වත්ථුපම සූත්ර වර්ණනාව
එවං මෙ සුතං, යනු වත්ථ සූත්රයයි. එහි සෙය්යථාපි භික්ඛවෙ වත්ථං යනුවෙන් මහණෙනි, වස්තරයක් යම්සේ ද, මේ උපමා වචනයකි. උපමාව ප්රකාශ කරන්නා වූ භාග්යවතුන් වහන්සේ කිසිතැනෙක්හි උපමාව පළමුකොට දක්වා පසුව අර්ථය දක්වන සේක. කිසිතැනෙක්හි පළමුකොට අර්ථය දක්වා පසුව උපමාව දක්වයි. කිසිතැනෙක්හි උපමාවෙන් අර්ථය පිරිවරා දක්වති. කිසිතැනෙක්හි අර්ථයෙන් උපමාව පිරිවරකොට දක්වති. ඒ එසේමැයි. භාග්යවතුන් වහන්සේ,
සෙය්යථාපස්සු භික්ඛවෙ, ද්වෙ අගාරා සද්වාරා තත්ථ චක්ඛුමා පුරිසො මජ්ඣෙ ඨිතො පස්සෙය්ය යනුවෙන් සියලුම දේවදූත සූත්රය උපමාව පළමුකොට දක්වා පසුව අර්ථය දක්වා වදාළහ.
තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ යන මේ ආදි නයින් සියලු ඉද්ධිවිධි, අර්ථය පළමුකොට දක්වා පසුව උපමාව දක්වමින් වදාළහ.
සෙය්යථාපි බ්රාහ්මණ, පුරිසො සාරත්ථිකො සාරගවෙසි යනාදි ක්රමයෙන්ම සියලු චූල සාරොපම සුත්රය උපමාවෙන් අර්ථය පිරිවරකොට වදාළහ.
ඉධපන භික්ඛවෙ, එකච්චෙ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති සුත්තං -පෙ- සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො අලගද්දත්ථිකො, යනාදි ක්රමයෙන් වනාහි සියලුම අලගද්ද සූත්රය. මහාසාරොපම සූත්රය යන මේ සූත්රයන් අර්ථයෙන් උපමාව පිරිවර කොට දක්වමින් වදාළහ.
භාග්යවතුන් වහන්සේ මෙහි පළමුකොට උපමාව දක්වා පසු අර්ථය දක්වන සේක. කුමක් නිසා භාග්යවත්හු මෙසේ දක්වන සේක් ද යත් පුද්ගලාධ්යාය වශයෙන් හෝ වෙයි. දේශනා විලාසයක් වශයෙන් හෝ වෙයි. එය එසේමය.
යම්කිසි පුද්ගල කෙනෙක් පළමුකොට උපමාව දක්වා, කියනු ලබන අරුත පහසුවෙන් අවබෝධ කෙරෙත් ද, ඔවුනට පළමුකොට උපමාව දක්වති. සියලු තන්හිම (අරුත්) මේ ක්රමයමැයි.
යම් ධර්ම ධාතුවක් වේද, එය මනාකොට අවබෝධ කළ හෙයින් එසේ හෙයින් මෙම දේශනා විලාසයන්ට, පත් ධම්මිස්සර වූ ධම්මරාජ වූ ඒ භාග්යවත්හු යම් යම් පරිදි කැමැති වේද, එපරිද්දෙන් ධර්මදේශනා කෙරෙත් යයි. පුද්ගල අධ්යාශය වශයෙන් හෝ දේශනා විලාස වශයෙන් හෝ මෙසේ දක්වන්නේ යයි දතයුතු යැ.
එහි, වත්ථං පියවි පිරිසිදු වස්ත්රයක්, සංකිලිට්ඨං මලග්ගහිතං බාහිර වූ පස් ධූලි ආදියෙන් කිලිටි වූ දහදිය දැලි ආදි මලයෙන් ගන්නා ලද බැවින් (මලග්ගහිත) මලගන්නා ලද, රංගජාතෙ, මෙහි රංගයම රංගජාත නම් වේ. උපසංහරෙය්ය එළවන්නේ නම්, යදිනීලකාය, නීල වර්ණය පිණිස යයි කියන ලද්දේ විය. සියලු තන්හි මෙසේය. ඒ එසේමැයි. රදාතම, නිල්පැහැය පිණිස (සායම්) යොදන්නේ ලොහො නිල, පලාවග නිල, ආදී වූ නිල් පැහැයෙන් පෙන්වයි. පීත (කහ) වර්ණය පිණිස යොදන්නේ කිණිහිරි මල සමාන වූ කසාවන් පැහැයෙන් ද ලෝහිත වර්ණය පිණිස යොදන්නේ බඳු වදමල් සමාන වූ රත් පැහැයෙන් ද, මදට පැහැය පිණිස යොදන්නේ කණේරුමල් සමාන වූ මද රත් පැහැයෙන් ද, පෙනේ. එයින් කියන ලදී. යදි නීලකාය, යදි පීතකාය, යදි ලොහිතකාය යදි මඤ්ජෙට්ඨකාය යයි
දුරත්ත වණ්ණමෙවස්සා නපුරුකොට රඳනා ලද්දක්ම වන්නේය. අපිරිසුද්ධ වණ්ණ මෙවස්සා ඒ වස්ත්රයාගේ නිල් පැහැයද සෙසු පැහැයන්ද, පිරිසිදු නො වන්නේය. සැබව, එබඳු වස්තරය නිල්සායම් බඳුනේ බහාලන ලද්දේ නමුදු මනා නිල්පැහැයක් නො වෙයි. සෙසු පීතකාදි බඳුන්හි බහාලන ලද්දේ ද, මනා වූ පීතාදි වර්ණයන් නො වෙයි. මලානික වූ, නිල් කටුකරඩු, කිණිහිරි බඳුවද කනේරු මල් මෙන් වූයේ වෙයි. තංකිසස හේතු, එම වස්ත්රය කවර හේතුවක් නිසා කවර කාරණයක් නිසා, මෙබඳු වීද, එම වස්ත්රයෙහි එම රංගජාතය කවර හේතුවක් නිසා මෙබඳු දුර්වර්ණයක් අපිරිසිදු වර්ණයක් වීද යත්, යම් හෙයකින් වස්ත්රයාගේ කිලිටිභාවය මය. අන් කිසිදු කරුණක් නිසා නොවේ. එහෙයින් අපරිසුද්ධත්තා භික්ඛවෙ, වත්ථස්ස යයි වදාළහ.
