තථාගත වාර අට්ඨමනය
නන්දි දුක්ඛස්ස මූලං ආදි තන්හි නන්දි යනු (පුරිම) කලින් වූ තණ්හාවයි. දුක්ඛං යනු පංචස්කන්ධයයි. මූලන්ති ඉති විදිත්වා, ඒ පුරිම තණ්හාව මේ පංචස්කන්ධයට මූලයයි. දැන, භවා: (කර්ම) භවයෙන් ජාති යනු විපාක ස්කන්ධයෝය. ඔවුන් හේතුකොට ගෙන යම් හෙයකින් උපදිත් ද, එහෙයින් ජාති යයි කියන ලදී. ජාති ශීර්ෂයෙන් මෙම දේශනාව වන්නීය. මෙයද ඉති විදිත්වා යන පදය සමග යෙදිය යුතුය. මේ මෙහි අර්ථයයි. කම්ම භවවයෙන් උත්පත්ති භවය වෙයි. මෙයද දැනගෙනයි භූතස්ස සත්ත්වයා හට ජරා මරණං ජරාවද මරණයද කියන ලද්දේ.
ඒ උත්පත්ති භවය හේතුකොට හටගත් සත්ත්වයා පිළිබඳ ස්කන්ධයන්ගේ දිරීමද මැරීමද වේයයි යන මෙය දැන, බෝධිවෘක්ෂ මූලයෙහි අපරාජිත පර්යංකයෙහි වැඩසිට යමක් සම්මර්ශනය කොට සර්වඥ බවට පැමිණිසේක් ද, ඒ ප්රතීත්ය සමුත්පාදයාගේ ප්රතිවේධයෙන් මඤ්ඤනාවන්ගේ අභාවය දක්වන සේක්, චතුසංඛෙප තිසන්ධි, තිඅද්ධ, වීසති ආකාර ඇති පටිච්ච සමුප්පාදය දැක් වූ සේක.
කෙසේනම් මෙතෙකින් ඒ සියල්ල දක්වන සේක් ද යත්, මෙහි නන්දි යනු මේ එක් සංඛෙපයකි. දුක්ඛසස යන වචනයෙන් දෙවන සංඛෙපයද, භවා ජාති යන්නෙහි භව යනු තුන්වන සංඛෙපයද ජාති ජරාං-මරණං යනු හතරවන සංඛෙපයයි. මෙසේ පළමුකොට සතර සංඛෙපයෝ දතයුත්තාහුය. කොට්ඨාස යන අර්ථයි. තණ්හාව දුක්ඛයන්ගේ අතර දුක්ඛයාගේ ද භවයාගේ ද අතර දෙවන සන්ධියයි. භවයාගේ ද, ජාතියේ ද අතර තුන්වන සන්ධියයි. ඇගිලි හතර අතර මෙන් මෙම හතර සංඛෙපයන් අතර සන්ධි තුන දත යුත්තාහුය. එහි තණ්හාව අතීතකාලය වෙයි. ජාති-ජරා-මරණ අනාගත කාලය වේ. දුක හා භවය වර්තමාන කාලයයි. මෙසේ කාල තුන දතයුත්තේය.
අතීතයෙහි පංචආකාර වූ (අවිජ්ජා-සංඛාර-තණ්හා-උපාදාන-භව) යන මොවුන් අතුරෙන් නන්දි යන වචනයෙන් එකලා තණ්හාව ආයේය. එම තණ්හාව හේතුවෙන් අනාගත වූ ද අවිජ්ජා සංඛාර උපාදාන භව ය මොවුහු ප්රත්ය ලක්ෂණයෙන් ගන්නා ලද්දාහුම වෙති.
ජරා මරණ යන වචනයෙන් යම් ස්කන්ධ කෙනෙකුන්ට ඒ, ජාති ජරා මරණ වේද, ඔවුහු කියන ලද්දාහුමය. මෙසේ කොට මත්තෙහි විඤ්ඤාණ - නාමරූප - සලායතන - ඵස්ස - වෙදනා ගන්නා ලද්දාහුම වෙති.
මොවුන් අතුරෙහි පූර්වභවයෙහි මෝහය අවිජ්ජාවයි. ආයූහනය සංඛාරයෝය. නිකාන්තිය තණ්හාවයි. උපගමනය උපාදානයයි. චේතනාව භවයයි. මේ අයුරින් මෙම පස්ආකාර ධර්මයෝ පූර්වකර්ම භවයට අයත් මෙහි ප්රතිසන්ධියට ප්රත්ය වූහ.
මෙම භවයේ ප්රතිසන්ධිය වූ කලී විඤ්ඤාණයයි. මව්කුසට බැසගැනීම (=අවක්කන්ති) නාමරූපයයි. චක්ඛු ආදි ප්රසාද රූපයෝ ආයතනයයි. අරමුණු ගැටීමෙන් ඇතිවන්නේ ඵස්සයයි. අරමුණු රස විඳින්නේ වේදනාවයි. මෙසේ මේ පංච ධර්මයෝ මෙම උප්පත්ති භවයෙහි පූර්වභවයෙහි කරන ලද කර්මයට ප්රත්ය වූහ.
