තථාගත වාර සත්තමනය
මෙසේ පඨවි ආදි වස්තු විෂයෙහි ඛීණාසවයන් වහන්සේගේ පුවත් දක්වා දැන් තමන් පිළිබඳ පුවත් දක්වන සේක්, තථාගතොපි භික්ඛවෙ ආදිය වදාළහ. එහි තථාගතො යනු කරුණු අටකින් භාග්යවතුන් වහන්සේ තථාගත නම් වන සේක. (1) තථා ආගත එපරිද්දෙන් ආයේනුයි තථාගත නම් වූහ. (2) තථාගතො, එපරිද්දෙන් ගියේනුයි තථාගත නම් වූහ. (3) තථ ලක්ඛණං ආගතො තථ ලක්ෂණයට පැමිණියේ නුයි තථාගත නම් වූහ. (4) තථ ධර්මයන් තත් වූ පරිද්දෙන් අවබෝධ කළේ නුයි තථාගත නම් වූහ. (5) තථ දස්සීභාවයෙන් තථාගත නම් වූහ. (6) තථවාදී බැවින් තථාගත නම් වූහ. (7) තථ කාරී බැවින් තථාගත නම් වූහ. (8) අභිභවනාර්ථයෙන් තථාගත නම් වූහ.
(1) කෙසේ නම් භාග්යවත් තෙම තථා ආගතනුයි තථාගත වීද යත්, මුළු ලොවට හිත පිණිස උත්සාහවත් වූ පූර්ව බුදුවරයෝ යම්සේ ආවාහු ද, විපස්සි බුදුරජාණෝ යම්සේ ආවාහුද සිඛී බුදුරජාණන් වහන්සේ යම්සේ ආවාහුද වෙස්සභූ බුදුරජාණන් වහන්සේ යම්සේ ආවාහුද කකුසඳ බුදුරජාණන් වහන්සේ යම්සේ ආවාහුද කොණාගමන බුදුරජාණන් වහන්සේ යම්සේ ආවාහුද, කස්සප බුදුරජාණන්. වහන්සේ යම්සේ ආවාහුද (එපරිද්දෙන් ආවාහුය.)
මෙයින් කුමක් කියන ලද්දේ වේද යත් මේ සම්මා සම්බුද්ධයන් වහන්සේ යම් අභිනීහාරයකින් පැමිණි සේක් ද ඒ අභිනීහාරයෙන්ම (පැතුමෙන්ම) අප භාග්යවතුන් වහන්සේද පැමිණි සේක. නැතහොත් යම්සේ විපස්සි බුදුරජාණන් වහන්සේ -පෙ- කාශ්යප බුදුරජාණන් වහන්සේ, දාන-සීල-නෙක්ඛමම -පඤ්ඤා-විරිය-ඛන්ති-සච්ච-අධිට්ඨාන-මෙත්තා-උපෙක්ඛා යන දස පාරමිතා ද දස උපපාරමිතා ද, දසපරමත්ථ පාරමිතා ද යන සමතිස් පෙරුදම් පුරා, අංග, නයන, ධන, රාජ්ය, පුත්තදාර යන පඤ්චමහා පරිත්යාගයක් කොට පුබ්බයෝග, පුබ්බාචරියා, ධම්මකථා, ඤාතත්ථ චරියා යනාදිය සම්පූර්ණ කොට බුද්ධ චරියාවගේ කෙළවරට පැමිණ ආසේක් ද එපරිද්දෙන් අප භාග්යවතුන් වහන්සේ ද ආ සේක.
යළිදු යම්සේ විපස්සි බුදුරජාණන් වහන්සේ -පෙ- කාශ්යප බුදුරජාණන් වහන්සේද සතර සතිපට්ඨානයන්ද, සතර සම්මප්පධාන, සතර ඉද්ධිපාද, පඤ්චඉන්ද්රිය, පඤ්චබලය, සත්තබොජ්ඣංග, අරිය අට්ඨංගික මග්ග (යන මේ ධර්ම) උපදවා වඩා ආ සේක් ද, එපරිද්දෙන් අප භාග්යවතුන් වහන්සේ ද ආ සේක. මෙසේ තමා ආගත නුයි තථාගත නම් වන සේක.
