මහාදුක්ඛක්ඛන්ධ සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු මහා දුක්ඛක්ඛන්‍ධ සූත්‍රයයි. එහි සම්බහුලා විනයට අනුකූලව තුන්දෙනෙක් ‘සම්බහුලා’ යයි කියති. එයින් මත්තෙහි ‘සංඝ’ය. සූත්‍රාන්තයන්ට අනුකූලව තුන්දෙන, තුන්දෙනම වේ. ඊට වැඩි වූ පිරිස ‘සම්බහුලා’ය නම් වේ. මෙහි සූත්‍රාන්ත ක්‍රමයෙන් සම්බහුල වූයේ යයි දතයුතු. පිණ්ඩාය පවිසිංසු පිඬු පිණිස පිවිසියාහුය. එහෙත් ඔව්හූ ඒ තාක් නො පිවිසියාහුය. පිවිසෙන්නෙමුයි පිටත් වූ බැවින් ‘පවිසිංසූ’ යයි කීහ. කුමක් මෙන්ද යත්, ගමට යන්නෙමියි පිටත් වූ පුද්ගලයෙක් ගමට නොගියේ නමුත්, අසවලා කොහිදැයි කී කල්හි ගමට ගියේ යයි කියන්නාක් මෙනි. පරිබ්බාජකානං ආරාමො ජේතවනාරාමයට නුදුරින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමයක් ඇත. ඒ සඳහා කියන ලදී. සමණො ආවුසො ඇවැත්නි, ඔබලාගේ ශාස්තෲ වූ ශ්‍රමණ ගෞතම තෙම කාමානං පරිඤ්ඤන්ති කාමයන්ගේ ප්‍රහාණය ඉක්මවීම පනවයි. රූප වේදනා ආදිය පිළිබඳව ද මෙම පිළිවෙතමයි.
එහි තීර්ථකයෝ ස්වසමය දන්නාවූ ප්‍රථමධ්‍යනය කියමින් කාමයන්ගේ දුරුකිරීම (විනාශය) පනවන්නාහුය. එතකුදු වුවත් ඔව්හූ මේ ප්‍රථමධ්‍යනය මේ අරූපභවය මේ අසංඥ භවයයි නොදනිති. ඔව්හූ පැනවීමට නොහැකි වන්නාහුම හුදෙක් පනවමු පනවමු’යයි කියති. තථාගතයන් වහන්සේ වනාහි කාමයන් දුරුකිරිම අනාගාමී මාර්ගයෙන් පනවයි. රූප වේදනාවන් දුරුකිරීම රහත් මාර්ගයෙන් පනවයි. ඔව්හූ මේ මහත් වූ වෙනස දැක දැක ද ඉධ නො ආවුසො කො විසෙසො (මෙහි විශේෂයක් කොහින්දැයි) කීහ.
එහි ඉධ මේ පැනවීමෙහි ධම්ම දෙසනාය වා ධම්ම දෙසනං ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්ම දේශනාව සමග අපගේ ධර්මදේශනාව හෝ අපගේ ධර්මදේශනාව අනුව ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්ම දේශනාව හෝ අරභයා යම් මේ වෙනස් කරුණක් කියව්ද, ඒ කිනම්දැයි කියති. දෙවෙනි පදයේ ද මෙම ක්‍රමයමයි. මෙසේ ඔව්හූ මැදින් බිඳීගිය රනක් මෙන් වූ තමන්ගේ ලබ්ධිය, ශාසනය සමග සම තත්වයෙන් වචන මාත්‍රයෙන් තැබූහ. නෙව අභිනන්‍දිංසු මෙය එසේ යයි නොපිළිගත්තාහුය. න පටිකොසිං මෙය එසේ නොවේ යයි ප්‍රතික්‍ෂේපද නොකළහුය. කවර හෙයින්ද, ඒ තීර්ථකයෝ වනාහි අන්ධ වූවාහු දැන හෝ නොදැන හෝ කියන්නහු යයි නොපිළිගත්තාහුය. පරිඤ්ඤං යන වචනයෙන් මදක් ශාසන ගන්ධය ඇතැයි ප්‍රතික්‍ෂේප නොකළාහුය. නොහොත් ජනපදවාසී වූ ඒ භික්‍ෂූහු බුදු සමය හා තීර්ථක සමය පිළිබඳව අතිශයින් සමර්ථ නොවූවාහූ නිසා පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම මත නොකළාහුය.
න චෙව සම්පායිස්සන්ති සම්පාදනය කොට කියන්නට නොහැකි වන්නාහුය. උත්තරිඤ්ච විඝාතං සකසා නොකියහැකි හෙයින් මත්තෙහිද දුකට පැමිණෙන්නාහ. ඒ සත්‍යය සකස්කොට මනාව කීමට නොහැකි වන්නන්ට දුක් උපදනේමය. යථා තං භික්ඛවෙ අවිසයස්මිං මෙහි යථා යනු කළයුතු වචනය. තං යනු නිපාතයකි. යම්හෙයකින් අවිෂය වූ ප්‍රශ්නයක් විචාරන ලද්දේය යන අර්ථයයි. සදෙවකෙ දෙවියන් සහිත වූයේ, සමාරකෙ ආදියෙහි ද මේ ක්‍රමයමයි. මෙසේ තුන් තැනක් ‘ලොකෙ යිද, දෙතැනක් ‘පජාය’යී ද, තබා පද පසින් ම සත්ත්ව ලෝකය ම ඇතුළත් කොටගෙන මේ සදේවකාදී භේද ඇති ලෝකයෙහි ඒ දෙවියා හෝ මිනිසා නොදක්මියි දක්වයි. ඉතො වා පන සුත්‍වා මේ මාගේ ශාසනයෙන් හෝ අසා, ඒ එසේමයි. මේ ශාසනයෙන් අසා තථාගත නොවූයේ ද. තඝාත ශ්‍රාවක නොවූයේද ආරාධනා කරන්නේය. සතුටු කරන්නේය. අන් පරිද්දෙකින් සතුටු කිරීමක් නම් නැතැයි දක්වයි.