භූත වාර
මෙසේ රූපද්වාරයෙන් සංඛාර වත්ථුකි මඤ්ඤනාව කියා දැන් යම් සංඛාර කෙනෙක් උපාදානය කොට සත්ව කෙනෙක් පනවනු ලබත්ද, ඒ සත්ත්වයන් අතුරෙහිද පුහුදුන් ජනතෙම තණ්හා වශයෙන් මඤ්ඤණය කෙරේද එහෙයින් එම සත්ත්වයන් නිර්දේශ කරනසේක් “භූතෙ, භූතතො සඤ්ජානාති”.
භූත ශබ්දය
එහි භූත ශබ්දය, පඤ්චස්කන්ධය, අමනුෂ්ය, ධාතුය, විද්යමානය, ක්ෂීණාශ්රව, සත්ව, වෘක්ෂ යනාදි අර්ථයන්හි වේ.
“භූත මිදන්ති භික්ඛවෙ, සමනුපස්සථ” යනාදි තන්හි භූත ශබ්දය “පඤ්චස්කන්ධය” යන අර්ථයෙහි වේ.
“යානීධ භූතානි සමාගතානි” මෙහි අමනුෂ්ය යන අරුත්හි යෙදී ඇත.
“චත්තාරො ඛො භිකඛු මහාභූතා හෙතු” යන මෙහි ධාතු යන අර්ථයෙහි යෙදී ඇත.
“භූතස්මිං පාචිත්තියං” යනාදීන්හි විද්යාමාන යන අර්ථයෙහිය.
“යොච කාලඝසො භූතො” යන මෙහි බීණාසව යන අර්ථයෙහි වේ.
“සබ්බෙව නිකඛිපස්සනති භූතා ලොකෙ සමුස්සයං” යන මෙහි සත්ත්වයන් යන අරුතෙහිය.
“භූතගම පාතව්ය තාය” යන මෙහි වෘක්ෂ යන අරුතෙහි යෙදී ඇත. මෙය මෙහි සත්ත්වයන් කෙරෙහිදු වැටෙයි. එහෙත් අවිශේෂයෙන් නොවේ. චාතුර්මහාරාජිකයන්ගෙන් යට භාගයෙහි සත්වයෝම මෙහි භූත යන්නෙන් අදහස් කරන ලද්දාහු වෙති.
එහි භූතෙ භූතතො සඤ්ජානාති යනාදියද කියන ලද නයින්ම දතයුත්තේය. “භූතෙ මඤ්ඤති” යනාදියෙහි ත්රිවිධ මඤ්ඤනාවෝම දතයුත්තාහුය. කෙසේද යත්, “සො පස්සිති ගහපතිං වා ගහපති පුත්තං වා පඤ්චහි කාමගුණෙහි සමම්පිතං සමංගි භූතං” (හෙතෙම පස්කම් ගුණෙහි බැඳුණු ගැහැවියෙක් හෝ ගැහැවි පුත්රයෙක් හෝ දකීයයි වදාළ නයින්, භූතයන් සුභයෝය. සුඛිතයෝ යයි ගෙන ඇලෙයි දැකද, අසාද ආඝ්රාණය කොට ද රස විඳගෙන ද ස්පර්ශ කොටද දැනද ඇලෙයි. මෙසේ භූතයන් තණ්හා මඤ්ඤනාවෙන් සිතයි. “මම ඛත්තිය මහාසාරයන් හා එක්වීමට පටිසන්ධි වශයෙන් පැමිණෙන්නේ නම් ඉතා මැනව”යි යනාදි ක්රමයෙන් හෝ නොලත් සම්පත් ලැබීම පිණිස සිත පිහිටුවාද මෙසේ ඒ භූතයන් තණ්හා මඤ්ඤනාවෙන් සිතයි. තමන්ගේ ද භූතයන්ගේ ද සැපත ද විපත ද නිසා තමා හෝ ශ්රේෂ්ඨ කොට පිහිටුවයි. භූතයන් අතුරෙන් යම්කිසි භූතයෙකු පහකොට සලකයි. තමා පහත්කොට භූතයකු උස්සකොට සලකයි. භූතයා හා තමා සමානකොට සලකයි වදාළේ මැයි. “ඉධෙකච්චො ජාතියා වා අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පුබ්බකාලං පරෙහි සදිසං අත්තානං දහති අපරකාලං අත්තානං සෙය්යං දහති පරෙ හීනෙ දහති සො එව රූපො නාමානො -පෙ- අයං වුචචති මානාතිමානො” මෙසේ භූතයන් ගැන මාන මඤ්ඤනාවෙන් සිතයි.
