අන්‍ය නිමිත්තයි.
පාත්‍රා සිවුරු ආදී සංස්කාරයන් පිළිබඳව ආශාව උපන් කල්හි දෙපරිද්දෙකින් සංස්කාර මධ්‍යස්ථතාව උපදවානුයි, සතිපට්ඨාන වර්ණනාවෙහි කී ආකාරයෙන් අස්වාමික තාවකාලික භාව වශයෙන් මෙනෙහි කරන්නහුට එය ප්‍රහීණ වෙයි. එහෙයින් අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම ඔහුගේ අනෙක් නිමිත්ත වේ. සත්ත්වයන් කෙරෙහි ආඝාතය උපන් කල්හී ක්‍රෝධය ඉවත්කර ගැනීමට කකචූපම උපමා ආදීන්ගේ වශයෙන් මෙත් වැඩිය යුතුය. එය වඩන්නහුගේ ඒ ද්වේෂය ප්‍රහීණ වෙයි. එහෙයින් මෛත්‍රී භාවනාව අනෙක් නිමිත්ත නම් වේ. යළි කණු කටු තණ පරණලා ආදියෙහි ද්වේෂය උපන් කල්හි තෙපි කාට කිපෙහිද? පෘථුවි ධාතුවට ද? ආපෝ ධාතුවට ද? මේ කවරෙක් කිපෙන්නේද? කිම පෘථුවි ධාතුවට ද නැතිනම් ආපෝ ධාතුවටද යනාදී ක්‍රමයෙන් ධාතු මනසිකාරය කරන්නහුට ඒ ද්වේෂය ප්‍රහීණ වෙයි. එහෙයින් ධාතු මනසිකාරය ඔහුගේ අන්‍ය නිමිත්ත වේ.
මෝහය වනාහි යම්කිසි තැනක උපන් කල්හි -
ගරූපවාසො උද්දෙසො - උද්දිට්ඨ පරි පුච්ඡනං
කාලෙන ධම්ම සවණං - ඨානාඨාන විනිච්ඡයො
පඤ්ච ධම්මූපනිස්සාය - මොහධාතු පහීයති
ගුරුවරුන් ආශ්‍රය කිරීම, පර්යාප්ති ධර්මයෙහි උද්ග්‍රහණය, උදෙසන ලද ධර්මයෙහි අර්ථ විචාරීම, සුදුසු කල්හි ධර්මශ්‍රවණය, කාරණයෙන් කාරණය විසඳීම යන ධර්මයන් පස්දෙන නිසා මෝහය ප්‍රහීණ වෙයි.
මේ පංච ධර්මයෝ ඇසුරු කළ යුත්තාහ. ගුරුවරයා ඇසුරෙහි වාසය කරන භික්‍ෂුව නොවිචාරා ඇවිදීමට යන්නහුට, පා දෝනා තැනට නො පැමිණෙන්නහුට, වත් පිරිය යුතු වේලේ වත්පිළිවෙත් නො කරන්නහුට, ආචාර්යවරයා විසින් දිය කළ සියයක් ඇදීම ආදී වූ (වැලිදඬුවම්) දඬුවම් කෙරේයයි උත්සාහවත් වූයේ වේද මෙසේ ඔහුගේ මෝහය ප්‍රහීණ වෙයි. බණ ඉගෙන ගතයුතු කාලයෙහි උගෙන නොගන්නහුට ද, නො මනාකොට හදාරන්නහුට ද. නොහදාරන්නහුට ද ගුරුවරයා දඬුවම් කෙරේනුයි උත්සාහවත් වූයේ ද එයිනුත් මොහුගේ මෝහය ප්‍රහීණ වෙයි. ගරුකටයුතු බුහුමන් කටයුතු භික්‍ෂූන් කරා එළඹ ස්වාමීනි, මෙය කෙසේ වේද? මෙහි අර්ථය කුමක්ද ආදී වශයෙන් විමසන්නහුගේ ද සැකය දුරුවෙයි. ඒ මගින්ද මොහුගේ මෝහය ප්‍රහීණ වෙයි. සුදුසු කල්හි ධර්මශ්‍රවණය කරන තැන්වලට ගොස් සකසා මැනවින් ධර්මය ශ්‍රවණය කරන්නේද ඒ ඒ තැන්වල අර්ථය පැහැදිලි කරගන්නේද මෙසේත් මෝහය දුරුවෙයි. මේ මෙයට කාරණයයි. මේ මෙයට ආකාරණයයි ආදී වශයෙන් තැන නොතැන විමසීමෙහි දක්‍ෂ වේද, මේ මගින්ද මෝහය දුරුවෙයි. එහෙයින් මේ පංච ධර්මයන් ඇසුරු කිරීමම නිමිත්තයාගේ අනෙක් නිමිත්ත වේ.