තවද චක්රරත්නය පොළොවෙහි පිහිටි කල්හි පරිණායක රත්නය රන්පටෙක මන්ධාතු රජුගේ වහල් සඟල අන්දවා මේ මන්ධාතු රජුගේ රජය යයි රාජ්යයනුශාසනා කළේය. ඒ තුන් දිවයිනෙන් පැමිණි මනුෂ්යයෝද නැවත යන්ට නොහැක්කාහු පුත්රුවන කරා එළඹ දේවයිනි, අපි රජුගේ ආනුභාවයෙන් ආවාහු වෙමු. දැන් යන්නට නොහැක්කෝ වෙමු, අපට වාසයට සුදුසු තැනක් දෙනු මැනවයි යාඥා කළහ. හෙතෙම ඔවුනට එක එක ජනපද දුන්නේය. ඒ ජනපදයන් අතුරෙහි පූර්ව විදේහයෙන් පැමිණි මිනිසුන් විසූ පෙදෙස ඒ පළමු නමින්ම ‘විදේහ’ රටයයි නම් ලදහ. අපරගෝයානයෙන් පැමිණි මිනිසුන් විසූ පෙදෙස අපරන්ත ජනපදයයි නම් ලදහ. උතුරුකුරු දිවයිනෙන් පැමිණි මිනිසුන් විසූ පෙදෙස කුරු රට යයි නම් ලදහ. බොහෝ ගම් නියම්ගම් ආදිය ගෙන බහුවචනයෙන් ව්යවහාර කරනු ලැබේ. එහෙයින් කියන ලද කුරුසු විහරති යයි.
කම්මාස්ස ධම්ම
කම්මාස්ස ධම්මං නාම කුරූනං නිගමො, කම්මාස්ස ධම්මං යන මෙහි කිසිවෙක් ධ කාරය ද කාර වශයෙන් ගෙන අරුත් වර්ණනා කෙරෙත්. කල්මාෂ තෙම මෙහිදී මෙහි දමනය කර ලදනුයි කම්මාස්ස දම්ම නමි. කම්මසො යනු කල්මාෂ වූ පය ඇති පෝරිසාද තෙම කියනු ලැබේ. ඔහුගේ පය කණුවකින් විදිතැන වණය වැඩෙන්නේ චිත්රදාර සදෘශව (දුඹුරුවන් දැව කොටයකට සමානව) යම්හෙයකින් වැඩීම වීද, එහෙයින් කල්මාෂ පාදයයි ප්රසිද්ධ විය. ඒ කල්මාෂ පාදද ඒ අවකාසයෙහි දමනය කරන ලද පෝරිසාද භාවයෙන් වළකන ලද්දේ කවරෙකු විසින්ද යත් මහසත්හු විසින් දමනය කරන ලදී. කවර ජාතකයෙක්හිද යත් සුතසෝම ජාතකයෙහි යයි කියති. මහාවිහාරවාසී තෙරහු ජයද්දිස ජාතකයෙහි යයි කියති. ජයද්දිස ජාතකයෙහි යනු සැබව ඒ ජයද්දිස කාලයෙහි මහසත්හු විසින් කල්මාෂ පාදතෙම දමනය කරන ලද්දේය. එහෙයින් වදාළහ.
පුත්තො යදා හොමි ජයද්දිසස්ස - පඤ්චාල රට්ඨාධිපතිස්ස අත්රජො
චත්වාන පාණං පිතරං අමොචයිං කම්මාස පාදම්පිච්හං පසාදයිං
චත්වාන පාණං පිතරං අමොචයිං කම්මාස පාදම්පිච්හං පසාදයිං
(යම්කලෙක පඤ්චාල දේශාධිපති වූ ජයද්දිස රජුට මම පුත්රයා වීමි. මගේ ප්රාණය පරිත්යාගකොට පියාණන් මරණයෙන් මිදවීමි. කල්මාෂ පාද නම් වූ පෝරිසාදයාද පැහැදවීමි)
කිසිවෙක් වනාහි ධ කාරයෙන්ම අර්ථ වර්ණනා කරති. කුරුරට වැසියන්ගේ කුරු නම් වූ ව්රත ධර්මය එහිදී කම්මාස නම් වීද, එබැවින් එම ස්ථානය කම්මාස නම් වීය. එහි හටගත් ධර්මයද කම්මාස ධර්මයයි කියනු ලැබේ. එහි වැසියන් පදිංචි වූ නියම්ගමටද මේ නාමයම විය. භුම්ම (සත්තමී) වචනයෙන් කුමක් හෙයින් නොකියන ලද්දේ ද යත් විසීමට අවකාස නොවන හෙයිනි. බුදුරදුන්ට ඒ නියම විසීමට කිසි විහාරයක් නොවීය. එසේ වුවත් නියගමින් ඉවත්ව ජලය ඇති එක්තරා රමණීය බිම්පෙදෙසක මහත්වූ වනලැහැබක් විය. ඒ වනලැහැබෙහි බුදුරදහු එම නියම්ගම ගොදුරු ගම්කොට විසූ සේක. එසේ හෙයින් මෙසේ මෙහි අරුත් දතයුතුයැ. කුරු ජනපදයෙහි කම්මාස්සධම්ම නම් කුරුවාසීන්ගේ නියම්ගම යම් තැනෙක්හිද එසේ ගොදුරුගම්කොට භාග්යවතුන් වහන්සේ වැඩසිටි සේක.
