භාවනා නය යනු කිසිවෙක් සමථ පුබ්බංගම විපස්සනාව වඩයි. කිසිවෙක් විපස්සනා පුබ්බංගම සමථය වඩයි. කෙසේ මෙම සසුනෙහි ඇතැමෙක් පළමුකොට උපචාර සමාධිය හෝ අප්පණා සමාධිය උපදවයිද මේ සමථයයි. හෙතෙම එම සමථයද ඒ හා යෙදුන ධර්මයන් ද අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කරයි. මේ විදස්සනාවයි. මෙසේ පළමුකොට සමථයද පසුව විපස්සනාවද වෙයි. එයින් කියනු ලැබේ. සමථ පුබ්බංගමං විපස්සනං භාවෙති යනුවෙන්, ඒ සමථ පුබ්බංගම වූ විපස්සනාව වඩන්නහුට මාර්ගය උපදියි. හෙතෙම ඒ මාර්ගය ආසේවන කෙරෙයි. භාවනා කරයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්ගය සේවනය කරන්නා වූ භාවනාව වඩන්නා වූ බහුල වශයෙන් කරන්නා වූ ඔහුගේ සංයෝජන ධර්මයෝ ප්‍රහාණය වෙති. අනුසය ධර්මයෝ අවසන් වෙති. මෙසේ සමථ පුබ්බංගම වූ විපස්සනාව වඩයි.
මේ ශාසනයෙහි ඇතැම් කෙනෙක් ඉහත සඳහන් සමථය නො උපදවාම පංච උපාදානක්ඛන්‍ධයන් අනිත්‍යදී වශයෙන් විදර්ශනා කෙරෙයි. මෝ තොමෝ විපස්සනා භාවනා නම් වන්නීය. ඔහුට විපස්සනාව සම්පූර්ණ වීමෙන් එහි හටගත් ධර්මයන්ගේ නිවන් අරමුණුකොට චිත්තයාගේ එකඟ බවක් ඇතිවේ. එය සමථ නම් වේ. මෙසේ පළමුව විපස්සනාවද පසු සමථයද වේ. එයින් කියනු ලැබේ. විපස්සනා පුබ්බංගමං සමථං භාවෙති කියා.
මෙසේ විපස්සනා පුබ්බගම වූ සමථය වඩන්නා වූ ඔහුට මාර්ගය උපදියි. හෙතෙම ඒ මාර්ගය ආසේවනය කෙරෙයි. -පෙ- බහුල වශයෙන් කෙරෙයි. එම මාර්ගය සේවනය කළහට -පෙ- අනුශය ධර්මයෝ විනාශයට පැමිණෙති. මෙසේ විපස්සනා පුබ්බංගම සමථය වඩයි.
සමථ පුබ්බංගම විපස්සනාව වඩන්නහුටද විපස්සනා පුබ්බංගම සමථය වඩන්නහුටද ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි සමථ විපස්සනා යුගල වූවාහුම වෙත්. මෙසේ මේ භාවනා නය දතයුත්තේය.
ධම්මදායාද සූත්‍ර වර්ණනාව නිමි.
භයභෙරව සූත්‍ර වර්ණනාව
එවං මෙසුතං යනු භයභෙරව සූත්‍රයයි. මේ එහි අනුපූර්ව පද වර්ණනාවයි. අථ යනු අවිච්ඡෙදාර්ථයෙහි (නොසිඳී පැවැත්ම) නිපාතයකි. ඛො යනු අවධාරණාර්ථයෙහිය. භාග්‍යවතුන් වහන්සේගේ සැවැත්නුවර වාසය නොනිමි කල්හි යයි කියන ලද්දේ වෙයි.
