සල්ලෙඛ සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු සල්ලෙඛ සූත්‍රයයි. එහි මහාචුන්‍දො යනු එම තෙරුන්ගේ නාමයයි. සායණ්හ සමයං, සවස් කාලයෙහි, පටිසල්ලාණා වුට්ඨිතො මෙහි පටිසල්ලාණං යනු ඒ ඒ සත්ත්ව සංඛාරයන් කෙරෙහි ආපසු හැරී, සල්ලාණය, නිලීයන එකඟ බව ප්‍රකර්ෂ විවේකය යයි කියන ලද වෙයි. යමෙක් එම (සල්ලාණ නම් වූ) සමවතින් නැගීසිටියේද, හෙතෙම පටිසල්ලාණ වුට්ඨිත නම් වේ. මෙතෙම වූ කලී උතුම් වූ ඵලසමවතින් නැගී සිටියේ ද, එහෙයින් පටිසල්ලාණා වුට්ඨිතො යයි කියන ලද්දේ වෙයි.
භගවන්නං අභිවාදෙත්‍වා, සම වූ දසනියෙන් දිලියෙන, දොහොතින් සරසන ලද හිසින් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, අභිවාදනය කරවා, හෙවත් චුන්දය, සුවපත් වේවායි මෙසේ වාග්භේදය කරවා, භාග්‍යවතුන් වහන්සේ වඳනා ලද්දාහු රන් මිහිඟු බෙරයක් වැනි වූ ග්‍රීවය ගෙන කර්ණසුඛ වූ ප්‍රේමණීය වූ අමෘතාභිෂේකයක් වැනි වූ බ්‍රහ්ම ඝෝෂය විහිදුවමින් සුඛී හොකි යයි ඒ ඒ වැන්ද අයගේ නම්ද ගෙන කියන සේක. මෙසේ එම කාරණය බුදුරදුන් විසින් පුරුදු කරන ලද්දකි. මේ එයට නිදර්ශන සූත්‍රයකි. සක්කො භන්තෙ දෙවා නමින්‍දො සාමච්චො සපරිජනො භගවතො පාදෙ සිරසා වන්‍දතීති, සුඛී හොතු පඤ්චසිඛ, දෙවානමින්‍දො සාමච්චො සපරිජනො සුඛකාමාහි දෙවා මනුස්සා අසුරා නාගා ගන්‍ධබ්බා යෙපිචඤ්ඤෙ සන්ති පුථුකායාති (ස්වාමීනි, සදෙව් තම හිතවත් පිරිවර ජනයා සහිත වූයේ, බුදුරදුන්ගේ පාදයන් මස්තකයෙන් වඳියි යයි, පඤ්චශිඛය, සුහෘදයන් සහිත වූ සක්දෙව්රද සුවපත් වේවා. යම්හෙයකින් දෙවියෝ ද මනුෂ්‍යයෝ ද අසුරයෝ ද නාගයෝ ද, ගාන්ධර්වයෝ ද අන්‍ය වූත් යම් මහජන කෙනෙක් වෙත්නම් ඔවුහු ද සැපයට කැමැත්තාහු ද එහෙයිනැයි) මෙසේද තථාගතයන් වහන්සේ මෙබඳු මහේශාක්‍ය දේවතාවන්ට ප්‍රකාශ කෙරෙත් යයි.
යා ඉමා යනුවෙන් දැන් කිවයුතු වූ දෘෂ්ටීන් ඉදිරිපත් කරන්නාක් මෙන් වදාළහ. අනෙක විහිතා නානාප්‍රකාර වූ දිට්ඨියො මිථ්‍යා දෘෂ්ටීහු, ලොකෙ උප්පජ්ජන්ති සත්ත්වයන් අතරෙහි උපදිත් ද, අත්තවාද පටිසංයුත්තා යනු රූපං අත්තතො සමනුපස්සති ආදි ක්‍රමයෙන් පැවැති ආත්ම දෘෂ්ටීන්ගෙන් යුක්ත වූවාහු, ඔවුහු විසිදෙනෙක් වෙති.
ලොකවාද පටිසංයුත්තා යන සස්සතො අත්තා ච ලොකොච යනාදි ක්‍රමයෙන් පැවැති ලෝකවාදයෙන් යුක්ත වූවාහු, ඒ දෘෂ්ටීහු අටදෙනෙක් වෙති. සස්සතො, අසස්සතො, සස්සතො ච අසස්සතො ච, නෙව සස්සතො නාසස්ස තො, අන්තවා, අනන්තවා, අන්තවා ච අනන්තවා ච, නෙවන්තවා නානන්තවා අත්තා ච ලොකො යයි මේ අයුරින් පැවති බැවිනි.
ආදිමෙව යනාදියෙහි මේ අර්ථයයි. කිමෙක්ද ස්වාමීනි, පළමුකොටම මෙනෙහි කරන්නහුට, සෝවාන්මගට නොපැමිණීම, විදර්ශනාවෙන් මිශ්‍ර වූ පළමු මනසිකාරයම මෙනෙහි කරන භික්‍ෂුවට මෙසේ මොවුන්ගේ මෙතෙක් දැක්වූ උපායෙන්ම මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණයත් දුරලීමත් වේද? යනුවෙන් තෙරණුවෝ තමන් අධිමාන රහිත වූවාහුම, අධිගතයෙමියි යන මාන ඇත්තවුන්ගේ, අධිමාන ප්‍රහාණය පිණිස අධිමාන ඇත්තෙකු මෙන් වී, විචාරත් යයි දතයුතුයැ.