උද්දේස වාර වර්ණනාව
එකායනො අයං භික්ඛවෙ මග්ගො යනුවෙන් කුමන හේතුවක් නිසා බුදුරදහු මෙම සූත්රය වදාළ සේක්ද? කුරුරට වැසියන්ගේ ගැඹුරු දහම් අවබෝධයෙහි හැකියාවක් ඇති බැවිනි. කුරුරට වැසි භික්ෂු භික්ෂුණීහුද උපාසක උපාසිකාවෝ ද සුදුසු දේශගුණය, සුදුසු ප්රත්යය සම්පූර්ණ බැවින් ඒ රටෙහි වූ සැපවත් වූ සෘතු-ප්රත්යය සේවනය කිරීමෙන් නිතර නිරෝගී වූ සිරුරු ඇත්තාහු ද යෝගය සිත් ඇත්තාහු ද වෙති. ඔවුහු චිත්ත-ශරීර යහපත් බැවින් එයින් ලද ඥාන බල ඇත්තාහු, ගැඹුරු දහම් පිළිගැනීම සමර්ථයෝ වෙති. ඒ කරුණ නිසා බුදුරදහු ඔවුන්ගේ මෙම ගැඹුරු දහම් පිළිගැනීමේ සමර්ථ බව දන්නා සේක් එක්විසි තැනක රහත් බව දක්වා වූ කමටහන්හි පිහිටුවා මේ ගැඹුරු අරුත් ඇති සතිපට්ඨාන සූත්රය වදාළ සේක.
ඒ එසේමැයි. යම්සේ මිනිසෙක් රුවන් කරඬුවක් ලැබ එහි විවිධ පුෂ්පයන් බහාලන්නේද, කුඩා රන් මංජුසාවක් (පෙට්ටියක්) ලැබ සත්රුවන් බහාලන්නේ ද එපරිද්දෙන් භාග්යවත්හු කුරුරට වැසි පිරිස ලැබ ගැඹුරු වූ දේශනා දෙසූ සේක. එහෙයින්ම මෙහිදී අන්ය වූ ගැඹුරු අරුත් ඇති දික්සඟියෙහි මහානිදාන මහාසතිපට්ඨාන මැදුම් සඟියෙහි සාරෝපම, රුක්ඛුපම, රට්ඨපාල, මාගන්දිය, ආනඤ්ජසප්පාය යන අන්ය වූ සූත්රයන්ද දෙසූ සේක.
