සම්මා සමාධිය තෙම මිච්ඡා සමාධිය ද (සම්මා සමාධියට) විරුද්ධ කෙලෙස් ද දුරුකෙරෙයි. නිවන ද අරමුණු කෙරෙයි. සම්ප්‍රයුක්ත ධර්මයන්ද මොනවට පිහිටුවයි. එහෙයින් සම්මා සමාධියයි කියනු ලැබේ.
දැන් අයං ඛො සා ආවුසො යනුවෙන් එම ප්රතිපදාවම නිගමන කරමින් වදාළහ. ඒ දේශනාවගේ අර්ථය නම්? සතර ලෝකෝත්තර මාර්ගයන්ම එක්කොට කියන ලද යම් මේ අෂ්ඨාංගික මාර්ගයක් වේ ද, ඇවැත්නි, ඕ තොමෝ -පෙ- නිවන පිණිස පවතින්නී යයි,
මෙසේ පහකටයුතු ධර්මයන් අතුරෙන් ලෝභය හා ද්වේෂයද, ඔවුන් ප්රහාණය කිරීමේ උපායද දක්වා දැන් අනිකුදු දුරුකළ යුතු ධර්මද ඔවුන්ගේ දුරුකරන උපායන් ද දක්වන්නේ, තත්රාවුසො කොධොච යනුවෙන් මේ ආදිය කීහ.
ඔවුන් අතුරෙහි ක්‍රෝධය තෙම, කිපීම ලක්‍ෂණකොට ඇත්තේය. නපුරු බව ලකුණුකොට ඇත්තේද හෝ වෙයි. වෛරය කෘත්‍ය කොට ඇත්තේය. දූෂණය වැටහීම කොට ඇත්තේය.
උපනාහය තෙම බැඳගෙන පැවැත්ම ලක්ෂණයයි. වෛර අත් නොහැරීම රසයයි. (කෘත්‍යයයි.) ක්‍රෝධය ලුහුබඳනා බව වැටහීමයි. (පච්චුපට්ඨානයයි) මෙසේ කියන ලද්දේ වෙයි. පුබ්බකාලෙ කොධො අපරකලෙ උපනාහො යනුයි.
මක්ඛො = මකුබව = අනුන්ගේ ගුණ මැකීම ලක්ෂණයයි. ඒ ගුණයන් නැසීම කෘත්‍යයයි. එය වැසී වැටහීමයි. (පච්චුපට්ඨානයයි)
පළාස - යුගග්‍රාහය (තමා ගුණ නැතිව ගුණවතුන් හා සමාන කොට සිතීම) ලක්ෂණයකි. අනුන්ගේ ගුණයන් තමන්ගේ ගුණයන් සමාන කිරීම කෘත්‍යයයි. රසයයි. මෙරමාගේ ගුණ පමණින් වැටහීම පච්චුපට්ඨානයයි. වැටහීමයි.
ඉස්සා තොමෝ අනුන්ගේ සැපතට නුගුණ කීම එහි ලක්ෂණයයි. අනුන් සැප නොඉවසීම ලක්‍ෂණකොට ඇත්තේ හෝ වෙයි. එහි නොඇලීම කෘත්‍යයයි. එයින් විමුඛ බව වැටහීමයි. (පච්චුපට්ඨානයයි).
මච්ඡරී මසුරු බව, තම සම්පත් සැඟවීම ලක්ෂණයයි. තමාගේ සම්පත් හා අනුන් හා සාධාරණ බව සැපයක් නොවන බව සිතීම කෘත්‍යයයි. හැකිලීම වැටහෙන ආකාරයයි.
මායා මෝ තොමෝ කළ පව් වැසීම ලක්ෂණය කොට ඇත්තීය. පාපය සැඟවීම එහි කෘත්‍යයයි. එය ආවරණය කිරීම පච්චුපට්ඨානයයි. වැටහෙන ආකාරයයි.
සාඨෙය්යං (කපටි බව) තමා තුළ නැති ගුණ පහළ කිරීම ලක්ෂණයයි. ඒ ගුණයන් ව්‍යවහාර කිරීම කෘත්‍යයයි. ශරීරයෙන් ඉඟිවලින් එය ප්‍රකට කිරීම පච්චුපට්ඨානයයි.
ථම්භො සිතේ තද ගතිය චිත්තයාගේ ඉදිමුණ බව ලක්ෂණයයි. යටහත් පැවැත්මක් නැති බව කෘත්‍යයයි. නොමුදු බව පච්චුපට්ඨානයයි.
සාරම්භො (එකට එක කිරීම) කළාට වැඩියක් කිරීම ලක්ෂණයයි. අහංකාරකම කෘත්‍යයයි. විරුද්ධ බව කෘත්‍යයයි. අගෞරවය පච්චුපට්ඨානයයි.