මේ භවයේ ආයතනයන් මෝරාගිය බැවින් මෝහය අවිද්යාවයි. ආයුහනය (රැස්කිරීම) සංඛාරයෝය. නිකාන්තිය (=අරමුණෙහි පවත්නා වූ අභිරතිය) තණ්හාවයි. උපගමනය (=අරමුණු අල්ලා ගැනීම) උපාදානයයි. චේතනාව භවයයි. මේ පංචධර්ම මෙම කම්ම භවය ඇති කල්හි, මත්තෙහි ප්රතිසන්ධියට ප්රත්ය වෙයි.
මතු භවයෙහි ප්රතිසන්ධිය විඤ්ඤාණයයි. අවක්කන්ති මව්කුසට බැසගැනීම නාමරූපයයි. පසාදරූප ආයතනයි. අරමුණ ස්පර්ශ කිරීම ඵස්සයයි. අරමුණ රසවිඳීම වේදනාවයි. මේ අයුරින් මේ පංච ධර්මයෝ මත්තෙහි උත්පත්ති භවය ඇති කල්හි. මේ භවයෙහි කළ කර්මයට ප්රත්ය වන්නාහුය. මේ දක්වන ලද ආකාර ඇති පටිච්ච සමුප්පාදයේ විසිආකාරයෝ දතයුත්තාහුය.
මෙසේ, නන්දි, දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා ජාති භූතස්ස ජරාමරණං යයි මෙතෙකින් සියලු චතුසංඛෙප, තිසන්ධි, තියද්ධ, විසති ආකාර පටිච්ච සමුප්පාදය දක්වන ලද්දේ යයි දතයුතුය.
“තස්මාතිහ භික්ඛවෙ, -පෙ- අභිසම්බුද්ධොති වදාමි” යන මෙහි පිළිවෙලින් පද වර්ණනා කොට පද යෝජනාවෙහි අර්ථ නිගමනය කරන්නෙමු. තස්මාතිහ, යනු, එහෙයින් යන අරුතට කියන ලදී. තිකාර හකාරයෝ නිපාතයෝය. සබ්බසො යනු අනවශේෂ යන අරුත් ගෙනදෙන වචනයකි. තණ්හාණං නන්දියයි මෙසේ කියන ලද සියලු තණ්හාවගේ, ඛයා යනු ලොව්තුරු මගින් අත්යන්තයෙන් ප්රහීණ කරන ලද, විරාගා යනාදිය ඛය ශබ්දයාගේම සමාන අර්ථ ඇති වචනයකි. යම් තණ්හාවක් ඛය වූවාහු නො ඇලුනාහු. ඔවුහු නිරුද්ධ වූවාහු ද හරින ලද්දාහු ද ඇලුනාහු, ඔවුහු නිරුද්ධ වූවාහු ද හරින ලද්දාහු ද දුරුකරන ලද්දාහුද වෙති. නැතහොත් ඛයා යනු සතර මාර්ගයන්ගේ කෘත්යයනට සාධාරණ වූ වචනයකි. එහෙයින් ප්රථම මාර්ගයෙන් නො ඇලුනාහු ද්විතීය මාර්ගයෙන් නිරුද්ධ වූවාහු වෙති. තෘතීය මාර්ගයෙන් ත්යාග කළාහු චතුර්ථ මාර්ගයෙන් දුරුකළාහු වෙති යයි යෙදිය යුතුය.
යම්බඳු තණ්හාවක් නිසා පඨවිය පඨවි භාවයෙන් හැඳින ගන්නේ හෝ වේද, ඔහුගේ (ඒ තණ්හාවගේ) අභාවයෙන් යම් තෘෂ්ණාවකින් පඨවිය ආත්මය යයි සිතන්නේ ද, ඔවුන්ගේ නො ඇල්මෙන්, යම් තෘෂ්ණාවකින් ආත්මය පඨවි ධාතුවෙහි පිහිටියේ යයි සිතන්නේ ද ඔවුන්ගේ නිරෝධයෙන් යම් තෘෂ්ණාවකින් පෘථුවියෙන් පිටත නිත්ය ආත්මය පිහිටියේ යයි සිතන්නේ ද, ඔවුන්ගේ ත්යාගයෙන් යම් තෘෂ්ණාවකින් පෘථුවිය ආත්මය යයි සිතන්නේ ද එය දුරලීමෙන් -පෙ- යම් තණ්හාවකින් පොළොව ඇසුරු කළ ආත්මයට සතුටු වන්නේ ද, ඔවුන්ගේ දුරලීමෙන් යයි මෙසේ මෙහි යෙදීම දතයුත්තේය. කිසිවක් විරුද්ධ නොවේ. දක්වන ලද්දෙහි කිසිදු විරුද්ධ අර්ථයක් නොවේ යන අදහසයි.