(අපරෙ) අන්‍ය ආචාර්ය කෙනෙක් තෙරුන් වහන්සේගේ අතවැසියෝ ප්‍රථම මනසිකාරයෙන් ම දෘෂ්ටීන්ගේ සමුචේඡද ප්‍රහාණය වේයයි මෙවන් හැගීම් ඇත්තාහු ද, සමාපත්ති විහරණයෝ සල්ලෙඛ විහරණයෝ යයි, මෙසේ සංඥා ඇත්තාහුද ඇති බැවින් ඒ තෙරණුවෝ ඔවුන්ට වැඩ පිණිස බුදුරදුන් විචාළහයි කීහ.
අනතුරුව එම තෙරුන්ට එම දෘෂ්ටීන්ගේ ප්‍රහාණය දක්වන සේක්, යා ඉමා, යනාදිය වදාළහ. එහි යත්‍ථ චෙතා දිට්ඨියො උප්පජ්ජන්ති යනාදිය පංචස්කන්ධය සඳහා වදාරණ ලදී. මේ පංචස්කන්ධයෙහිම මෙම දෘෂ්ටීහු උපදිති. එහෙයින් වදාළහ. රූපෙ ඛො භික්ඛවෙ සති, රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති සො, අත්තා සො ලොකො සො පෙච්ච භවිස්සාමි, නිච්චො ධුවො සස්සතො අවිපරිණාම ධම්මො (මහණෙනි, රූපය ඇතිකල්හිම, රූපයෙහි පිහිටා මෙසේ දෘෂ්ටිය උපදියි. ඒ මම ආත්මය වෙමි. ඒ මම ලෝකය වෙමි. ඒ මම පරලොව වන්නෙමි. සර්වකාලිකය. ස්ථිරය. ච්‍යුත වීම් රහිතය. ප්‍රකෘතිය අත්නොහරින ස්වභාව ඇත්තේ යයි) යනු විස්තරයයි. අරමුණු වශයෙන් එක්වචන කොට යත්‍ථ ච යයි වදාළහ. යම් අරමුණෙක්හි උපදිත් යයි කියන ලද්දේ වෙයි. මෙහිද උප්පජ්ජති, අනුසෙන්ති, සමුදාචරන්ති යන මෙ පදයන්ගේ නානාකරණය දතයුතුය. ජාති වශයෙන් වනාහි, නූපන්නහු උපදින්නේ උපජ්ජන්ති යයි කියනු ලැබෙත්. නැවත, නැවත සෙවුනා ලද්දාහු, ථාවර වූවාහු නොහික්මවන ලද්දාහු අනුසෙන්ති අනුව හොවිත් යයි කියනු ලැබෙත්. කාය, වාග් ද්වාරයට පැමිණියාහු සමුදාචරන්ති හැසිරෙත් යයි කියනු ලැබෙත්. මේ ඔවුන්ගේ නානාකරණයයි. (නානත්‍වයයි)
තං නෙතං මම යන ආදි තන්හි, ඒ පංචස්කන්ධයාගේ ප්‍රභේද වූ අරමුණ, මෙය මාගේ නොවෙයි. මමත් මෙතෙම නොවෙමි. මේ මගේ ආත්මයත් නොවේ යයි. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො මෙසේ පළමුකොට පදාර්ථ දතයුතුයැ.
යම්හෙයකින් වනාහි මෙහි එතං මම යනු තණ්හාවෙන් ගැනීම වේද, එයද ග්‍රහණය කරන්නේ, එකසිය අටක් හැසිරීම් ප්‍රභේදයන් ඇති, තණ්හා ප්‍රපඤ්චය ගනියි. එසොහමස්මි යනු මානයෙන් ගැනීමයි. නව ප්‍රභේද ඇති මාන පපඤ්චය ගනියි.
එසො මෙ අත්තා යනු දෘෂ්ටි වශයෙන් ගැනීම් වේද, එය ග්‍රහණය කරන්නේ හැටදෙකක් ප්‍රභේදගත දෘෂ්ටි පපඤ්චය ගනියි.
එහෙයින්, නෙතං මම යයි වදාරන්නා වූ බුදුරදහු ඉහත සඳහන් තෘෂ්ණා ප්‍රපඤ්චය ප්‍රතික්‍ෂේප කරන සේක. න සො හමස්මි යනුවෙන් මාන ප්‍රපඤ්චය ද න මෙ සො අත්තා යනුවෙන් දෘෂ්ටි ප්‍රපඤ්චය ද, (ප්‍රතික්‍ෂෙප කරන සේක.) මෙහි තණ්හා මානයෝ දිට්ඨිය හා එක් වූවාහු යයි දතයුත්තාහ. එවමෙතං, මෙසේ නෙතං මම යනාදි ආකාරයෙන් මෙම ස්කන්ධ පංචකය යථාභූතං තත් වූ පරිදි යම්සේ ඇත්තේ ද එසේ යයි කියන ලද්දේ වෙයි. ඒ එසේමැයි. පංචස්කන්ධය මේ ආකාරයෙන්ම අත්‍ථි මම, යනාදි වශයෙන් ග්‍රහණය කරන්නේ නොම ඇත යන අදහසයි. සම්මප්පඤ්ඤාය පස්සතො සෝවාන් මග නැණ අවසන්කොට ඇති විදසුන් නැණින් මනාකොට දක්නහුට එවමෙතෙසං මේ උපායෙන් මොවුන්ගේ පහාතං පටිනිස්සග්ගො යන මේ (පද) කෙම සමුච්ඡෙද ප්‍රහාණයටම නමකි.