යථෙව ලොකම්හි විපසසි ආදයො
සබ්බඤ්ඤු භාවං මුනයො ඉධාගතා
තථා අයං සක්ය මුනීපි ආගතො
තථාගතො වුච්චති තෙන චක්ඛුමා
සබ්බඤ්ඤු භාවං මුනයො ඉධාගතා
තථා අයං සක්ය මුනීපි ආගතො
තථාගතො වුච්චති තෙන චක්ඛුමා
(යම් පරිද්දකින් මේ ලෝකයෙහි විපසසි ආදි වූ බුදුවරු බුදුබවට පැමිණියාහු ද එපරිද්දෙන් මේ ශාක්යමුනි තෙමේද බුදුබවට පැමිණියේය. ඒ කරුණින් පසැස් ඇති භාග්යවත් තෙම තථාගත යයි කියනු ලැබේ.)
මෙසේ එපරිද්දෙන් ආයේනුයි තථාගත නම් වේ.
(2) කෙසේ තථාගත තෙම එසේ ගියේනුයි තථාගත නම් වූයේද? නැතහොත් විපස්සි භාග්යවතුන් වහන්සේ -පෙ- කාශ්යප භාග්යවතුන් වහන්සේ එසේම අප ශාක්යමුනි භාග්යවතුන් වහන්සේ ද වැඩි සේක.
උන්වහන්සේ කෙසේ ගිය සේක් ද? මෙසේ දතයුතුයැ. ඒ කාශ්යප මුනීන්ද්රියන් වහන්සේ උපන් ඇසිල්ලෙහි සම පාදයෙන් පොළොවෙහි පිහිටා උතුරු දෙසට අභිමුඛව සත්පියවරක් වැඩිසේක් ද, යම්සේ වදාළ සේක් ද, “සම්පති ජාතො ආනන්ද, බොධිසත්තො සමෙහි පාදෙහි පතිට්ඨහිත්වා උත්තරෙන මුඛො සත්තපද වීතිහාරෙ ගච්ඡති සෙතම්හි ඡත්තෙ අනුභීරමානෙ සබ්බාච දිසා අනුවිලොකෙති ආසභිඤ්ච වාචං භාසති අග්ගො හමස්මි ලොකස්ස ජෙට්ඨො හමස්මි ලොකස්ස සෙට්ඨො හමස්මි ලොකස්ස අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවො” යනුවෙන් වදාළහ.
(ආනන්දය, එකෙනෙහි උපන් බෝසත් තෙම සම පයින් පොළොවෙහි පිහිටා උතුරු දෙසට අභිමුඛ වූයේ දිව්යමය සේසත් ධරනු ලබන කල්හි සත් පියවරක් වඩියි. දසදිගුන් ද අනුවිලෝකනය කෙරෙයි. අභීත වචන කියන්නේ, මම ලොවට අග්ර වෙමි. මම ලොවට දෙටු වෙමි. මම ලොවට සෙටු වෙමි. මේ අන්තිම ජාතිය වන්නීය. යළි පුනර්භවයක් නැත. යනුවෙන් වදාළහ.)
බෝසතාණන්ගේ එම ගමනද නොයෙක් විශේෂ ගුණයන්ගේ අවබෝධයට පෙරනිමිති බැවින් සත්ය වූයේ ද වෙයි. නිබොරු වූයේ ද වෙයි. ඒ බෝසතුන්ගේ උපන් ඇසිල්ලෙහි පා දෙක සමව පොළොවෙහි පිහිටීම යන යමක් ඇද්ද මේ කරුණ ඔහුගේ සතර සෘද්ධිපාද ප්රතිලාභයට පෙරනිමිති වෙයි. උතුරු දෙසට අභිමුඛ බව මුළු ලොවටම උතුම් බවට පෙරනිමිති වේ. සත්පියවරක් ගමන් කිරීම සත්ත බොජ්ඣංග ප්රතිලාභයට පෙරනිමිති වේ.