භූතයෝ වනාහි නිත්යයෝය. සැමදා පවත්නෝය. වෙනස් නොවන ධර්මතා ඇත්තෝය. සියලු සත්ත්වයෝ සියලු ප්රාණීහු සියලු භූතයෝ සියලු ජීවයෝද වසඟෙහි නො පවත්නෝය. බලයක් නැත්තෝය. වීර්ය නැත්තෝය. නියත වශයෙන් අභිජාති (නැවත නැවත ඉපදීම්) හයක් ඒ ඒ තන්හි ගමනින් ද ස්වභාවයෙන් ද නානාප්රකාර බවට පමුණුවනු ලද්දාහු අභිජාති සයෙහිම (ඇතැම් දෘෂ්ටිකයන් සිතන මැරි මැරී උපදින ආත්ම භාව සයෙහිම) සිට සුවදුක් විඳිත්යයි හෝ හඟින්නේ දිට්ඨි මඤ්ඤනාවෙන් යුතුව සිතයි. මෙසේ භූතයන් පිළිබඳ ත්රිවිධ මඤ්ඤනාවෙන් යුතුව සිතයි.
“භූතෙසු මඤ්ඤති” යනාදි තන්හි ඒ භූතයන් කෙරෙහි, තමාගේ උපත හෝ සැපතට පැමිණීම හෝ කැමති වෙයි. මෙසේ පළමුකොට තණ්හා මඤ්ඤනාවෙන් යුතුව භූතයන් පිළිබඳව සිතයි. භූතයන් වෙත උපත කැමති වන්නේ දන් දෙයි. සිල් රකියි. උපෝසථ කර්ම කරයි. මෙසේද භූතයන් කෙරෙහි තණ්හා මඤ්ඤනාවෙන් යුතුව සිතයි. භූතයන් වනාහි සමූහ වශයෙන් ගෙන ඔවුන් අතුරෙහි ඇතැම් භූතයෙකු ශ්රේෂ්ඨ වශයෙන් පිළිගනියි. ඇතැම් භූතයෙකු සමාන වශයෙන් පිළිගනියි. ඇතැම් භූතයෙකු හීන වශයෙන් පිළිගනියි. මෙසේ භූතයින් විෂයෙහි මාන මඤ්ඤනාවෙන් යුතුව සිතයි.
එසේම ඇතැමෙක් ඇතැම් භූතයන් නිත්යයෝය. සදාකාලිකයෝ යයි සිතයි. කිසිවෙක් භූතයෝ අනිත්යයෝ ය. තාවකාලිකයෝ ය යනුවෙන් සිතයි. මම ද භූතයන් අතුරෙහි එක්තරා කෙනෙක් වෙමියි හෝ සිතයි. මෙසේ භූතයන් කෙරෙහි දිට්ඨි මඤ්ඤනාවෙන් යුතුව සිතයි.
භූතතො මඤ්ඤති යන මෙහි උපකරණ සහිත වූ තමාගේ හෝ අනුන්ගේ හෝ උපත යම්කිසි භුතයෙකු කෙරෙන් වීයයි සිතන්නේ භූතයන් කෙරෙන් පිටත නිත්ය ආත්මයක් ඇතැයි පිළිගනීයයි දතයුතුයි. මේ ඔහුගේ දිට්ඨි මඤ්ඤනාවයි. දිට්ඨි මඤ්ඤනාවෙන් සිතන ලද ඒ වස්තුවෙහිම ආදරයද මානයද උපදවන්නා වූ ඔහුගේ තහා මාන මඤ්ඤනාවෝ ද දතයුත්තාහුය. භූතෙ මෙති මඤ්ඤති යන මෙහි හුදෙක් තණ්හා මඤ්ඤනාවම ලැබෙයි. මේ මගේ පුතාය. මේ මගේ දුවය. මගේ එළු තිරළුවෝය කුකුළු හූරෝය. ඇත් ගව අස්හුය මේ අයුරින් මමත්වය කරන්නහුට තණ්හා මඤ්ඤනාව පවතීයයි දතයුතුය.
භූතෙ අභිනන්දති යන මෙහි කී නයමැයි. “අපරිඤ්ඤාතං තස්ස” යන මෙහි යම් සංඛාර කෙනෙකුන් නිසා (උපාදාය) භූත පඤ්ඤත්තියක් වීද, ඒ සංඛාරයන් අපරිඤ්ඤාත බැවින් භූතයෝ ද අපරිඤ්ඤාත වූවාහු වෙත් යයි දතයුත්තාහුය. යෙදීම වනාහි කී අයුරින්ම කළයුතු වන්නීය.