ජාණුස්සොණි යනු මේ ඔහුගේ මව්පියන් විසින් කළ නාමයක් නොවේ. කෙසේද යත් තනතුරු නිසා ලබන ලද්දකි. මේ ජාණුස්සොණි තනතුර නම් පුරෝහිත තනතුරයි. එය ඔහුට රජු විසින් දෙන ලදී. එබැවින් ජාණුස්සොණි යයි කියනු ලැබෙත්. බ්‍රහ්මං අණති වේදය හදාරත්නුයි බ්‍රාහ්මණ නම් වේ. මන්ත්‍ර සජ්ඣායනය කෙරේනුයි යන අර්ථයයි. මෙයම උපතින් බ්‍රාහ්මණ වූවන්ට නිරුත්ති වචනයකි. ආර්යයෝ වනාහි දුරුකළ පව් ඇති බැවින් බ්‍රාහ්මණ නම් වෙති යයි කියනු ලබත්.
යෙන භගවා තෙනුපසංඛමි යන මෙහි යෙන යනු ආධාරාර්ථයෙහි කරණ වචනයයි. එහෙයින් යම් තැනෙක්හි භාග්‍යවතුන් වහන්සේ වෙසේද එහි එළඹියේ යයි අර්ථය දතයුතුය. යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ දෙවි මිනිසුන් විසින් එළඹිය යුත්තේ ද ඒ කාරණයෙන් එළඹියේ යයි මෙසේත් මෙහි අරුත් දත යුත්තේය. කිනම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ එළඹිය යුත්තේ ද යත්, නානාප්‍රකාර ගුණ විශේෂයන්ට පැමිණිමේ බලාපොරොත්තුවෙන්, මිහිරිඵල අනුභව කිරීමේ අදහසින් පක්‍ෂි සමූහයා විසින් සදා ඵලිත මහරුකක් වෙත එන්නාක් මෙනි.
උපසංඛමි යනු ගියේ යයි කියන ලද වෙයි. උපසංඛමිත්‍වා යනු එළඹීමෙහි අවසන් දැක්වීමහි නොහොත් මෙසේ ගියේ, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආසන්නතර ස්ථානයකට ගියේ යයි ද කියන ලද්දේ වෙයි. භගවතා සද්ධිං සම්මොදි බමණීය ආදි (පිළිසඳර කථා ක්‍රමයෙන්) විචාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඔහු සමග යම්සේ ද, එස්ම හෙතෙමේත් බුදුරදුන් සමග සමානව පැවති සතුටුවීම් ඇත්තේ විය. උණුදිය සමග සිසිල් දිය මෙන් සමුදිත බවට ඒකීය බවට ගියේය.
භවත් ගෞතමයන් වහන්ස, ඔබට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? භවත් ගෞතමයන් වහන්සේට ද ගෞතම ශ්‍රාවකයන් වහන්සේලාටද ස්වල්ප වූ ආබාධ ඇත්තේ ද ස්වල්ප වූ රෝග ඇත්තේ ද සිරුරේ සැහැල්ලු බව ඇත්තේ ද, කාය බල ඇත්තේ ද? පහසු විහරණ ඇත්තේ ද යනාදී වූ යම් කථාවකින් සතුටු වූයේ ද, ඒ කථාව ප්‍රීතිය ප්‍රමෝදය-සතුට උපදවන බැවින් ද සම්මොදනීය නම් වේ. අර්ථ ව්‍යඤ්ජන මධුර භාවයෙන් ද, ඉතා දිගුකලක් සිහිකරන්ට නිතර පවත්වන්ට සුදුසු බැවින් ද, සිහි කළ යුතු බැවින් ද, සාරාණිය නම් වේ. සූය මාන සුඛය ඇති බැවින් ද, සම්මොදනීය නම් වේ. සිහිකළ යුතු සැපය ඇති බැවින් ද සාරාණිය නම් වේ. එසේම බ්‍යඤ්ජන පරිසුද්ධතාවය නිසා සම්මොදනීය නම් වේ. අර්ථයාගේ පිරිසිදු බව නිසා සාරාණිය නම් වේයයි (දතයුතුයැ) මෙසේ අන්ත පරියාය කථාවෙන්, සතුටුවිය යුතු සිහිකටයුතු කථාකොට නිමවා. (සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා) අවසන්කොට, නිමකොට යම් කරුණකින් ආයේද, එය විචාරනු කැමැත්තේ එකත්පසෙක හුන්නේය.