10. සේරිස්සක විමාන වර්ණනා
සුණොථ යක්‍ඛස්ස ච වාණිජාන ච යනුවෙන් ඇරඹෙන සේරිස්සක විමාන වස්තුවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පන්සියයක් භික්‍ෂූන් සමග සෙතව්‍ය නගරයට පැමිණි කුමාර කාශ්‍යප රහතන් වහන්සේ එහිදී තමා වෙත පැමිණි පායාසි නම් රාජවංශිකයා ඔහුගේ විපරීත තත්ත්වයෙන් වෙන් කරවා සම්‍යග් දර්ශනයෙහි පිහිටුවාලූහ. එතැන් පටන් පින් කරන්නෙක් වී ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට දන්දෙන්නා වූ හෙතෙම පුරුදු නැති බැවින් සකස් නොකොට (මනා පිළිවෙළින් තොරව) දන් දී පසුකල්හි කළුරියකොට චාතුර්මහාරාජික භවනයෙහි ශුන්‍යය වූ සෙරිස්සක (මහරි) නම් වූ විමානයෙහි උපන්නේය.
අතීතයෙහි කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි එක් රහත් තෙරුන් වහන්සේ නමක් එක්තරා ගමක පිඬු පිණිස හැසිර ගමෙන් බැහැර එක් පෙදෙසක දිනපතා ආහාර කිස කළහ. එය දුටු එක් ගව පාලකයෙක් ආර්යයන් වහන්සේ හිරු රැසින් වඩා විඳිතියි පහන් සිත් ඇතිව මහරි තණ සතරකින් අතු මඩුවක් තනා දුන්නෝය. මඩුව අසලමහරි ගස් රෝපණය කළේ යයි ද කියත්. හෙතෙම කළුරියකොට ඒ පින්කමෙන්ම චාතුර්මහා රාජිකයෙහි උපන්නේය. ඔහුගේ පූර්ව පුණ්‍යකර්මය හෙළි කරමින් විමානයේ දොරටුවෙහි වර්ණයෙන් සුවඳින් යුත් මල්වලින් සියලු කල්හිම ශෝභමාන වන්නා වූ මහරි ගස් උයනක් පහළ විය. ඒ නිසා ඒ විමානය සෙරිස්සක (මහරි විමානය) යයි හැඳින්වූහ. ඒ දිව්‍යපුත්‍ර තෙමේද එක් බුද්ධාන්තරයක් දිව්‍ය ලෝකයෙහි ද මනුෂ්‍ය ලෝකයෙහි ද සැරිසරනුයේ මේ බුද්ධෝත්පාදයෙහි ‘යස’ තෙරුන්ගේ විමල ආදී ගිහි මිතුරන් සිවුදෙනා අතුරෙහි ගවම්පති නමින් ඉපදී භාග්‍යවතුන්ගේ දහම් දෙසුමෙන් අර්හත් ඵලයෙහි පිහිටියේ පෙර පුරුදු බව නිසා ඒ හිස් විමන දැක නිතර දිවා විහරණය සඳහා යන්නේය.
ඒ තෙරණුවෝ පසුකලෙක එහි පායාසි නම් දිව්‍යපුත්‍රයා දැක ‘ඇවැත්නි, ඔබ කවරෙක්දැ’යි විචාරා ඔහු විසින් ‘ස්වාමීනි, මට පායාසි නම් රාජ ඥාතිවරයා මෙහි උපනිමියි කියන ලද කල්හි ඔබ මිථ්‍යාදෘෂ්ටික වූවා නොවේද? වූයේ විපරීත දර්ශන සහිත වූයේ නොවේද? කෙසේ නම් එහි උපන්නෙහිදැයි ඇසූහ. ඉක්බිති පායාසි දේවපුත්‍රයා උන්වහන්සේට මෙසේ කියා ආර්ය වූ කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ විසින් මිථ්‍යාදෘෂ්ටියෙන් වෙනස් කරගන්නා ලද්දෙමි. පින් කිරීමේදී එය මනාව නොකිරීමේ හේතුවෙන් හිස් වූ විමානයෙක උපනිමි. ස්වාමීනි, ඔබවහන්සේ මිනිස් ලොවට ගිය කල්හි පායාසි රාජ්‍යයා නොමනා ලෙස දන් දී (එහි ඵලය වශයෙන්) හිස් වූ (මහරී) සෙරිස්සක විමානයෙක්හි උපන්නෝ යයි ද ඔබ මනාලෙස පින්කොට එහි ඉපදීමට ප්‍රාර්ථනා කරන්න යයි ද මාගේ පිරිවර ජනයාට කියන්න යයි ඉල්ලා සිටියේය. තෙරණුවෝ ඔහුට අනුකම්පාවෙන් එසේ කළහ. ඔව්හු ද තෙරුන්ගේ වචනය අසා ඒ අයුරින් සිත යොදවා පින්කොට සෙරිස්සක (මහරි) විමානයෙහි උපන්හ. වෛශ්‍රවණ මහරජ තෙමේ වැලිකතරෙහි සෙවණ හා ජලය රහිත මාර්ගයෙහි මගට පිළිපන් මිනිසුන් අමනුෂ්‍ය උපද්‍රවවලින් මුදාගැනීම පිණිස සෙරිස්සක දේවපුත්‍රයා (මහරි දේවපුත්‍රයා) මාර්ගාරක්‍ෂකයෙකු ලෙස පිහිටුවිය.
ඉක්බිති පසුකලෙක අංග මගධ දේශයන්හි වැසි වෙළෙන්දෝ ගැල් දහසක් භාණ්ඩවලින් පුරවා සින්දු සෙන්විර දේශයට යන්නාහු වැලිකතරෙහි දහවල්හි උෂ්ණයට බියෙන් මගට නොබැස රාත්‍රියෙහි තරු සලකුණෙන් මගට පිළිපන්හ. ඔවුහු මංමුළා වී අන් දේශයකට ගියහ. ඔවුන් අතරෙහි ශ්‍රද්ධාවන්ත වූ තෙරුවනෙහි පැහැදුණා වූ සිල්වත් වූ රහත් බවට පැමිණීමට හේතුසම්පත් ඇත්තා වූ මව්පියන් හට උවටැන් කරනු පිණිස වෙළඳාමට ගියා වූ එක් උපාසකවරයෙක් විය. ඔහුට අනුග්‍රහ පිණිස සෙරිස්සක (මහරි) දිව්‍යපුත්‍රයා විමානය සමගම තමා දක්වා සිටියේය. දක්වා නුඹලා කුමක් හෙයින් සෙවන හා ජලය නැති මෙම වැලිකතරට පිළිපන්නහුදැයි විමසීය. ඔව්හු වනාහි එහි තමා පැමිණි සැටි කීහ. ඒ විස්තර දැක්වීම දේව පුත්‍රයාගේ ද වෙළෙඳුන්ගේ ද වචන හා ප්‍රතිවචන ගාථාවන් ද වේ. මුල් ගාථා දෙක වනාහි ඔවුන්ගේ සම්බන්ධය දැක්වීම පිණිස ධර්ම සංගායනා කාරකයන් වහන්සේලා විසින් කරන ලදි.