සරණයමියි සිත් ඉපද වූ කල්හිම පසුව කයින් හෝ වචනයෙන් සරණ ගනියි. එසේ පසඟ, අටඟ, දසඟ හෝ සීලයක් සමාදන් වන්නෙමියි සිත් උපදවාම කයින් හෝ වචනයෙන් හෝ සමාදන් වෙයි. පැවිදිව, චතුපාරිසුද්ධි සීලයෙහි පිහිටන්නෙමියි සිත් උපදවාම කයින්ද වචනයෙන් ද පිරිය යුතු සිල් පුරයි. බුදුදහම ඉගෙන ගනිමියි, සිත් උපදවාම එක් නිකායක් හෝ දෙනිකායක් හෝ තුන් නිකායක් හෝ සතර නිකායක් හෝ පස් නිකායක් හෝ වචනයෙන් උගනී.
මෙසේ ධුතාංග සමාදාන, කමටහන් ඉගෙනීම කසිණ භාවනා ධ්‍යාන, සමවත් විදසුන් මගඵල ප්රත්යෙක බොධි සම්‍යග් සම්බෝධි යන මොවුන්ගේ වශයෙන් දැක්විය යුතුය.
බුදුවන්නෙමියි සිත ඉපදවීමම තෙමේම ඒකාන්ත සුව එළවන්නේ වෙයි. අනුවිධීනනයනට (ඒ අනුව එය සිදුවීමට) හේතු වෙයි. මෙසේ උපන් සිත් ඇත්තේම පසුකලෙක, කල්ප ලක්ෂයක් අධිකකොට ඇති සාරාසංඛ්යයක් කයින් ද වචනයෙන් ද පෙරුම් පුරා දෙවියන් සහිත ලෝකයා (සසරින්) තරණය කරවමින් හැසිරෙයි. මෙසේ සියලු තැන්හිම චිත්තොදපාදයද බොහෝ උපකාර ඇත්තේය. කය වචන දෙකින් ක්‍රියාත්මක වීම වනාහි බොහෝ උපකාර ඇත්තේ යයි දතයුත්තේය.
මෙසේ කුසල ධර්මයන්ගේ චිත්තොත්පාදයාගේ ද බොහෝ උපකාර ඇති බව දක්වා දැන් එහි යොදවන සේක් තස්මාතිහ චුන්ද යනාදිය වදාළහ. එය අර්ථ වශයෙන් ප්‍රකට වූයේම වෙයි.
මෙසේ සිවුසාළිස් අයුරින් දක්වන ලද සල්ලෙඛයෙහි චිත්තොත්පාදයාගේද බොහෝ උපකාර ඇති බව දක්වා දැන් එම සල්ලෙඛයම අධිගමයට හිතවත් වූ මාර්ගය බැව් දක්වන්නේ සෙය්යථාපි යනාදිය වදාළහ.
එහි අර්ථය නම්, චුන්දය, යම්සේ කණු, කටු ගල් ආදියෙන් විෂම වූ මාර්ගයක් වන්නේද, එම මාර්ගය දුරලීම පිණිස වැලැක්වීම පිණිස අනිත් මනාව පිරියම් කළ, බිම් පෙදෙසක් වැනි සම වූ මාර්ගයක් වන්නේද, නැතහොත්, රුක්මුල් ගල් ප්‍රපාත, කිඹුල් මකර ආදීන් ගැවසීගත් විෂම වූ තොටක් වන්නේ ද, ඒ තොට දුරලීම පිණිස අතහැර දැමීම පිණිස අන්‍ය වූ විෂම නොවූ පිළිවෙලින් ගැඹුරු වූ තොටක් වන්නේ ද, යම් තොටකට පිළිපන්නේ සුවසේම එම නදියට හෝ එම තඩාගයට හෝ බැස නාන්නේ හෝ එතර වන්නේ හෝ වේද, චුන්දය, එපරිද්දෙන්ම විෂම මග විෂම තොට වැනි වූ විහිංසාවෙන් යුතු විහිංසක පුද්ගලයාගේ එම විහිංසාව දුරලීම පිණිස සම වූ මග සම වූ තොට වැනි වූ අවිහිංසාව වෙයි. ඒ එසේමැයි, විෂම වූ මග හා තොට දුරලීම පිණිස සම වූ මාර්ගයද තීර්ථයද යම්සේ පිළියෙල කරන ලදද, එසේ විහිංසාව දුරලීම පිණිස අවිහිංසාව පිළියෙල කරන ලද්දීය. හෙතෙම යම් අවිහිංසාවකට පිළිපන්නේ සුවයේම මනුෂ්‍ය ගතියට හෝ දේවගතියට පැමිණ සැපත් අනුභව කරන්නේ හෝ ලෝකයෙන් එතර වන්නේ හෝ වේද මේ ක්‍රමයෙන් සියලු පදයෝ යෙදිය යුත්තාහුය.
මෙසේ ඔහුගේම අධිගමයට හිතවූ මාර්ගය බැව් දක්වා උපරිභාවයට යායුතු බව දක්වන සේක්, සෙය්යථාපි යනාදිය වදාළහ. එහි අර්ථය නම්,
චුන්දය, යම්සේ වනාහි පටිසන්ධිය ගෙනදෙන්නා වූ හෝ පටිසන්ධිය ගෙන නොදෙන්නා වූ හෝ දුන් පටිසන්ධියට විපාක ගෙන දෙන්නා වූ හෝ නොදෙන්නා වූ හෝ යම්කිසි අකුසල ධර්ම කෙනෙක් වෙත් ද, ඒ සියල්ලෝ ජාති වශයෙන් අධෝභාවයට යායුත්තාහු නුයි, එබඳු නම් ඇත්තාහුම වෙත් ද, විපාක කාලයෙහි අනිෂ්ට වූ අකාන්ත වූ විපාක දෙන බැවිනි.
තව ද, යම්සේ පටිසන්ධි ගෙනදෙන්නා වූ හෝ නොදෙන්නා වූ හෝ දුන් පටිසන්ධියට විපාක දෙන්නා වූ හෝ නොදෙන්නා වූ යම්කිසි කුසල ධර්ම කෙනෙක් වෙන්ද, ඒ සියල්ලෝම ජාති වශයෙන් උපරිභාවයට යායුත්තාහුනුයි එබඳු නම් ඇත්තාහුම වෙත් ද, විපාක කාලයෙහි ඉෂ්ට වූ කාන්ත වූ විපාක ඇති බැවිනි. එව මෙව ඛො චුන්ද විහිංසකස්ස -පෙ- උපරිභාවය එපරිද්දෙන්ම චුන්දය, විහිංසක වූ -පෙ- උපරිභාවය පිණිස වේයයි.
මේ මෙහි උපමා සංසන්දනයයි. යම්සේ සියලු අකුසල ධර්මයෝ අධෝභාවයට පැමිණිය යුත්තාහුද එසේ විහිංසක වූ පුද්ගලයා හට හුදු විහිංසා තොමෝම අධෝභාව ගමනීය වෙයි. යම්සේ සියලු කුසලයෝ උපරිභාවයට පැමිණිය යුත්තාහු වෙත්ද, එසේ අවිහිංසක වූ පුද්ගලයාට හුදු අවිහිංසාවම උපරිභාව ගමනීය වෙයි. මේ ක්‍රමයෙන්ම අකුසලය, අකුසලය සමගද කුසලය කුසලය සමගද උපමා කටයුතුයි. මේ වනාහි මෙහි අදහසයි.