විමානවත්‍ථු අටුවාව
ආරම්භක ප්‍රකාශනය
1. මහා කාරුණිකං නාථං ඤෙය්‍ය සාගර පාරගුං
වන්‍දෙ නිපුණ ගම්භීර විචිත්‍ර නය දෙසනං
වන්‍දෙ නිපුණ ගම්භීර විචිත්‍ර නය දෙසනං
මහා කාරුණික වූ, සතහට පිහිට වන්නා වූ, දතයුතු දෙය නමැති සයුරෙහි පරස්පෙරට පැමිණියා වූ ගැඹුරු ලෙස හා විසිතුරු ලෙස පිළිවෙළ සහිතව දහම් දෙසන්නා වූ (ඒ සර්වඥයන් වහන්සේ) වඳිම්.
2. විජ්ජාචරණ සම්පන්නා යෙන නීය්‍යන්ති ලොකතො
වන්‍දෙ තමුත්තමං ධම්මං සම්මා සම්බුද්ධ පූජිතං
වන්‍දෙ තමුත්තමං ධම්මං සම්මා සම්බුද්ධ පූජිතං
යම් ධර්මයක් විසින් අෂ්ටවිධ විද්‍යාවන්ගෙන් ද පසළොස් වැදෑරුම් චරණ ධර්මයන්ගෙන් ද යුක්ත වූ උත්තමයෝ ලෝකයෙන් ලෝකෝත්තර බවට පමුණුවනු ලැබෙත් ද, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් පුදනු ලැබුවා වූ ඒ උත්තම වූ ධර්මය වඳිම්
3. සීලාදි ගුණ සම්පන්නො ඨිතො මග්ග එලෙසුයො
වන්‍දෙ අරිය සංඝං තං පුඤ්ඤක්‍ඛෙත්තං අනුත්තරං
වන්‍දෙ අරිය සංඝං තං පුඤ්ඤක්‍ඛෙත්තං අනුත්තරං
සීලාදි ගුණයන්ගෙන් යුක්ත වූ, මාර්ග ඵලයන්හි පිහිටියා වූ යම් ආර්ය සංඝ කෙනෙක් වෙත් ද, පින් කෙතක් වූ අතිශයින් උතුම් වූ ආර්ය සංඝයා වඳිම්.
4. වන්‍දනා ජනිතං පුඤ්ඤං ඉති යං රතනත්තයෙ,
හතන්තරායො සබ්බත්‍ථ හුත්‍වාහං තස්ස තෙජසා
හතන්තරායො සබ්බත්‍ථ හුත්‍වාහං තස්ස තෙජසා
මෙසේ රත්නත්‍රය වන්දනා කිරීමෙන් උපන්නා වූ යම් පිනක් වේද, ඒ (පිනෙහි) තේජසින් මෙම සියලු තැන්හි නසන ලද අනතුරු ඇත්තෙක් වී (හෙවත් අනතුරුවලින් තොර වී)
5. දෙවතාහි කතං පුඤ්ඤං යං යං පුරිම ජාතිසු
තස්ස තස්ස විමානාදි ඵල සම්පත්ති භෙදතො
තස්ස තස්ස විමානාදි ඵල සම්පත්ති භෙදතො
දේවතාවන් විසින් පූර්ව උත්පත්තීන්හි දී කරන ලද යම් යම් පුණ්‍ය කර්මයක් වේද, ඒ ඒ පින්කම් සඳහා (දිව්‍ය) විමාන ලාභ ආදී වූ විපාක ලැබීම් වශයෙන් විවිධ වූ,
6. පුච්ඡාවසෙන යා තාසං විස්සජ්ජන වසෙන ච
පවත්තා දෙසනා කම්මඵල පච්චක්‍ඛ කාරිණී
පවත්තා දෙසනා කම්මඵල පච්චක්‍ඛ කාරිණී
එම පුණ්‍ය ඵලයන් ප්‍රශ්න කිරීම් වශයෙන් ද (ඒවාට) පිළිතුරු සැපයීම් වශයෙන් ද කර්මඵල ප්‍රත්‍යක්ෂ කරවමින් පැවති යම් දේශනාවක් වීද,
