සෙක්ඛ වාර
මෙසේ භාග්යවතුන් වහන්සේ පඨවි ආදි වස්තූන්හි සියලු සක්කාය ධර්මයන්ට මුල්වූ පුහුදුන් ජනයාගේ පුවත් දක්වා, දැන් එම වස්තූන්හි සේඛයාගේ පුවත් දක්වන සේක් “යොපි සො භික්ඛවෙ භික්ඛු සෙඛො” යනාදිය වදාළහ. එහි යො යනු උද්දෙස වචනයයි. (=මාතෘකාව කෙටියෙන් ඉදිරිපත් කිරීම) සො යනු නිද්දෙස වචනයයි. (=විස්තර කිරීම) පි යනු සම්පිණ්ඩනාර්ථයෙහිය. ‘අයම්පි ධම්මො අනියතො’ යන ආදි තන්හි මෙනි. එය ද ආරම්මණ සභාගයෙන් පුද්ගලයා සම්පිණ්ඩනය කෙරෙයි. පුද්ගල සභාගයෙන් නොවෙයි. (සභාග යනු සමාන පැවතුම් ඇති යනුයි) කලින් දේශනාවෙහි පුද්ගලයෝ දිට්ඨි විපන්නයෝ වෙති. (පෙරලුනු දෘෂ්ටි ඇත්තෝ වෙති) මෙහි දිට්ඨි සම්පන්නයෝ වෙති. ඔවුන්ගේ සභාග බවක් නැත. පඨවි ආදි ආරම්මණ කලින් දැක්වූ පුද්ගලයන්ට ද මොවුන්ට ද එකමය. එහෙයින් කියන ලදී. ආරම්මණ සභාගයෙන් පුද්ගලයන් සම්පිණ්ඩනය කෙරේය කියා පුද්ගල සභාගයෙක් නොවේ. යො පි සො යන මේ සියලු වචනයෙන් දැන් කිවයුතු ‘සෙඛයා’ දක්වන සේක් යයි දතයුතුයැ.
භික්ඛවෙ භික්ඛු මෙය කී අයුරුමැයි. සෙඛො කිනම් අරුතකින් සෙඛ වේද, සෙඛ ධර්මයන් ලබා ඇති බැවින් සෙඛනම් වේ. මෙසේ පසන ලදී.
“කිත්තාවතා නුඛො භන්තෙ සෙඛො හොතීති ඉධ භික්ඛවෙ භික්ඛු සෙඛාය සම්මාදිටඨියා සමන්නාගතො හොති -පෙ- සෙඛෙන සම්මා සමාධිනා සමන්නාගතො හොති එත්තාවතා ඛො භික්ඛු සෙඛො හොති” යනුවෙන්, තවද හික්මේනුයි සෙඛ නම් වේ. මෙසේ වදාරණ ලදී. සික්ඛති සික්ඛතීති ඛො භික්ඛු තස්මා සෙඛොති වුච්චති කිඤ්ච සික්ඛති, අධි සීලම්පි සික්ඛති, අධිචිත්තම්පි සික්ඛති අධිපඤ්ඤම්පි සික්ඛති, සික්ඛති සික්ඛතීති ඛො භික්ඛු තස්මා සෙඛොති වුච්චති යනුවෙන්.
යම් කල්යාණ පෘථග්ජන කෙනෙක් අනුලෝම ප්රතිපදාව සණ කෙරෙනුයේ සීලයෙන් සම්පූර්ණ වූයේ චක්ඛු ආදි ඉන්ද්රියන්ගේ වසන ලද දොර ඇත්තේ, භෝජනයෙහි පමණ දන්නේ, නිදි දුරුකිරීමෙහි යෙදුනේ, පූර්ව රාත්රී අපර රාත්රීවල, බෝධිපාක්ෂික ධර්ම භාවනාවෙහි යෙදුනේ අද හෝ හෙට එක්තරා සාමඤ්ඤඵලයකට පැමිණෙන්නෙමැයි වාසය කෙරේ ද, ඒ කල්යාණ පෘථග්ජන තෙම හික්මේනුයි ‘සෙඛ’ නමයි කියනු ලැබේ. මෙහි වූ කලී ප්රතිවේධයට පත්වූවෙක්ම (රහත්ඵලය හැර) සෙඛ නමයි අදහස් කෙරේ. පෘථග්ජන තෙමේ සෙඛ නොවේ.
“මානස ශබ්දය”
නොපැමිණියා වූ රහත්බව ඇත්තේ මොහු විසිනුයි අප්පත්ත මානසො නම් වේ. මානසං, යනුවෙන් මෙහි රාගය ද, සිත ද රහත්බව ද, කියනු ලැබේ. අන්තලික්ඛ චරො පාසො ස්වායං චරති මානසො යන මෙහි රාගය මානස නම් වේ.
