එහෙයින්, නෙතං මම යයි වදාරන්නා වූ බුදුරදහු ඉහත සඳහන් තෘෂ්ණා ප්‍රපඤ්චය ප්‍රතික්‍ෂේප කරන සේක. න සො හමස්මි යනුවෙන් මාන ප්‍රපඤ්චය ද න මෙ සො අත්තා යනුවෙන් දෘෂ්ටි ප්‍රපඤ්චය ද, (ප්‍රතික්‍ෂෙප කරන සේක.) මෙහි තණ්හා මානයෝ දිට්ඨිය හා එක් වූවාහු යයි දතයුත්තාහ. එවමෙතං, මෙසේ නෙතං මම යනාදි ආකාරයෙන් මෙම ස්කන්ධ පංචකය යථාභූතං තත් වූ පරිදි යම්සේ ඇත්තේ ද එසේ යයි කියන ලද්දේ වෙයි. ඒ එසේමැයි. පංචස්කන්ධය මේ ආකාරයෙන්ම අත්‍ථි මම, යනාදි වශයෙන් ග්‍රහණය කරන්නේ නොම ඇත යන අදහසයි. සම්මප්පඤ්ඤාය පස්සතො සෝවාන් මග නැණ අවසන්කොට ඇති විදසුන් නැණින් මනාකොට දක්නහුට එවමෙතෙසං මේ උපායෙන් මොවුන්ගේ පහාතං පටිනිස්සග්ගො යන මේ (පද) කෙම සමුච්ඡෙද ප්‍රහාණයටම නමකි.
මෙසේ බුදුරදහු ආදි මනසිකාරයෙන්ම දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වේදෝ හෝ නොවේදෝහෝයි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන් විසින් අධිගතයෙමි යන මාන ඇත්තවුන්ගේ, වශයෙන් ප්‍රශ්න විචාරණ ලද්දාහු සෝවාන් මගින් දිටඨි ප්‍රහාණය දක්වා මේ වනවිට තමන් වහන්සේම අධිමානිකයන්ගේ ධ්‍යානය විභාග කරන සේක්, ඨානං ඛො පනෙතං යනාදිය වදාළහ.
එහි අධිමානිකයෝ නම්, යම් කෙනෙකුට නොපැමිණි (මාර්ගඵල)යෙහි පැමිණියේය යන සංඥාවෙන් අධිමානය උපදී ද, (ඔවුහුය) ඒ මේ අධිමාන උපදනේ ලෝකයෙහි වට්ටානුසාරී වූ බාල පුහුදුන් හට නොම උපදී. ආර්ය ශ්‍රාවකයන්ට නොම උපදියි. සෝවාන් වූවහුට මම සකෘදාගාමි වෙමියි, යයි අධිමානය නොම උපදී. සකෘදාගාමියාට මම අනාගාමි වෙමියි අධිමානය නොම උපදී. අනාගාමි පුද්ගලයාට මම රහත් වෙමියි, අධිමාන නොම උපදී. සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් හෝ විෂ්කම්භණය කළ කෙලෙස් ඇති නිත්‍යයෙන් යුක්ත වූ ප්‍රයුක්ත වූ පටන්ගන්නා ලද විදර්ශනා ඇති කාරකයා හටම උපදී.
ඒ එසේමැයි, සමථ භාවනාවෙන් විෂ්කම්භණය කළා වූ හෝ විදර්ශනා භාවනාවෙන් විෂ්කම්භණය කළා වූ හෝ කෙලෙසුන් හැසිරීම නොදක්නා වූ ඕහටම මම සෝතාපන්න වෙමියි හෝ සකෘදාගාමි අනාගාමි මම රහත් වෙමියි හෝ අධිමානය උපදී. තලගුරු තිස්සපබ්බතවාසී ධම්මදින්න තෙරුන් විසින් අවවාද කරනු ලැබූ තෙරවරුන් මෙනි.