7. විමානවත්‍ථු ඉච්චෙව නාමෙන වසිනො පුරෙ
යං ඛුද්දක නිකායස්මිං සංගායිංසු මහෙසයො
යං ඛුද්දක නිකායස්මිං සංගායිංසු මහෙසයො
පෙර විසූ මහ තෙරවරහු ඛුද්දක නිකායෙහි යම්කිසි කොටසක් (පෙර කියූ පැන විසඳුම් ඇතුළත් කොට) විමානවත්‍ථු යන නාමයෙන් සංගායනා කළාහුද,
8. තස්සාහමව ලම්බිත්‍වා පොරාණට්ඨ කථානයං
තත්‍ථ තත්‍ථ නිදානානි විහාවෙන්තො විසෙසතො
තත්‍ථ තත්‍ථ නිදානානි විහාවෙන්තො විසෙසතො
මම ඒ සංගායනාවෙහි එල්බගෙන ඒ ඒ කාරණාවන්හි හේතූන්, විශේෂ වශයෙන් පුරාණ අට්ඨකථා පිළිවෙල අනුව පැහැදිලි කරමින්,
9. සුවිසුද්ධං අසංකිණ්ණං නිපුණත්‍ථ විනිච්ඡයං
මහා විහාරවාසීනං සමයං අවිලොමයං
මහා විහාරවාසීනං සමයං අවිලොමයං
මහා විහාරවාසී (භික්‍ෂූන්ගේ) මතය වෙනස් නො කරමින් පිරිසිදු වූ (වෙනත් මතයක් හා) මිශ්‍ර නොවූ පැහැදිලි වූ අර්ථ විනිශ්චය කිරීමක්
10. යථාබලං කරිස්සාමි අත්‍ථ සංවණ්ණනං සුභං
සක්කච්චං භාසතො තං මෙ නිසාමයථ සාධවොකි
සක්කච්චං භාසතො තං මෙ නිසාමයථ සාධවොකි
(හෙවත්) මනා ලෙස අර්ථයන් විස්තර කිරීමක් ශක්ති ප්‍රමාණයෙන් කරන්නෙමි. සත් පුරුෂයෙනි, සකසා කියන්නා වූ මාගේ එම අර්ථ විස්තරයට සවන් දෙනු මැනවි.
විමානානි දෙවිවරුන්ගේ ක්‍රීඩා පිණිස හා වාසය පිණිස ඇති විසිතුරු වූ ස්ථානයන්ය. එම දෙවිවරුන්ගේ යහපත් ක්‍රියාවන්ගේ බලයෙන් උපන් ඒ ස්ථාන වනාහි යොදුන් එකක්, යොදුන් දෙකක් ආදී වෙනස් වෙනස් ප්‍රමාණයන්ගෙන් යුක්ත වන බැවින් ද, විවිධ රත්නයගෙන් බබළන විසිතුරු වර්ණ සලකුණු ආදී අතිශය ශෝභාවන්ගෙන් යුතුව විශේෂ ලෙස මානනීය (හෙවත් උත්තම) ස්වභාවයෙන් යුක්ත වන බැවින් ද ‘විමානානි’ යයි කියනු ලැබේ. විමානයන් පිළිබඳ කථාන්තර මෙහි දැක්වේය යන අදහසින් මෙය විමාන වත්‍ථු නම් වේ. පීඨං තෙ සොවණ්ණ මයං (ඔබේ අසුන රනින් කරන ලද්දක්ය) යන ආදී පිළිවෙළින් පවත්වන ලද දේශනාවට මෙය නිදර්ශන මාත්‍රයක්ද වන්නේය. ඒ දේවතාවන්ගේ රූප, වස්තු, පිරිවර ආදී සම්පත් ලබාදෙන කර්මයන් ඇසුරුකොට මේ දේශනාව පවත්වන ලද බැවින් ද කර්මයන්ගේ විපාක මැනගැනීමට හේතුවන බැවින් ද ‘විමාන වත්‍ථු’ යයි දත යුත්තේය.