තවද එම ජනපදයෙහි සිවුපිරිසම සතිපට්ඨාන භාවනානුයෝගී වූවාහුම වෙසෙති. යටත් පිරිසෙන් දාස කම්කරු පිරිවර ජනයෝ ද සතිපට්ඨාන සම්බන්ධ වූම කථාවන් කරති. පැන්තොට නූල්කටින තැන ආදි තන්හිද නිරර්ථක කථා නො කරති. ඉදින් කිසි ස්ත්රියක් මෑණියෙනි, තෙපි කිනම් සතිපට්ඨාන භාවනාවක් මෙනෙහි කෙරෙහි දැයි විචාරණ ලද්දී කිසිවක් නැතැයි කියානම් ඇයට ගරහති. තිගේ ජීවිතයට නින්දා වේවා, ජීවත් වන්නියක වුවද තී මළතැනැත්තියක සමානයයි (පවසා) ඉක්බිති ඇයට යලිදු මෙසේ නොකරවයි අවවාදකොට එක්තරා සතිපට්ඨානයක් උගන්වති. යම් ස්ත්රියක් මම අසවල් සතිපට්ඨාන මෙනෙහි කරමි යයි කී කල්හි ඇයට සාධු, සාධු යයි සාධුකාර දී තිගේ ජීවිතය සොඳුරු වූවකි. තී නම් මිනිස් බවට පැමිණියා වෙයි. තී සඳහා බුදුවරයෝ උපදින්නාහු යයි මේ ආදි වචනවලින් ප්රශංසා කරති. තව ද මේ ජනපදයෙහි මිනිස් ජාති ඇත්තාහුට සතිපට්ඨාන මනසිකාරයෙහි යෙදුනාහු නොවෙති. ඔවුන් ඇසුරුකොට වාසය කරන්නා වූ තිරිසන් ගතයෝ පවා සතිපට්ඨාන මනසිකාරය මෙනෙහි කරති. තිරිසන් සතුන්ගේ සතිපට්ඨාන මෙනෙහි කිරීම පිළිබඳ මේ වස්තුවකි.
සතිපට්ඨාන මෙනෙහි කළ ගිරා පෝතකයෙක්
එක්තරා නළු පිරිසක් සුවපෝතකයෙකු ගෙන හික්මවමින් ඒ නළු සමූහය තෙම මෙහෙණි අසපුවක් ඇසුරු කර යනකල සුවපෝතකයා සිහිනොකොට ගියේය. සාමණේරීහු ඒ සුවපෝතකයා ගෙන පෝෂණය කළාහුය. ඔහුට බුද්ධරක්ඛිත යයි නමක්ද තැබුහ. දිනක් ඉදිරියෙහි සිටි සුවපෝතකයා දැක, මහාස්ථවිරී තොමෝ බුද්ධරක්ඛිතයයි (කථා කළාය)
ආර්යාවනි, කිමදැයි (ඇසීය)
තාගේ කිසියම් භාවනා මෙනෙහි කිරීමක් ඇත්ද,
ආර්යාවනි නැත,
ඇවත පැවිද්දන් සමීපයෙහි වසන්නහු විසින් නම් හරණල ද (භාවනාවෙන් තොර) ආත්මභාවයක් ඇත්තෙක් වන්ට නොවටී. කිසියම් මෙනෙහි කිරීමක් කැමතිවිය යුත්තේය. තෙපි වනාහි අනිකක් නොහැකි වන්නෙහි, අට්ඨි, අට්ඨි යයි හැදෑරීම කරව, හෙතෙම තෙරණියගේ අවවාදයෙහි සිට අට්ඨි අට්ඨි යයි හදාරමින් වෙසෙයි.
එක්දිනක් උදෑසනම තොරණෑ අග සිට ළහිරු රැස් තප්නා වූ ඒ සුවපෝතකයා එක් ලිහිණියෙක් නියමැදුරෙන් අල්වා ගති. හෙතෙම කී කී යයි ශබ්ද කළේය. සාමණේරීහු ඔහුගේ ශබ්දය අසා, ආර්යාවෙනි, බුද්ධරක්ඛිත ලිහිණියෙකු විසින් ගන්නා ලද්දේය. ඔහු මුදවන්නෙමු යයි ගල් ආදිය ගෙන ලුහුබැඳ මිදවූවාහුය. ගෙනවුත් ඉදිරියෙහි තබන ලද ඔහුට තෙරණිය මෙසේ කීවාය.
බුද්ධරක්ඛිතය ලිහිණියා විසින් ගත්කල්හි කුමක් සිතුවෙහිද?
අනිකක් නොසිතීමි. ඇට රැසක්ම ඇට රැසක් ගෙනයයි. කවර තැනෙක්හි නමුත් විසිර යන්නේය. ආර්යාවෙනි, මෙසේ අට්ඨි සංඥාවම සිතුවෙමියි,
සාධු, සාධු බුද්ධරක්ඛිතය අනාගතයෙහි භවක්ෂය කිරීම පිණිස තම ප්රත්යය වන්නේ යයි, මෙසේ ඒ කුරු ජනපදයෙහි තිරිසන් ගණයෝ පවා සතිපට්ඨාන මෙනෙහි කිරීමෙහි යෙදුනාහුය. එහෙයින් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන වෘද්ධියම දන්නා සේක් මෙම සුත්රය වදාළහ.