මානො උණ්ණතිය (උසස්යැයි හැඟුම) ලක්ෂණයයි. අහංකාරය කෘත්‍යයයි. උද්ධුමාත භාවය පච්චුපට්ඨානයයි.
අධිමානො අතිශයින් උණ්ණතිභාවය ලක්ෂණයයි. අතිශයින් අහංකාරය කෘත්‍යයයි. අතිශයින් ඉදුමුණු බව පච්චුපට්ඨාන යයි.
මදො මදය තෙම, මත්වූ බව ලක්ෂණයයි. මද ගැන්වීම කෘත්‍යයයි. උන්මාදය පච්චුපට්ඨාන නම් වේ.
පමාදො ප්‍රමාදය තෙම, පංචකාම ගුණයන්හි සිත බැසගැනීම ලක්ෂණයයි. (වොස්සග්ගානුප්පදානය) පරිත්‍යාගයෙන් තොරවීම කෘත්‍යයයි. සිහිමුලාවීම පච්චුපට්ඨානයයි. මෙසේ මේ ධර්මයන්ගේ ලක්ෂණාදිය දතයුත්තාහුය. මේ මෙහි සාරාංශයයි. විස්තර වනාහි තත්ථ කතමො කොධො යනාදීන් විභංගයෙහි කී න්‍යායෙන් දතයුත්තේය.
විශේෂ වශයෙන් මෙහි තමා ආමිෂ දායාදය නොලබන්නේ එය ලබන්නා වූ අනිකෙකුට කීවේය. ඔහුට වරක් උපන්නේ ක්‍රෝධ නම් වේ. මත්තෙහි උපන් ක්‍රෝධය උපනාහ නම් වේ. හේ මෙසේ කිපියේ ක්‍රෝධ බැඳගෙන පවත්වන්නේ ලාභි වූ අනිකෙකුගේ විද්‍යමාන ගුණය මකයි. මමත් එබඳු යයි යුගග්‍රාහය ගනියි. මේ ඔහුගේ මකුබවද පළාසය ද වෙයි. හෙතෙම මෙසේ මකුවූයේ පළාසී වූයේ ඔහුගේ ලාභසත්කාර ආදිය මොහුට මෙයින් කිමැයි ඊර්ෂ්‍යා කෙරෙයි. දෘෂ්‍ය වෙයි. මෝ ඔහුගේ ඊර්ෂ්‍යාවයි. ඉදින් ඖට යම් සැපතක් වන්නේ ද ඒ සැපතගේ ඔහු හා සාධාරණ බව නොඉක්මවයි. මේ මොහුගේ මසුරුබවයි. ලාභ හේතුවෙන් තමාගේ විද්‍යාමාන දෝෂයන් වසන් කරයි. මේ ඔහුගේ මායාවයි. නැති ගුණයන් ප්‍රකට කරයි. මේ ඔහුගේ ශට බවයි. හෙතෙම මෙසේ කටයුතු කරන්නේ අදහස් වූ පරිදි ලාභය ලබයි ද එයින් තද්ධ වූයේ වෙයි. නොමුදු සිත් ඇත්තේ වෙයි. මෙය මේ වූ පරිදි නොකළ යුතුය. අවවාද කරන්ට නොහැකි වූයේ වෙයි. මේ ඔහුගේ ථම්භ භාවයයි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කියා ද, මේ මෙසේ නොකට යුතුයයි කියයි. කෝප සහිත සිත් ඇත්තේ හකුළුවන ලද මුහුණු ඇත්තේ වෙයි. නුඹ මගේ කවරෙක්දැයි බලහත්කාරයෙන් කියන්නේ වෙයි. මේ ඔහුගේ සාරම්භයයි. නැවත සිත දැඩි බැවින් මෙම උතුම්යයි තමා ගැන සිතන්නේ මාන ඇත්තේ වෙයි. සාරම්භය හේතුවෙන් මොවුහු කවරහුදැයි මෙරමා ඉක්මවා සිතන්නේ අතිමානි වෙයි. මේ ඔහුගේ මානය ද අතිමානයද වෙයි. හෙතෙම එම මානාති මානයෙන් ජාතිමදාදී අනේක වූ මදයන් උපදවයි. මත්වූයේ ම කාම ගුණාදි භේද වූ වස්තු විෂයෙහි ප්‍රමාද වෙයි. මේ ඔහුගේ මදය සහ ප්‍රමාදය වෙයි.
මෙසේ ආමිෂ දායාදයෙන් නොමිදුනේ වෙයි. මේ පාපක ධර්මයන්ගෙන් ද අන්‍ය වූ මෙවන් පාපී ධර්මයන්ගෙන් ද මෙසේ පළමුකොට එහි දුරු කළයුතු ධර්ම දතයුත්තාහුය. ප්‍රහාණ උපාය වනාහි පාඨ වශයෙන් ද අර්ථ වශයෙන් ද සියලු තන්හි විශේෂයක් නැත්තේ මයි.