ආකාසානඤ්චායතන වාර
මෙසේ භාග්යවතුන් වහන්සේ පිළිවෙලින් දිව්යලෝක දක්වා අභිභූ යන වචනයෙන් අසඤ්ඤ භවය දක්වා යම් හෙයකින් මේ වට්ට කථා වන්නීද ශුද්ධාවාසයෙහි විවට්ට පක්ෂයෙහි සිටියාහුය. එසේම එම දෙවිවරු අනාගාමි ක්ෂීණාශ්රවයෝම වෙති. මොවුහු කල්ප ගණනක් ආයු ඇත්තාහු බුද්ධෝත්පාද කාලයෙහිම වෙත්. බුදුවරු වූ කලී අසංඛ්ය කල්පයෙහිදු නොඋපදිති. අබුද්ධෝත්පාද කාලවල ශුද්ධාවාස භූමිහු ශුන්ය වූවාහු වෙති. බුදුවරුන්ට ශුද්ධාවාස භවය රජුන්ගේ කඳවුරු ස්ථානයක් මෙන් වෙති.
මේ කරුණින් ශුද්ධාවාස විඤ්ඤාණට්ඨිති වශයෙන් ද සත්තාවාස වශයෙන් ද නොගන්නා ලදී. මෙම මඤ්ඤනාවෝ සර්වකාලීන නිසා හැමදා විද්යමාන භූමි දක්වන්නේ ශුද්ධාවාසයන් අතහැර ආකාසානඤ්චායතන ආදිය දැක්වූහ.
ආකාසානඤ්චායතනය
ආකාසානඤ්චායතනං යනු සතර කුසල විපාක, ක්රියා ස්කන්ධයෝය. මෙම කුසල-විපාක, ක්රියා ස්කන්ධයෝද, භාවනා පරිච්ඡේද කථා මෙයයි කොට එහි උපන්නහු පිළිබඳවම යයි දතයුත්තාහුය. විඤ්ඤාණඤ්චායතනා දියෙහිද මෙම ක්රමයම වේ. මෙම සතර වාරයෙහි අර්ථ යෝජනා, අභිභූවාරයෙහි කී අයුරින්ම දතයුත්තාහුය. මාන මඤ්ඤනා ද පජාපති වාරයෙහි කී අයුරින් යෙදේ.
දිට්ඨසුත වාර
මෙසේ භූමි විශේෂ ආදි භේදයෙන් විස්තර කරන ලද්දේ නමුදු, මඤ්ඤනා වත්ථු දක්වා දැන් සියලු මඤ්ඤනාවන්ට වස්තුභූත වූ සක්කාය පරියාපන්න වූ තෙභූමක ධර්මභේදයන් වූ දිට්ඨි ආදි සතර සංග්රහ කොට දක්වන්නේ දිට්ඨං දිට්ඨතො ආදිය දැක්වූහ.
එහි දිටඨං යු මසැසින් දක්නා ලද දෙයට ද, දිවැසට ද රූපායතනයට ද නමකි. එහි දිට්ඨං මඤඤති යනු දක්නා ලද ත්රිවිධ මඤ්ඤනාවන්ගෙන් සිතයි. කෙසේද යත්, රූපායතනය ශුභය යන සංඥාවෙන් ද, සැප යන සංඥාවෙන් ද දක්නේ එහි ඡන්දරාගය උපදවයි එය ආශ්වාදනය කෙරෙයි එයට සතුටු වෙයි.
