11. සුනික්ඛිත්ත විමාන වර්ණනා
උච්චමිදං මණිථූන විමානං ආදි වශයෙන් සුනික්ඛිත්ත විමාන වස්තුව දැක්වේ. එහි උත්පත්ති කථාව කවරේද? භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන විහාරයේ වැඩවාසය කරති. එසමයෙහි මහා මුගලන් තෙරණුවෝ ඉහත සඳහන් පරිද්දෙන් දෙව්ලෝ චාරිකාවන්හි යෙදෙමින් තව්තිසා දෙව්ලොවට වැඩමවූහ. එකෙණෙහිම එක්තරා දේව පුත්රයෙක් තමන්ගේ විමාන දොරකඩ සිටියේ ආයුෂ්මත් මුගලන් ස්ථවිරයන් දැක හටගත්තා වූ බහුමාන පුරස්සරව උන්වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ ඇඳිලි බැඳගෙන සිටියේය.
හෙතෙම වනාහි අතීතයේ කස්සප බුදුරදුන් පිරිනිවි කල්හි උන්වහන්සේගේ ශාරීරික ධාතු නිධන් කොට ඉදිකරන ලද යොදුනක් පමණ වූ රන්මය ස්ථූපයක් ඉදිරියේ සිව් පිරිස් කලින් කළ පැමිණ මල් සුවඳ දුම් ආදිය චෛත්යයට පූජා කරති. එසේ පුද පූජා පවත්වා ඔවුන් ගිය කල්හි ඉහත සඳහන් උපාසකයා එහි පැමිණ මල් පිදූ තැන්වල එම මල් විසිරී අපිළිවෙලින් තිබෙනු දැක එම මල් ගෙන මනාකොට මලසුන සරසා මල් පිළිවෙළින් දැකුම්කළු ලෙස මනාව විසිතුරු ලෙස තබා පූජා කොට යයි. එසේ කරන ඔහු එම පින්කම අරමුණු කරගනිමින් භාග්යවතුන් වහන්සේ නව අරහාදී බුදුගුණ සිහි කරමින් ප්රසන්න වූ සිතින් යුතුව ඒ පිංකම හදවතේ තැන්පත් කරගනී.
හෙතෙම ඉන්පසු කලෙක කලුරිය කොට එම කුශල කර්මයාගේ විපාක වශයෙන් තව්තිසා දෙව්ලොව දොළොස් යොදුන් රන් විමනෙක උත්පත්තිය ලැබීය. ඔහුගේ පිරිවර බොහෝ මහානුභාව දෙවිවරුන්ගෙන් සමන්විත විය. ඒ කාරණය සඳහා - ‘තස්මිං ඛණෙ අඤ්ඤතරො දෙවපුත්තො අත්තනො විමාන ද්වාරෙ ඨිතො ආයස්මන්තං මහා මොග්ගල්ලානං දිස්වා සඤ්ජාතගාරව බහුමානො උපසංකමිත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා අඤ්ජලිං පග්ගය්හං අට්ඨාසි’ යන්න ප්රකාශ කළේය.
ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ ඔහු ලද සම්පත් වර්ණනා කොට ඔහු විසින් කරන ලද සුචරිත කර්මයන් පිළිබඳ විමසීමක් මේ ගාථා මගින් විචාළහ.
එම්බා දිව්ය පුත්රය, වෛධූර්ය මාණික්යමය කුළුණු සහිත වූ හාත්පසින් දොළොස් ගව්වක් පමණ විශාල වූ සත්සියයක් කුළුගෙවලින් යුත් නොයෙක් රත්නයන්ගෙන් කරන ලද දොරකවුළු බිත්ති ඇති තොපගේ විමානය ඉතා ශෝභාමත්ව දිළිසෙයි.
ඔබගේ විමානයේ පරිවාර දේවතාවෝ බොහෝ වෙති. ඒ අය දිව්ය ඕජසින් යුත් ආහාරපාන වර්ගයක් කති. බොති. එසේම අනුන්ට සත්කාර කරති. පංචාංගික තූර්ය භාණ්ඩ ගත් දේවතාවෝ අත්යාලංකාර ලෙස සැරසී නටත්. ගී කියත්. පංචකාම සම්පත් විඳිමින් සතුටින් සිටිත්. දිව වෙණ මිහිරි ලෙස වාදනය කරති.
මේ වැනි ශරීර වර්ණයක් ද මෙවැනි සම්පත් ද මහත් සෘද්ධි අනුභාවයන් ද ලබන්නට ඔබ මිනිස් ලොව මිනිසකුව සිට කිනම් කුසල කර්මයක් කළේද කිනම් කුසලයකින් මෙවැනි ජෝතිමත් වර්ණයක් හා සියලු දිසා බබුළුවන ප්රභාවක් ලැබීද?
මුගලන් තෙරුන් විසින් අසන ලද ප්රශ්නයට පිළිතුරු වශයෙන් ඒ දේවපුත්රයා මේ ගාථා කීහ. එය දක්වන්නා වූ සංගීති කාරකයා මෙසේ ප්රකාශ කළහ.
ඒ දේවපුත්රයා මුගලන් හිමි විසින් තමන්ගෙන් විමසන ලද ප්රශ්න විසඳමින් තමන් විසින් කළ කර්ම මෙසේ ප්රකාශ කළේය.
මම මිනිස් ලොව සිටියදී කාශ්යප බුදුන්ගේ ධාතු නිදන් කරන ලද දාගැබක් සමීපයට ගොස් අපිළිවෙළට තිබූ මල් පිළිවෙළට තබා සුගතයන් වහන්සේගේ බුදුගුණ සිහිකරමින් මහත් සතුටක් වින්දෙමි.
එම කුශලය හේතුවෙන් මේ සා සම්පත් ද, මෙවැනි වර්ණයක් ද මෙවැනි ප්රභාවයක් ද ලදිමි.
එහි දුන්නික්ඛිත්තං මාලං චෛත්යයේ මල් පූජා කරන තන්හි නිතර නිතර පූජා කරන මල් සුළඟින් එහා මෙහි විසිරී බිම වැටී තිබෙන මල් සුනික්ඛිපිත්වා මනාව සකස්කොට විශේෂයෙන් දර්ශනීය ලෙස පැහැ එලවන ලෙස තැන්පත් කළේය. පතිට්ඨපෙත්වා භක්ති ප්රණාම පූර්වකව විශේෂයෙන් මල් පිහිටුවා ඒ මල් පිදුවා වූ චෛත්යය පිළිබඳව මගේ සන්තානයේ කුසල ධර්ම පිහිටුවා මෙසේ මෙහි අර්ථ දැක්විය යුතු සෙස්ස පෙර සඳහන් පරිදිය.