7. සුනික්ඛිත්ත වර්ගය
1. චිත්‍රලතාවිමාන වර්ණනා
යථා වනං චිත්තලතං පභාසති ආදී ගාථාවෙන් දැක්වෙනුයේ චිත්තලතා විමාන වස්තු විස්තරයයි. එහි උත්පත්ති කතාව කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩ වසති. ඒ කාලයෙහි සැවැත්නුවර එක්තරා උපාසක කෙනෙක් දිළිඳු වූයේ භෝග සම්පත් හීන වූයේ අනුන්ට බැළ මෙහෙවර කොට ජීවත් වෙති. හෙතෙම ශ්‍රද්ධාවන්තය. තුණුරුවන් කෙරෙහි ප්‍රසන්නය. වියපත් වූ මව්පියන් පෝෂණය කරන්නේ, ‘ස්ත්‍රීහු නම් පතිකුලයෙහි පිහිටියාට පසු ඉසුරු සම්පත් බොහෝසෙයින් බලාපොරොත්තු වෙති. වැඩිහිටි නැදි මයිලන්ට හෝ ස්වාමියාට නිසි සේ සත්කාර නොකරති. යහපත් ගති පැවතුම් ඇති ස්ත්‍රීන් නම් දුර්ලභමය.’ එබැවින් මව්පියන්ගේ සිත් සතන් පිනවමින් දුක් සන්සිඳුවමින් විවාහයක් කර නොගෙන තමන්ම දෙමාපියන් රැකබලා ගනිමින් උවටැන් කරයි. සිල් රකියි. පෙහෙවස් සමාදන් වෙයි. තම සම්පත් අනුව දන් දෙයි. හෙතෙම පසුකලෙක කළුරියකොට තව්තිසා දෙව්ලොව දොළොස් යොදුන් පමණ වූ දිව්‍ය විමානයක ඉපදුනේය. ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙයට පෙර කථාවල කී ආකාරයෙන්ම දෙව්ලෝ චාරිකාවල යෙදෙමින් මේ දිව්‍ය පුත්‍රයා වෙත ගොස් ඔහු විසින් පෙර කරන ලද කර්මයන් ගැන මෙම ගාථා මගින් විමසූහ.
පින්වත් දේවතාව, ඉතා දීප්තිමත්ව බබළන්නා වූ චිත්‍රලතා වනය යම්සේද එපරිද්දෙන් තව්තිසා දෙවියන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ උයනකින් යුක්තව, එසේ නොයෙක් දිව්‍යාලංකාරයෙන් යුක්ත වූ තොපගේ මේ විමානය මහත් ආලෝකයෙන් බබළමින් ආකාශයේ සිටී.
දිව්‍ය ඍද්ධියට පත් මහානුභාව සම්පන්න දේවිය, මේ වැනි ප්‍රභා සතියක් හා ඡවි වර්ණයක් ලබන්නට ඔබ විසින් කරන ලද පුණ්‍යකර්ම කවරේද?
ඒ දේව පුත්‍රයා තමාගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කළ කර්මයන් හා එහි විපාකයන් පැහැදිලි කරන්නේ,
මම මිනිස්ලොව මිනිසකු වී සිටියදී ඉතා දිළින්දෙක් වීමි. ආරක්‍ෂාවක් නැති කෙනෙක් වීමි. කම්කරුවෙක් වීමි. දුගියෙක් වූ මම වයෝවෘද්ධ වූ මව්පියන් දෙදෙනා රැකබලා ගත්තෙමි. එමෙන්ම මම සීලවන්තයෙක් ද වීමි. ආහාරපාන මනාව සකස්කොට කම්පල අදහා දන් දුනිමි.
ඒ කුශල කර්මයන්ගේ විපාක වශයෙන් මේ අන්දමේ දිව්‍ය සම්පත්තී ද ඡවි වර්ණයක් ද සියළු දිසා බබළවන ප්‍රභාවක් ද ලද්දෙමි.
හෙතෙමේ මේ අන්දමින් විස්තර කීවේය. සෙස්ස පළමු ප්‍රකාශ කළ පරිද්දෙන්මය.
චිත්තලතා විමාන වර්ණනාව නිමියේ ය.