ධම්මදින්න තෙරුන් වහන්සේ
උපසපන් නොබෝකල් ඇති ධම්මදින්න තෙරුන්වහන්සේගේ අවවාදයෙහි පිහිටා බොහෝ භික්‍ෂූහු විශේෂ ගුණයන්ට පැමිණියාහුය. මෙම පුවත අසා තිස්සමහා විහාරවාසී, භික්‍ෂු සංඝතෙම ස්ථවිර තෙම අස්ථානයෙහි යොදවන්නෙක් නොවෙති. තෙරුන් කැඳවාගෙන එව් යයි බොහෝ භික්‍ෂූන් යැවූහ. ඔවුහු ගොස් ඇවැත්නි ධම්මදින්නයෙනි, භික්‍ෂු සංඝතෙම ඔබ කැඳවායයි, කීවාහුය. හෙතෙම මෙසේ කීය. කිමෙක්ද වහන්ස, තෙපි තමා සෙවීම කෙරෙත් ද, අනුන් සෙවීම කෙරෙත්දැයි සත්පුරුෂය තමා සෙවීම කරමුයයි (කීහ) හෙතෙම ඔවුන්ට කමටහන් දින. සියල්ලෝම රහත්බවට පැමිණියාහුය. භික්‍ෂු සංඝ තෙම නැවත අන්‍ය භික්‍ෂූන් යැවීය. මෙසේ තුන්වන වර දක්වා යවනු ලැබූ සියල්ලෝම එහිදීම රහත්බවට පැමිණ වාසය කළාහුය.
ඉක්බිති සංඝ තෙම ගිය ගිය අන නොම එතියයි, එක්තරා මහලු පැවිද්දෙකු යැවීය. හෙතෙම ගොස්, ස්වාමීනි, ධම්මදින්නය, තුන්වරක් තිස්සමහා විහාර භික්‍ෂු සංඝ තෙම ඔබ වෙත දූතයන් එවූයේය. තෙපි සංඝයාගේ ආඥාව ගරු නොකළහුද? නොආවාහුදැයි කීය. ස්ථවිර තෙම මේ කිමෙක්දැයි පන්සලට නොපිවිසම පාසිවුරු ගෙන්වාගෙන, එකෙනෙහිම නික්මින. හෙතෙම අතරමග හඞ්කන විහාරයට පිවිසීය.
එහිදු එක් සැටවස් ඉක්මවන ලද මහතෙර කෙනෙක් අධිමානයෙන් යුතුව රහත්බව ප්‍රතිඥා කෙරෙයි. තෙරුන්වහන්සේ එම මහතෙරුන් වෙත එළඹ වැඳ පිළිසඳර කථාකොට අධිගමය විචාළහ. මහතෙර මෙසේ කීය. එසේය ධම්මදින්නය. පැවිද්දා විසින් යමක් කළයුතුද. එය මා විසින් කරන ලදුව බොහෝකල් ඉක්ම ඇත. දැන් ඉක්මවූ සැටවස් ඇත්තෙක් වෙමි. කිම වහන්ස, සෘද්ධිය වළඳන්නහුද? එසේය ධම්මදින්නය, ඒකාන්තයෙන් යහපති ස්වාමීන් වහන්ස. ඇතෙකු ඔබ හමුවට එන්නක්හුකොට මැවුව මැනවයි, මැනවි ඇවැත්නි, යයි ස්ථවිර තෙමේ සර්වශ්වේත වු සත්තැනකින් (පොලොවේ) පිහිටි තුන්පරිද්දකින් ප්‍රභේද වූ නගුට චලනය කරන්නා වූ සොඩ මුඛයෙහි බහා දෙදලින් විදිනු කැමති වූවෙකු මෙන් වූ ඉදිරියට එන්නා වූ මහා හස්තියෙකු මැවීය.
හෙතෙම ඒ තමා විසින්ම මවන ලද ඇතා දැක බියවූයේ පලායන්ට පටන්ගත, එවිටම තමා මම නො රහත්මි යයි, දැන ධම්මදින්න තෙරුන් පාමුල උක්කුටිකට හිඳ ඇවැත්නි මට පිහිට වේවයි කීය. ධම්මදින්න තෙම, වහන්ස ශෝක නොවන්න. දොම්නස් නොවන්න. කාරකයන්ටම (අධිගමය සඳහා ක්‍රියා කරන්නවුන්ටම) අධිමානය උපදී යයි තෙරුන් සනසා කමටහන් දිනි. තෙරණුවෝ ධම්මදින්න තෙරුන්ගේ අවවාදයෙහි පිහිටා රහත්බව ලැබී.