ප්‍රසන්න ආකාර
මෙසේ දහම් දෙසුමට තුතිකොට මෙම දෙසුමෙන් තුණුරුවන් කෙරෙහි පහන් සිත් ඇත්තේ පහන් බව දක්වන්නේ එසාහං ආදිය කීහ. එහි එසාහං යනු ඒ එම යනුයි. භවන්තං ගොතමං සරණං ගච්ඡාමි යනුවෙන්, මට පින්වත් ගෞතමයන් වහන්සේගේ සරණය. පිහිටය. දුක් නසන්නේ ද හිතවත් දෙය සලසන්නේ ද වෙති යන මේ අදහසින් භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. භජනය කරමි. සේවනය කරමි. පයුරුපාසනය කරමි. නැතහොත් මෙසේ දනිමි. අවබෝධ කරමියි යන අර්ථයි. යම් ධාතු කෙනෙකුන් ගමනාර්ථය වේද බුද්ධියක් එහි අර්ථයක් වේද, එබැවින් ගච්ඡාමි යනු මේ පදයාගේ අරුත දනිමි. අවබෝධ කරමියි යන මේ අර්ථය කියන ලද්දේ විය.
ධම්මඤ්ච භික්ඛු සංඝඤ්ච මෙහි වනාහි අවබෝධ කළ මග ඇත්තේ, සච්ඡිකත නිරෝධය ඇත්තේ අනුශාසනා පරිදි පිළිපදින්නවුන් අපායෙහි නොවැටෙන්නවුන් කොට ධරානුයි ධම්ම නම් වේ. ඒ ධර්මය තෙම ආර්ය මාර්ගයද නිර්වාණයද වේ. එහෙයින් කියන ලදී. යාවතා භික්ඛවෙ ධම්මා සංඛතා අරියො අටඨංගිකො මග්ගො තෙසං අග්ග මක්ඛායත්ති (මහණෙනි, යම්තාක් සංඛත ධර්මයෝ වෙත් ද ඔවුන් අතුරෙන් ආර්ය අට්ඨාංගික මාර්ගය අග්‍ර යයි කියනු ලැබේ.) යන විස්තරයෙහි හුදෙක් ආර්ය මාර්ගය ද නිර්වාණය ද පමණක් නොවේ. යළිදු ආර්ය ඵලයත් සමග පර්යාප්ති ධර්මයද වෙයි. ඡත්ත මානවක විමාන වස්තුවෙහි මෙසේ කියන ලදී.
රාගවිරාග මනෙජමසොකං, ධම්මමසංඛතමප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්‍ථමුපෙමි
(රාගය දුරු වූ තණ්හා රහිත වූ සෝක රහිත වූ අසංඛත වූ මේ නව ලොව්තුරු දහම පිළිකුල් නොවූ මිහිරි වූ ප්‍රගුණ කටයුතු වූ මනාව බෙදන ලද්දා වූ මේ පර්යාප්ති ධර්මයද සරණ පිණිස පැමිණෙමි.)
මෙහි රාග විරාග යනුවෙන් මාර්ගය කියන ලද්දේය. අනෙජ මසොකං යනුවෙන් ඵලය කියන ලද්දේය. ධම්මමසංඛත යනුවෙන් නිර්වාණය කියන ලදි.
අප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං පිටකත්‍රයෙහි විභාග කරන ලද සියලු ස්කන්ධයෝ කියන ලද්දාහුය. වැරදි සීල, දිට්ඨි සමූහය නසන ලද්දාහුය යන අරුතින් සංඝනම් වේ. එය අර්ථ වශයෙන් අට්ඨ අරිය පුග්ගල සමූහය කියන ලද්දේ වෙයි. එය එම විමාන වස්තුවෙහිම මෙසේ කියන ලදී.
යත්‍ථච දින්න මහප්ඵලමාහු, චතුසු සුචීසු පුරිසයුගෙසු
අට්ඨච පුග්ගල ධම්මදසාතෙ සංඝමිමං සරණත්‍ථ මුපෙමී
(පිවිතුරු පුරුෂ යුග වශයෙන් සතරක් වූ ආර්ය සංඝරත්නය විෂයෙහි දෙන ලද දානය මහත්ඵලයයි කියන්ද, ඔවුහු අෂ්ට ආර්ය පුද්ගලයෝද වෙති. ධර්මය අවබෝධ කළ මේ සංඝරත්නය සරණ පිණිස පැමිණෙමි.)
භික්ඛූනං සමූහො භික්ඛු සංඝො භික්‍ෂූන්ගේ සමූහය භික්‍ෂු සංඝ නම් වේ. මෙපමණකින් බමුණු තෙමේ තෙරුවන් සරණ අවබෝධ කළේය.
සරණාගමන කථා
සරණය, සරණාගමනය, සරණගතයා මේ වනවිට එම සරණාගමනයන් විෂයෙහි, දක්‍ෂ බව පිණිස සරණය සරණාගමනය යමෙක් සරණ යේද, හෙතෙම සරණාගමන ප්‍රභේදය සරණගමන ඵලය, සරණාගමනය කිලුටුවීම යන මේ දතයුත්තේය. සෙය්‍යථිදං ඒ කවරේද පදාර්ථ වශයෙන් හිංසා කෙරේනුය සරණ නම් වේ. එම සරණාගමනයෙන් සරණාගතයන්ගේ භය, තැතිගැනීම් දුක්, දුගති, පරික්ලේශ නැතිකරයි. විනාශ කෙරේය යන අර්ථයි. සරණ යනු තුණුරුවන්ට නමකි.