ඒ මේ විමාන වස්තු දේශනාව කවරකු විසින් දේශනා කරන ලද්දේ ද? කොතැන්හිදී දේශනා කරන ලද්දේ ද? කවර දිනයෙක දේශනා කරන ලද්දේ ද? කුමක් හෙයින් දේශනා කරන ලද්දේ ද? යන කරුණු (මෙහිදී) කියනු ලැබේ. මේ විමාන වස්තුව ප්‍රශ්න කිරීම් වශයෙන් ද, ඒ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ද යන දෙ අයුරකින් පවතී. එහි දැක්වෙන පිළිතුරු ගාථා ඒ ඒ දෙවිවරුන් විසින් කියන ලද ගාථාවන්ය. ප්‍රශ්න කිරීමේ ගාථාවන්ගෙන් සමහරක් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලදී. සමහරක් ශක්‍ර ආදී (දෙවිවරු) විසින් ද, තවත් සමහරක් ශ්‍රාවක තෙරුන් වහන්සේලා විසින් ද කියන ලද්දේය. එහිදී ද බෙහෙවින්ම යම් ඒ ශ්‍රාවකයන් වහන්සේ නමක් ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් තුළ භාග්‍යවත් බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක පදවියක් සඳහා පුණ්‍ය ඥාන සම්භාරයන් රාශියක් රැස්කරන්නාහු අනුපිළිවෙලින් ශ්‍රාවක පාරමිතාවන් සම්පූර්ණ කොට (ඉද්ධි විධ, දිබ්බ සොත, පරචිත්ත විජානන, පුබ්බෙ නිවාසානුස්සති, දිබ්බචක්‍ඛු, ආසවක්‍ඛය කර යනුවෙන් හැඳින්වෙන ඡලභිඤ්ඤා හෙවත්) විශිෂ්ට ඥාන සය ද, (අත්‍ථ, ධම්ම, නිරුත්ති, පටිභාණ යනුවෙන් හැඳින්වෙන) ප්‍රතිසම්භිදා ඥාන සතරද යන ආදී ගුණ විශේෂයන් පිරිවරකොට ඇති සියලු පාරමිතා ඥානයන්හි මස්තකප්‍රාප්ත වූ සේක් ද, දෙවන අග්‍ර ශ්‍රාවක පද්‍යයෙහි පිහිටියාහු භාග්‍යවතුන් වහන්සේ විසින් ඍද්ධිමතුන් අතරෙහි අග ස්ථානයෙහි පිහිටුවනු ලැබූ සේක් ද, උන්වහන්සේ නම් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේය. (මෙම විමාන වත්‍ථුවෙහි) බොහෝ කොටසක් උන්වහන්සේ විසින් දේශනා කරන ලදී.
ලෝකවාසීන් හට හිත පිණිස දිව්‍යලෝක චාරිකාවෙහි හැසිරෙන උන්වහන්සේ විසින් පළමු කොට දෙව්ලොව දෙවියන් හට ප්‍රශ්න කිරීම් වශයෙන් ද, නැවත එතැනින් මිනිස් ලොවට පැමිණ මිනිසුන් හට පින්පල ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස ද, ප්‍රශ්න කිරීම් හා පිළිතුරු දීම් එක්තැන් කොට භාග්‍යවතුන් වහන්සේට (පළමුව) දැනුම් දී සිට (පසුව) භික්‍ෂූන් වහන්සේ හට කියන ලදී. ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ප්‍රශ්න කිරීම් වශයෙන් ද, දෙවිවරුන් විසින් පිළිතුරු දීම් වශයෙන් ද කියන ලද්දේ නමුදු (එම ප්‍රකාශයන්) මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේගේ දේශනාවන් වන්නේමය. මෙසේ තෙරුවරුන් විසින් ද, දෙවිවරුන් විසින් ද අසන ලද ප්‍රශ්න ලෙසින් සහ දෙවිවරුන් විසින් ඒවාට සපයන ලද පිළිතුරු ලෙසින් දක්වමින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානයන්හි දී කරන ලද දේශනා පසුව ධර්ම විනය සංගායනා කරන ධම්ම සංගාහක (මහ තෙරවරුන්) විසින් එක්තැන් කොට විමාන වත්‍ථු යනුවෙන් සංග්‍රහකට නඟන ලදී. මේ වනාහී මෙහි ‘කෙන භාසිතං’ (කවරකු විසින් කියන ලද්දේ ද? යන ආදී පදයන් හට ලුහුඬින් ද අවිශේෂ වශයෙන් ද දිය. හැකි පිළිතුරයි.)
විස්තර වශයෙන් වනාහී ‘කෙන භාසිතං’ (කවරකු විසින් කියන ලද්දේ ද යන පදයට අනොමදස්සි නම් භාග්‍යවතුන් වහන්සේගේ පාදමූලයෙහි දී කරන ලද ප්‍රාර්ථනයෙහි පටන් (මුගලන්) මහතෙරුන් වහන්ගේ ආගමනීය පටිපදාව (හෙවත් පැමිණීමේ පිළිවෙළ) කිවයුතු වේ. ඒ පිළිවෙළ වනාහී ආගමට්ඨ කථාවන්හි ඒ ඒ ස්ථානයන්හිදී විස්තර කරන ලද්දේය. එය එහි දැක් වූ පිළිවෙළින්ම දතයුතුය. විශේෂ වශයෙන් වනාහී ‘කත්‍ථ භාසිතං’ යන ආදී පදයන් හට පිළිතුරු ඒ ඒ විමානයන් පිළිබඳ අර්ථ වර්ණනාවන්ගේ පිළිවෙළින්ම පැමිණෙන්නේ ය.