සුවණ්ණ දණ්ඩා වීතිපතන්ති චාමරා යන මෙහි චාමර එසවීම වූ කලී සියළු තීර්ථකයන් මැඩීම දක්වන පෙරනිමිතිය. සේසත් දැරීම, රහත්ඵල විමුත්ති නමැති උතුම් නිර්මල සේසතක් හුගේ ප්රතිලාභයට පෙරනිමිති වේ. සියලු දිසා විලෝකනය සර්වඥතා ඥානය හා අනාවරණ ඥාන ප්රතිලාභයට පෙරනිමිති වෙයි. අභීත නාද පැවැත්වීම කලින් කිසිවෙක් නොපැවැත් වූ උතුම් දම්සක් පැවැත්වීමට පෙරනිමිති වේ. එපරිද්දෙන් මේ භාග්යවත් තෙමේ ද වැඩි සේක. ඒ ගමන විශේෂ අධිගමයන්ට පෙරනිමිති බැවින් මෙය සත්ය විය. නිබොරු විය. එයින් කීහු පෝරාණයෝ,
මුහුත්ත ජාතොව ගවම්පතී යථා, සමෙහිපාදෙහි වාසී වසුන්ධරං
සො වික්කමී සත්තපදානි ගොතමො, සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරු
සො වික්කමී සත්තපදානි ගොතමො, සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරු
ගනත්වාන සො සත්ත පදානි ගොතමො, දිසා විලොකෙසි සමා සමන්තතො
අට්ඨංගුපෙතං ගිරමබ්භූදීරයි, සීහො යථා පබ්බතමුද්ධනිටඨිතො යනුවෙන්
අට්ඨංගුපෙතං ගිරමබ්භූදීරයි, සීහො යථා පබ්බතමුද්ධනිටඨිතො යනුවෙන්
(ඒ ගෞතම බෝසත් තෙම උපන් මොහොතක් ඇත්තේ ම වෘෂභ රාජයෙකු මෙන් සම වූ පාද යුගයෙන් පෘථිවිය ස්පර්ශ කළේය. සත් පියවරක් ගියේය. දෙවියෝ සුදු කුඩයක්ද දැරූහ.)
(ඒ ගෞතමයන් වහන්සේ සත්පියවරක් ගොස් හාත්පස සමාන වූ සියලු දිගුන් බැලූහ. පර්වත මුදුනෙහි සිටි සිංහයෙකු මෙන් අංග අටකින් යුක්ත වූ තෙපුල් ප්රකාශ කළහ.)
මෙසේ තථාගතනුයි තථාගත නම් වේ.
නැතහොත් යම්සේ විපස්සි බුදුරජාණන් වහන්සේ -පෙ- යම් සේ කාශ්යප බුදුරජාණන් වහන්සේ වැඩිසේක් ද, එසේ මේ භාග්යවතුන් වහන්සේ ද නෛෂ්ක්රම්යයෙන් කාමච්ඡන්දය ප්රහාණය කොට ගිය සේක. අව්යාපාදයෙන් ව්යාපාදයද, ආලෝක සඤ්ඤාවෙන් ථීනමිද්ධය ද, නොවිසුරුණු බැවින් උද්ධච්ව කුක්කුච්චය ද ධර්ම වවත්ථානයෙන් විචිකිච්ඡාව ද ප්රහාණය කොට වැඩි සේක. ඥානයෙන් අවිද්යාව ප්රදාලනය කොට වැඩි සේක. ප්රමෝදයෙන් අරතිය දුරුකොට ප්රථම ධ්යානයෙන් නීවරණ කවාටය උදුරා දෙවන ධ්යානයෙන්, විතක්ක, විචාර නමැති ධූමය උපසමනය කොට තුන්වන ධ්යානයෙන් ප්රීතිය දුරුකොට හතරවන ධ්යානයෙන් සුවදුක් පහකොට, ආකාසානඤ්චායතන සමාපත්තියෙන්, රූප සංඥා, ප්රතිඝ සංඥා, නානත්ව සංඥාවන් ඉක්මවා, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතන සංඥාවද, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සංඥාවද, නෙවසඤඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඉක්මවා ගියහ.