ඒකත්ත වාර
මෙසේ සියලු සක්කාය භේදය (දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත) යන සතර සමග දක්වා, එයම සමාපන්නක, (පැමිණි, ඇතුළත්) අසමාපන්නක යනුවෙන් දෙපරිද්දකින් දක්වන සේක් එකත්තං නානත්තං යයි වදාළහ.
එකත්තං යන මෙයින් සමාපන්නවාරය දක්වන සේක්, නානත්තං යන මෙයින් අසමාපන්නවාරය දක්වති. ඔවුන්ගේ වචනාර්ථය නම් ඒකභාවය එකත්ත කියාද ද්විභාවය නානත්ත කියා ද වේ. මෙම යෙදීම වනාහි සමාපන්නවාරය සතර ස්කන්ධයන්ගේද, අසමාපන්න වාරය පංච ස්කන්ධයන්ගෙන්ද වෙන්කොට - “රූපං අත්තකො සමනුපස්සති” යන මේ ආදිය ශාසනික නයින් පඨවි මාර ආදියෙහි කී අයුරින් ද අට්ඨකථා නය වශයෙන් ද සුදුසු පරිදි විමසා දතයුතුයැ. සමහරෙක් එකත්ත යනුවෙන් එකත්ත නයක් කියති. නානත්තං යනුවෙන් නානත්ත නයක් ද කියති. “එකත්ත සඤ්ඤී අත්තා හොති අරොගො පරම්මරණා නානත්ත සඤ්ඤී අත්තා හොති” යනුවෙන් මෙසේ දෘෂ්ටීන්ගේ බැසගැනීම පෙන්වති. ඒ සියල්ල මෙහි බලාපොරොත්තු නො වේ. සුදුසු ද නොවේ.
මෙසේ සක්කාය (පඤ්චස්කන්ධය) දෙඅයුරකින් දක්වා දැන් එයම එක් අයුරකින් සම්පිණ්ඩනය කොට දක්වන්නේ සබ්බං සබ්බතො යනාදිය වදාළහ. මෙහි යෝජනා ක්‍රමය ආශ්වාදනය කරන්නේ, සියල්ල තණ්හා මඤ්ඤනාවෙන් යුතුව සිතයි. මා විසින් මේ සත්ත්වයන් මවන ලද්දේයැයි ආදි නයින් මවිසින් සත්ත්වයන් මවන ලදැයි සිතන්නේ සියල්ල මාන මඤ්ඤනාවෙන් යුතුව සිතයි. සියල්ල පෙරකළ කම් බලයෙන් වෙයි. සියල්ල ඊශ්වර නිර්මාණ හේතුවෙන් වෙයි. සියල්ල අහේතු අප්පච්චය වශයෙන් වෙයි. සියල්ල ඇත. සියල්ල නැත. මේ ආදි ක්‍රමයන්ගෙන් සිතන්නේ සියල්ල දිට්ඨි මඤ්ඤනාවෙන් යුතුව සිතයි.
“කථං සබ්බස්මිං මඤ්ඤති” යනු කෙසේද යත් මෙහි ඇතැමෙක් මගේ ආත්මය විශාලයයි දිට්ඨි ඇත්තේ වෙයි. හෙතෙම මුලු ලෝක සන්නිවාසය ඔහුගේ අවකාශ භාවයෙන් සිතා ඒ මේ මගේ ආත්මය සියලුම රූපා රූප ධර්මයෙහි පිහිටියේ යයි සිතයි. මේ ඔහුගේ දෘෂ්ටි මඤ්ඤනාවයි. ඒ සියල්ල ඇසුරු කළ ආත්මයෙහිම ස්නේහයද එය වස්තුකොට ඇති මානයද උපදවන්නා වූ බඹුගේ තණ්හා මඤ්ඤනාවෝද දතයුත්තාහුය. සෙසු සියල්ල පඨවි වාරයෙහි කී අයුරින්ම දතයුතුය.
නිබ්බාන
ඉහත දැක්වූ සියලුම සක්කාය එක් පරිද්දකින් දක්වා අනතුරුව අන් ක්‍රමයකින්ද දක්වන්නාහු නිබ්බානං නිබ්බානතො යනාදිය වදාළහ. එහි නිබ්බානං යනු යතො ඛො භො අයං අත්තා පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමංගිභූතො පරිවාරෙති එත්තාවතා ඛො භො අයං අත්තා පරම දිට්ඨධම්ම නිබ්බානං පත්තො හොති. (පින්වත, යම්තැනක පටන් මේ ආත්මය පඤ්චකාම ගුණයන්හි කැමති පරිද්දෙන් ඉන්‍ද්‍රියයන් හසුරුවාද, පින්වත මෙතෙකින් මේ ආත්මය පරම දිට්ඨධම්ම නිබ්බානයට හෙවත් උත්තම වූ ඉහාත්මයෙහි දුක් සංසිඳුවීමට පැමිණියේ වෙයි.) මේ ආදි නයින් පස් ආකාරයකින් එන ලද්දේ පරම දිට්ඨධම්ම නිබ්බානයයි දතයුතුය. එහි දිට්ඨධම්ම නිබ්බානය ආස්වාදනය කරන්නේ තණ්හා මඤ්ඤනාවෙන් යුතුව සිතයි. ඒ නිබ්බානයෙන් මම නිවනට පැමිණියේ යයි මානය උපදවන්නේ මාන මඤ්ඤනාවෙන් යුතුව බලයි. නිබ්බාන නොවූම එය නිබ්බාන වශයෙන් ද නිත්‍ය වශයෙන් ද ග්‍රහණය කරන්නේ දිට්ඨි මඤ්ඤනාවෙන් යුතුව සිතයි යයි දතයුතුය.