මෙසේ වදාරණ ලද්දේ වෙයි. ඉත්ථිරූපෙ භික්ඛවෙ, සත්තා ගිද්ධා - ගථිතා මුච්ඡිතා අජ්ඣාපන්නා තෙ දීඝරත්තං සොචන්ති ඉත්ථිරූපවසානුගා (මහණෙනි, යම් සත්ත්ව කෙනෙක් ඉත්ථි රූපයෙහි රාග වශයෙන් ඇළුණාහු ගිජුවූවාහු ගෙතුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු වෙත්ද, ඉත්ථි රූපයෙහි වසඟ වූ ඔවුහු බොහෝකලක් ශෝක කෙරෙති. මෙසේ රූපායතන තණ්හා මඤ්ඤනාවෙන් සිතයි.) ඉති මෙ රූපං සියා අනාගත මද්ධානන්ති වා පනෙත්ථ නන්දිං සමන්නානෙති රූපසම්පදං වා ආකංඛමානො දානං දෙති. (මෙසේ මාගේ රූපය අනාගත කාලයෙහි වන්නේයයි කියා හෝ තණ්හාව පිහිටුවයි. රූප සම්පත්තිය කැමති වෙමින් දන් දෙයි.) මෙසේ රූප මඤ්ඤනාවෙන් යුතුව සිතයි. තමන්ගේ හෝ අනුන්ගේ හෝ රූප සම්පත්තිය හා විපත්තිය ඇසුරුකොට මානය උපදවයි. මෙයින් මම සෙට වෙමි. සමාන වෙමි. හීන වෙමි යයි, දිට්ඨිය මාන මඤ්ඤනාවෙන් යුතුව සිතයි. රූපායතන වනාහි නිත්යය. සදාකාලිකය. සස්සතය යනුවෙන් සිතයි. ආත්මය ආත්මීය යයි සිතයි. මංගල අමංගල යයි සිතයි. මෙසේ රූපායතනය දෘෂ්ටි මඤ්ඤනාවෙන් යුතුව සිතයි. මෙසේ රූපායතනය ත්රිවිධ මඤ්ඤනාවෙන් යුතුව සිතයි.
දිට්ඨං මඤ්ඤති යනු කෙසේද, රූපයෙහි ආත්මය ඇතැයි යනුවෙන් රූපායතනයෙහි ආත්මය ඇතැයි සිතයි. නැතහොත් තනයෙහි තනකිරි යසේ ද, එසේ රූපයෙහි රාගාදීහු වෙතැයි සිතන්නේ ද රූපායතනයෙහි ආත්මය ඇතැයි සිතයි. මේ ඔහුගේ දිට්ඨි මඤ්ඤනාව වේ. දිට්ඨි මඤ්ඤනාවෙන් සිතන ලද එම වස්තුවෙහිම ආදරය ද මානය ද උපදවන්නා වූ ඔහුගේ තණ්හා මාන මඤ්ඤනාවෝද දතයුත්තාහුය. මෙසේ දිට්ඨි වශයෙන් රූපයෙහි ආත්මය ඇතැයි සිතයි. සෙස්ස පඨවි වාරයෙහි කී අයුරින් දත යුත්තේය.
සුතං යනු කණින් අසන ලද්ද, දිවකණින් අසන ලද්ද ද ගැනේ. මේ ශබ්දයතනයට ද නමකි.
මුතං යනු පැමිණ ද දැනගන්නා ලද්ද. ගැටී, එළඹ යන අර්ථයි. ඉන්ද්රියයන්ගේ ද ආලම්බනයන්ගේ ද, අන්යෝන්ය එක් වීමෙහි දී දන්නා ලද්දේ යයි කියන ලද්දේ වෙයි. මෙහි මුතං යනු ගන්ධ, රස, එස ආයතනයන්ට නමකි.
විඤ්ඤතං යනු සිතින් දන්නා ලද, සෙසු සත්වැදෑරුම් ආයතනයන්ටද නමකි. ධම්මාරම්මණයට හෝ නමකි. මේවා වූ කලී සක්කාය පරියාපන්න වූ කල්හිම ලැබෙයි. මෙහි විස්තර කථාව දිට්ඨ වාරයෙහි කී නියායෙන් දත යුතු වේ.
ඒකත්ත වාර
මෙසේ සියලු සක්කාය භේදය (දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත) යන සතර සමග දක්වා, එයම සමාපන්නක, (පැමිණි, ඇතුළත්) අසමාපන්නක යනුවෙන් දෙපරිද්දකින් දක්වන සේක් එකත්තං නානත්තං යයි වදාළහ.