නැතහොත් හිතවත් බැව්හි පැවැත්මෙන් අහිතයන් වැලැක්වීමෙන් ද සත්ත්වයන්ගේ භයට හිංසා කෙරේනුයි භගවත් තෙම භව කතරින් එතර කිරීමෙන් හා අස්වැසිලි දීමෙන් ධර්මයද ස්වල්ප වූ සත්කාරයකින් මහත් වූ ප්‍රතිඵල හේතුවෙන් සංඝ තෙම ‘සරණ’ නම් වෙයි. එහෙයින් මෙම ක්‍රමයෙන්ද, රතනත්‍රය සරණ නම් වෙයි. තප්පාසාද තග්ගරුතා යන මෙයින් වෙසෙසින් නසන ලද කෙලෙස් ඇති තත්පරායණාකාරයෙන් පැවැත්තා වූ චිත්තෝද්පාදය තෙම සරණගමණ නම් වෙයි. එයින් යුත් පුද්ගල තෙම සරණ ගියේ වෙයි. උත්තප්‍රකාර චිත්තෝද්පාදයෙන් යුත් මට මේ තෙරුවන් සරණය. තෙරුවන් පිහිටයයි (පරායනයයි) මෙසේ එළඹියේය යන අරුති. මෙසේ පළමුකොට සරණය සරණයාමය යමෙක් සරණයේද හෙතෙමේ ද යන මේ තුන් කරුණු දතයුතුයැ.
සරණාගමන ප්‍රභේද
සරණාගමන ප්‍රභේද දුවිධ වේ. ලෝකෝත්තර සරණාගමනයද, ලෞකික සරණාගමනයද යනුවෙනි. ඔවුනතුරෙන් ලෝකෝත්තර සරණාගමනය නම් මග නැණින් දත් සිවුසස් ඇත්තහුට මහ නැණ පහළ වන මොහොතෙහි සරණාගමනය පිළිබඳ උප ක්ලේශයන්ගේ සමුච්ඡෙද ප්‍රහාණයෙන් අරමුණු වන හෙයින් නිවන අරමුණුව කිස සපුරමින් රත්නත්‍රය සම්පූර්ණ වීමයි.
ලෞකික සරණාගමනය පුහුදුන් හට සරණාගමන උප ක්ලේශයන්ගේ විෂ්කම්භනයෙන් අරමුණු වන හෙයින්, බුද්ධාදි ගුණයන් අරමුණු වීමෙන් සමෘද්ධ වෙයි. එය අර්ථ වශයෙන් බුද්ධාදී වස්තූන්හි ශ්‍රද්ධා ප්‍රතිලාභයයි. ශ්‍රද්ධාව මුල්කොට ඇත්තා වූ සම්මා දිට්ඨිය දශපුණ්‍ය ක්‍රියා විෂයෙහි දිට්ඨුජ්ජ කම්ම යයි කියනු ලැබේ.
ඒ මේ ලෞකික සරණාගමනය සිව් ආකාරයකින් පවතී. අත්ත සන්නීයාතන, තත්පරායනතා, සිස්සභාවූපගමන, පණිපාත යනුවෙනි. ඔවුන් අතුරෙහි අත්තසන්නීයාතන සරණාගමන නම්, මම අද පටන් මගේ ආත්මභාවය බුදුරදුන්ටද, ධර්මයටද, සංඝයාටද පාවා දෙමියි මෙසේ බුද්ධාදීන්ට ආත්ම පරිත්‍යාග යයි.
තත්පරායනතා සරණාගමනය නම් මම අද පටන් කොට බුදුරදුන් පිහිටකොට ඇත්තේ වෙමි. ධර්මය පිහිටකොට ඇත්තේ වෙමි. සංඝයා පිහිටකොට ඇත්තේ වෙමියි මා දැරුව මැනවයි (සරණ යාම) තත්පරායතනතා සරණාගමනයයි.
සිස්ස හාමූපගමන සරණාගමනය නම්, මම අද පටන් බුදුරදුන්ගේ අතවැසියෙක් වෙමි. ධර්මයේ අතවැසියෙක් වෙමි. සංඝයාගේ අතවැසියෙක් වෙමියි මා දැරුව මැනවයි මෙසේ ශිෂ්‍යභාවයට පැමිණීමයි.
පණිපාත සරණාගමනය නම්, මම අද පටන් අභිවාදන - පච්චුපට්ඨාන - අඤ්ජලිකම්ම, සාමීචිකමම බුද්ධාදි තුණුරුවන්ට කරමි යයි මා දැරුව මැනවයි මෙසේ බුද්ධාදීන් කෙරෙහි අතිශයින් පහත් (නිහතමානි) පැවතුම් ඇති ආකාරයයි.
මේ සතර ආකාරයන් අතුරෙන් එක්තරා ආකාරයකින් කරන්නහු විසින් සරණාගමනය ගන්නා ලද්දේම වෙයි.