එවමෙව යනු උපමාව ඉදිරිපත් කිරීමයි. චිත්තෙ සංකිලිට්ඨෙ චිත්තයාගේ කිලිටි බවක් ඇති කල්හි කවර හෙයකින් භාග්යවතුන් වහන්සේ කිලිටි වස්ත්රයකින් උපමාව කළේද යත්, උත්සාහයාගේ ප්රතිඵලය දැක්වීම පිණිසයි. යම්සේ අමුතුවෙන් පැමිණි කිලිටිවලින් කිලිටි වූ වස්ත්රය පියොවින්ම පඬුවන් පැහැ ඇති බැවින්, නැවත සෝදන්නේද, පඬුවන් පැහැයම වේ. එහි උපතින්ම කළු වූ එළු ලොමෙහි මෙන් ව්යායාමය නිෂ්ඵල වූයේ නොවේද, එසේ සිතද, ආගන්තුක වූ කෙලෙසුන්ගෙන් කිලිටි වූයේ, ස්වභාවයෙන්ම එය සියලුම පටිසන්ධි භවාංග වාරයෙහි, පඬුවන් වූයේම වෙයි. වදාළේමය. පභස්සරමිදං භික්ඛවෙ, චිත්තං තඤ්චඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං (මහණෙනි, මේ භවාංග චිත්තය පිරිසිදුය. එය ආගන්තුක වූ උපක්ලේශයන්ගෙන් කිලිටි වෙයි.) එය පිරිසිදු කරනු ලබන්නේ පිරිසිදු කළ හැකිය. ඒ සඳහා වූ උත්සාහය නිෂ්ඵල නොවේ. මෙසේ උත්සාහයාගේ සඵල බව දැක්වීම පිණිස කිලිටි වස්ත්රයෙන් උපමාව කළේයයි දතයුතුයැ.
ද්විධ දුගති
දුග්ගති පාටිකංඛා මෙබඳු (කිලිටි) සිත ඇති කල්හි දුගතිය කැමතිවිය යුත්තීය. දුගතියටම මෙතෙම පැමිණෙන්නේය. අන් තැනකට නො පැමිණේ. මෙසේ දුගතියම කැමතිවිය යුත්තීය. අවශ්යයෙන්ම විය යුත්තක් යයි කියන ලද්දේ වෙයි. ඕ දුගති තොමෝ පටිපත්ති දුග්ගති, ගති දුග්ගති ය යනුවෙන් ද්විධ වන්නීය. පටිපත්ති දුග්ගති තොමෝ ද ආගාරිය පටිපත්ති දුග්ගති, අනගාරිය පටිපත්ති දුග්ගති යනුවෙන් ද්විධ වන්නීය.
ඒ එසේමැයි. අගාරික තෙමේ, අපිරිසිදු සිතින් ප්රාණින් නසයි. සොරකම් කරයි, සියලු දස අකුසල කර්මපථය සපුරයි. මේ ඔහුගේ අගාරි පටිපත්ති දුග්ගතිය නම් වන්නීය. හෙතෙම එහි සිටියේ කය බිඳීමෙන් (මරණින් මතු) නිරයට (උත්පත්ති වශයෙන්) පැමිණෙයි. තිරිසන් ලෝකයටද, ප්රේත ලෝකයටද යයි, මේ ඔහුගේ දුග්ගති ගතිය නම් වේ.
අනගාරික තෙමේ ද, සසුනෙහි පැවිදි වූයේ, කිලිටි සිත් ඇත්තේ, දූත භාවයෙන් යවන ගමනට යයි ද, වෙදකම් කෙරේ ද, සංඝභේදය පිණිස චේතිය භේදය පිණිස, උත්සාහ කෙරේද, වෙළු දානාදියෙන් ජීවිකාව කෙරේ ද, සියලුම අනාචාරයත් අගෝචරයත් සම්පුර්ණ කෙරේද, මේ ඔහුගේ අනගාරිය පටිපත්ති දුග්ගතියයි, හෙතෙම එහි සිටියේ, මරණින් මතු අපායෙහි උපදියි. තිරිසන් යෝනියෙහිද, ප්රේත විෂයෙහිද උපදියි. ශ්රමණ යක්ෂ නම් වූ ප්රේතයෙක් වෙයි. ඇවිලගත් සගල සිවුරු ආදියෙන් යුත ගිනිගෙන දිලිසෙන සිරුරු ඇතිව, මහත් වූ ශබ්ද කරමින් හැසිරෙයි. මේ ඔහුගේ ගති දුගතියයි.