9. මට්ටකුණ්ඩලී විමාන වර්ණනා
අලංකතො මට්ට කුණ්ඩලී යනුවෙන් මට්ටකුණ්ඩලී විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන කල්හි ආඪ්‍ය වූ, මහත් සම්පත් ඇති, ධනවත්, සැදැහැ නැති, පැහැදීමක් නැති, මිථ්‍යාදෘෂ්ටි ගති ඇති කිසිවෙකුට කිසිවක් නොදෙන බ්‍රාහ්මණයෙක් සැවැත්නුවර සිටියේය. හේ කිසිවකුට කිසිවක් නොදෙන බැවින්ද නො දුන් බැවින් ද, අදින්න පුබ්බක නමින් හැඳින්වීය. හෙතෙම මිථ්‍යාදෘෂ්ටික බැවින්ද ලෝභී බැවින් ද, තථාගතයන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේලා දකින්නටවත් නො කැමැතියේය. තමන්ගේ පුත් මට්ටකුණ්ඩලීට ද මේ උපදෙස්ම දුන්නේය. පුත්‍රය, ඔබ විසින් තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයන් හෝ නො හමුවිය යුතුය. ඔවුන් වෙත ඔබ නොයා යුතුය. හෙතෙමේ ද එසේම කළේය. ඉක්බිත්තෙන් ඒ පුත්‍රයා එක් දවසක් අසනීප විය. බ්‍රාහ්මණ පියා මුදල් වියදම් වන්නේය යන බියෙන් පුතාට වෛද්‍යවරයකු ලවා වෙදකම් නො කළේය. රෝගය අසාධ්‍ය වූ විට වෙදෙකු ගෙන්වා රෝගියා පෙන්වීය. වෛද්‍යවරයා රෝගියා පරික්ෂාකොට අසාධ්‍ය වූ රෝගියාට දැන් කළයුතු පිළියමක් වෙදකමක් නැතැයි ආපසු ගියේය. පුතා ගේ තුළ මියගිය විට බැහැර කිරීම දුකක් වන්නේ යයි ද, අවමඟුලට එන උදවිය තමන්ගේ ධනය දකීවියි ද සිතු බමුණා ලෙඩ වූ තම පුතා බිහිදොර කොටුවෙහි හොවා තැබීය.
භාග්‍යවතුන් වහන්සේ එදින රාත්‍රිය ඉක්ම වූ අලුයම් කාලයෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගී ලොව බලද්දී මට්ටකුණ්ඩලී මාණවකයා ආයුෂ අවසන් වී සිටින බව ද, මරණ දොරටුවේ සිටින බව ද ඔහුට නිරයට වැටීමට ඉඩ ලැබෙන බව ද දුටු සේක. සර්වඥයන් වහන්සේ ඉදින් මම එහි යන්නෙම් නම් ඒ මට්ටකුණ්ඩලී මා වෙත සිත පහදවා දෙව්ලොව උපදී. ආදාහන ස්ථානයේ හඬන පියා වෙතට පැමිණ ඔහු සංවේගයට පමුණුවන්නේය. මෙසේ ඔහු ද ඔහුගේ පියා ද මා වෙතට පැමිණෙත්. මහජනයා ද රැස්වෙති. එහි දී මා දහම් දෙසූ කල්හි මහත්ම ධර්මාවබෝධය වන්නේ යයි මෙසේ දැන පෙරවරුයෙහි හැඳ පෙරවා පා සිවුරු ගෙන බොහෝ වූ භික්ෂු සංඝයා සමග සැවැත් නුවර පිඬු පිණිස පිවිස මට්ටකුණ්ඩලී මානවකයාගේ පියාගේ නිවස අසල සිට සවණක් බුදුරැස් විහිදුවීය. මානවක තෙමේ එය දැක මේ කිමෙක්දැයි ඔබමොබ බලන්නේ දමනය වූ රක්නා ලද ඉඳුරන් ඇති දෙතිස්මහ පුරුෂ ලකුණෙන් හෙබි අසූ අනූ ව්‍යඤ්ජනයන්ගෙන් යුත් බඹයක් පමණ වූ දුර ප්‍රභාවය ඇතිකරන කේතුමාලායෙන් ද බබළන අනුපම බුද්ධශ්‍රීයෙන් ද නොමිනිය හැකි බුද්ධානුභාවයෙන් ද, බබළන සර්වඥයන් වහන්සේ දුටුවේය. බුදුරදුන් දුටු ඔහුට මෙසේ සිතිණ. මෙහි මේ පැමිණ සිටින්නේ බුදුන් වහන්සේ නොවේද, යමෙකුට මේ රූප සම්පත්තිය වේද, හෙතෙමේ තමාගේ තේජසින් සූර්යයා ද කාන්තියෙන් චන්ද්‍රයා ද උපශාන්ත භාවයෙන් සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ද අභිභවනය කරයි. සන්සිඳීම් වශයෙන් මෙසේ සිදුවිය හැකිය. මෙලොව අග්‍ර පුද්ගලයාට මුන්වහන්සේ යයි සිතමි. මටම අනුකම්පාවෙන් මෙහි පැමිණියා වන්නේය යනුවෙන් බුදුන් වහන්සේ කෙරෙහි හටගත් ප්‍රීතියෙන් අතරක් නැතිව පැතිරුණු ශරීර ඇත්තේ අනල්ප වූ ප්‍රීති සොම්නස් වින්දනය කරමින් පහන් සිත් ඇතිව, ඇඳිලි බැඳ වැඳහොත්තේය. එය දැක භාග්‍යවතුන් වහන්සේ මොහුට ස්වර්ගයට පැමිණීම සඳහා මෙපමණක්ම සෑහේ යයි දැන ඉවත්ව වැඩියහ.
මට්ටකුණ්ඩලී තෙමේ ද සතුට සොම්නස් පහන් සිත අත් නොහැරම කළුරියකොට තව්තිසාවෙහි දොළොස් යොදුන් විමනෙක උත්පත්තිය ලදහ. ඔහුගේ පියා මළ සිරුරට කළයුතු සත්කාර කොට අහෝ මට්ටකුණ්ඩලී, අනේ මට්ටකුණ්ඩලී කියමින් වැළපෙමින් ආදාහන ස්ථානය වටා හඬමින් වැළපෙමින් ඇවිදියි. දිව්‍ය පුත්‍ර තෙමේ තමාගේ වස්තු සම්පත්තිය බලා මම කිනම් පුණ්‍යකර්මයකින් කොතැනක සිට මෙහි පැමිණියේ දැයි බලන්නේ තමන්ගේ පූර්වාත්මභාවය දැක එහි දී මරණ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැවති චිත්ත ප්‍රසාදය ඇඳිලි බැඳ වැඳීම ආදිය දැක අහෝ භාග්‍යවත් බුදුන් වහන්සේලා මහානුභාව ඇත්තාහු යයි තථාගතයන් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදීම් හා බුහුමන් උපදවා ගත්තේය. තවද අදින්න පුබ්බක නම් බමුණා කුමක් කරන්නේ දැයි සලකනුයේ, ඔහු ආදාහන මළුවෙන් හඬනු දැක මෙ තෙමේ පෙර මා හට බෙහෙත් පවා නොකොට දැන් ප්‍රයෝජනයක් නැතිව හඬයි. ඔහු සංවේගයට පමුණුවා කුසලයෙහි පිහිටුවන්නේ නම් යහපතැයි සිතා දෙව්ලොවින් අවුත් මට්ටකුණ්ඩලී රූපයෙන් යුතුව හඬමින් අහෝ සඳ! අහෝ හිරු! යයි කියමින් අත් උඩට ඔසවා හඬමින් පියා සමීපයේ සිටියේය. ඉක්බිති බ්‍රාහ්මණ තෙමේ මේ මට්ටකුණ්ඩලි පැමිණියේ වනැයි සිතා, ගාථාවකින් ඔහුට මෙසේ කීය.