ඇතැම්හු මෙසේ පවසති. (කෙසේ ද යත්?) ‘එක්තරා දිනයෙක හුදෙකලාව විවේකීව විසූ මහා මොග්ගල්ලානයන් වහන්සේට මෙබඳු සිතුවිල්ලක් අදහසක් උපන්නේය.’ ‘මෙකල්හි වනාහී මනුෂ්‍යයෝ වස්තු සම්පත්තියෙන් ද ක්‍ෂේත්‍ර සම්පත්තියෙන් ද තොර වූවෝ නමුදු, තමාගේ සිත් පහදවා ගැනීම නමැති සම්පත්තියෙන් ඒ ඒ (විවිධ වූ) පින්කම් කොට දෙව්ලොව උපන්නාහු මහත් වූ සම්පත් අනුභව කරත්. ඉදින් මම දිව්‍යලෝක චාරිකාවෙහි යෙදෙමින් ඒ දේවතාවන් කාය සාක්ෂිකොට (හෙවත් කායික වශයෙන්) දර්ශනය කොට) ඔවුන් විසින් පින් රැස් කළ අයුරු ද, පිල අනුභව කරන අයුරු ද ඔවුන් ලවාම කියවා ඒ තොරතුරු භාග්‍යවතුන් වහන්සේ කියන්නෙම් නම් සුදුසු වන්නේය. මෙසේ වන කල්හි ශාස්තෲන් වහන්සේ මා ලවා ආකාශ තලයෙහි පූර්ණ චන්ද්‍රයා ඔසවා තබන්නාක්හු මෙන් මිනිසුන් හට කර්මඵලය ප්‍රත්‍යක්‍ෂ ලෙස දක්වමින් සුලු වූ හෝ ක්‍රියාවන්ගේ හේතුවෙන් රැස් වූ ශ්‍රද්ධාව වශයෙන් හටගත් මහත් වූ ප්‍රතිඵල සහිත භාවය ප්‍රකාශ කරන්නා වූ ඒ ඒ විමාන වස්තුව අර්ථෝත්පත්ති කොට ගෙන (හෙවත් එම කරුණ මුල්කොට ගෙන) උතුම් වූ ධර්ම දේශනයක් පවත්වන්නාහ. ඒ දේශනාව බොහෝ වූ දිව්‍ය මනුෂ්‍ය ජනතාවගේ ප්‍රයෝජනය, යහපත, සුවය පිණිස පවතින්නේය’ යනුයි. මෙසේ සිතා උන්වහන්සේ අස්නෙන් නැගී රතුවන් දෙපට සිවුර හැඳ, අන්‍ය වූ රතු දෙපට සිවුරක් ඒකාංස කොටගෙන හාත්පසින් රත්හිරියල් දහරක් විසුරුවා හරින්නාක් මෙන් ද, සන්‍ධ්‍යා ලෝකයෙන් බබලන්නාක් මෙන් ද, ගමන්කරන අඤ්ජනවර්ණ පර්වතයක් මෙන් ද (පෙනෙමින්) භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ නමස්කාර කොට එකත්පසක හිඳිමින් තමාගේ අදහස දන්වා (ඒ අදහස) භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරනු ලැබූයේ හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට අභිඥා පාදක කොට ඇති සතරවන ධ්‍යානයට සමවැදී ඉන් නැගී සෘද්ධි බලයෙන් එකෙණෙහිම තව්තිසා භවනයට ගොස් ඒ ඒ තැන්හි ඒ ඒ දෙවිවරුන් විසින් රැකරන ලද පින්කම් (පිළිබඳව) විමසූහ. ඒ දෙවිවරු උන්වහන්සේ තමන්ගේ ඒ පින්කම් ගැන කීහ. ඉක්බිති මිනිස් ලොවට පැමිණ ඒ සියල්ල එහි පැවති පිළිවෙළින්ම භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. ශාස්තෲන් වහන්සේ විසින් එම කැරණු අනුමත කරන ලද්දේ විය. මෙසේ මේ කරුණ අර්ථෝත්පත්ති කොටගෙන, පැමිණි පිරිසට විස්තර වශයෙන් දහම් දෙසූහ යනුයි. (ඇතැමුන් පවසා ඇත්තේ යථෝක්ත ආකාරයෙනි.)