චිත්තං මනො මානසං මෙහි මානස ශබ්දයෙන් සිත අදහස් කෙරේ.
“අප්පත්ත මානසො සෙඛො කාලං කයිරා ජනෙ සුතා” යන මෙහි රහත් යන අරුතෙහි යෙදී ඇත. මෙහිදු රහත් බවම අදහස් කරන ලද්දේ වෙයි. එයින් නොපැමිණි රහත් බව ඇත්තේ යයි කියන ලද්දේ වෙයි.
අනුත්තරං යනු ශ්රේෂ්ඨය, අසදෘශය යන අරුත්හි වේ. සතර යෝගයන්ගෙන් නිර්භය වූ උවදුරු නැති වූ අරුතින් යෝගක්ඛෙම නම් වේ. රහත්බවම අදහස් කරන ලදී. පත්ථයමානො යනු පැතුම් දෙකකි. තණ්හා පැතුම සහ ඡන්ද පැතුමයි. පත්ථයමානස්සහි ජප්පිතානි පවෙධිතං වාපි පකප්පිතෙසු යන මෙහි ඇත්තේ තණ්හා පැතුමයි.
ඡින්නං පාපිමතොසොතං විද්ධස්තං විනළීකතං
පාමුජ්ජ බහුලාහොථ ඛෙමං පත්ථෙථ භික්ඛවො
පාමුජ්ජ බහුලාහොථ ඛෙමං පත්ථෙථ භික්ඛවො
(මාරයාගේ ශෝත්රස සිඳින ලද්දේය. විසුරුවා හැරීම කරන ලද්දේය. පහ වූ බන්ධන ඇතිකරන ලද්දේය. මහණෙනි, ප්රමුදිත භාවය බහුලකොට ඇත්තෝ වවු. නිවන කත්තුකම්යතා කුසලච්ඡන්දයෙන් පතව්)
මෙහි කත්තු කම්යතා කුසලච්ඡන්ද ප්රාර්ථනාවයි. මෙයට පත්ථයමානො යන මෙයින් අදහස් කෙරේ. එබැවින් පත්ථයමානො යනු ඒ යොගක්ෂෙමය කරනු කැමතිව එයට පැමිණෙනු කැමතිව ඊට නැමුනේ ඊට අවනත වූයේ ඊට හාත්පසින්ම අවනත වූයේ යයි දතයුතුයැ. එක් ඉරියව් දුකක් අන් ඉරියව්වකින් සිඳ කය වැටෙන්න නොදී පවත්වයි නොහොත් “සබ්බෙ සංඛාරා අනිච්චාති අධිමුච්චන්තො සද්ධාය විහරති” යනාදියෙහි නිර්දේශ කළ අයුරින් මෙහි අර්ථය දතයුතුය.
පඨවිං පඨවිතො අභිජානාති පඨවි ධාතුව පඨවි ධාතුව වශයෙන් මනාව දැනගනී. පුහුදුන් ජනයා මෙන් සර්වප්රකාරයෙන් විපරීත හැඟීමෙන් හැඳින නොගනී. නමුත් අති විශිෂ්ඨ ඤාණයෙන් දැනගනී. පඨවිං යනුවෙන් පඨවි භාගය අත් නොහරින්නේ එය අනිත්ය, දුක්ඛ, අනාත්ම කියා විශේෂයෙන් දැනගනී. මෙසේ එය විශේෂයෙන් දැන, පඨවිං මා මඤ්ඤති යනුවෙන් කුමක් කියන ලද්දේ වේද, සිතානුයි මඤ්ඤී නම් වේ. මෙතෙම සිතන්නේ යයි ද නොසිතන්නේ යයි ද නොකිය යුත්තේ ය. මෙහි අදහස කුමක්දැයි කියනු ලැබේ. පුහුදුන් ජනතෙම සියලු මඤ්ඤනාවන් ප්රහීණ නොකළ බැවින් මඤ්ඤති යනුවෙන් වදාරණ ලද්දේය. බීණාසව තෙම එය. ප්රහීණ කළ බැවින් “න මඤ්ඤති” යනුවෙන් වදාරණ ලද්දේය. සේඛයාගේ දිට්ඨි මඤ්ඤනා ප්රහීණ වූවායි අන්යයෝ තුනීබවට ගියාහුය. එහෙයින් හෙතෙම පුහුදුන් ජනයා මෙන් සිතයි කියා නොකිව යුත්තේය. ඛීණාසව මෙන් සිතයි කියාද නොකිය යුත්තේය. බීණාසව මෙන් නොසිතයි කියාද නොකිය යුත්තේය.