2. නන්දනවිමාන වර්ණනා
යථාවනං නන්‍දනං චිත්තලතං පභාසති ආදී වශයෙන් ආරම්භ වන්නේ නන්ද විමාන කථා වස්තුවයි. එය කවරෙකු වෙනුවෙන් උපන්නේ ද යන පිළිවෙළ කථාව මෙසේය. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයෙහි වැඩ වසති. ඒ සමයෙහි සැවැත්නුවර එක්තරා උපාසකයෙක් වූයේය. ඒ උපාසකයාගේ විස්තරය මෙයට පෙර සඳහන් කරන ලද චිත්තලතා කථා වස්තුව හා සමානය. මෙතෙම වනාහි අඹුදරුවන් පෝෂණය කරමින්ම මව්පියන්ට උපස්ථාන කරමින් රැකබලා ගත්හ. ඒ අඹුදරුවන් පෝෂණය කිරීමම වෙනසයි.
තව්තිසා දෙව්ලොව ශ්‍රේෂ්ඨ වූ නන්දන වනය හා සමානව චිත්‍රලතා වනය බබළයි. එවැනි උයනකින් යුක්තව නොයෙක් දිව්‍යාලංකාරයෙන් යුක්ත වූ තොපගේ මේ විමානය මහත් ආලෝකයෙන් බබළමින් අහසේ සිටී.
මහත් වූ උදාරතර සම්පත් අනුභව කරන දෙවියා ඔබ මේ සා සම්පත් ලබන්නට මීට පෙර මිනිසත් භවක දී කවර කුශල කර්මයක් කළේද, කවර කුසලයකින් මේ සිද්ධිය හා දිව්‍යානුභාවය ලැබුවේද?
ඒ දේවපුත්‍රයා තමන්ගෙන් විචාරන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන්ගේ කුශල කර්මයන් විස්තර කරන්නේ,
මිනිස් ලොව මිනිසකුව සිටියදී මම ඉතා දිළින්දෙක් වීමි. දුප්පතෙක් වීමි. කම්කරුවෙක් වීමි. බැලමෙහෙ කරන දුගියෙක් වීමි. එසේ සිටි මම වයෝවෘද්ධ වූ මගේ දෙමාපියන් පෝෂණය කළෙමි. ඔවුන්ට දුකක් නොදී රැකබලා ගතිමි. අඹුදරුවන් පෝෂණය කළෙමි. සිල්වත්ව ජීවත්වීමි. මගේ සම්පත් අනුව පුළුවන් හැමවිටකදීම පහන් සිතින් ආහාරපාන ආදිය සකස්කොට භික්‍ෂූන් වහන්සේලා වෙත දන් දුනිමි.
ඒ කුසලානිශංසයන් නිසා මෙවැනි ඡවි වර්ණයත්, සියලු දිසා බබුළුවන ප්‍රභාශ්වරයක් හා මේ සම්පත් ද මට උපන්නේය
ආදිය ප්‍රකාශ කළහ. මේ ගාථාවල නොඇසූ විරූ යමක් නැත.
නන්ද විමාන වර්ණනාව නිමියේ ය.
3. මණිථුණවිමාන වර්ණනා
උච්චමිදං මණිථූනං විමානං ආදි වශයෙන් විස්තර කරන්නේ මණිථූන විමාන වස්තුවයි. එහි උපත කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන මහා විහාරයේ වැඩ වසති. ඒ භික්‍ෂූන් වහන්සේලා පිඬු පිණිස ගමට වැඩමවන ගමන්මග මංමාවත් එක් උපාසකයෙක් පිළිසකර කරති. විසම තැන් සම කරති. කටු කොහොල් පහ කරයි. වනලැහැබ් කපා දමා හෙළි කරයි. වැහි කාලයේ දිය පහරවල් ඇලවල්වල ඒදඬු පාලම් සාදවයි. හිරු රැස් තදින් වැසෙන පාරවල සෙවණ සඳහා ගස් සිටුවයි. නාන ජලාශයන්හි මැටි උගුල්වා පුළුල් හා ගැඹුරු කෙරෙයි. දිය නාන හා වතුර බොන තොටුපළවල් සකස් කරයි. ශක්ති පමණින් දන් දෙයි. සිල් රකියි. මෙසේ පින්කම් කරමින් සිටියදී කාලානුරූපව මියගිය ඔහු තව්තිසා දෙව්ලොව දොළොස් යොදුන් වපසරියක් ඇති රන් විමානයක උපන්නේය. ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ ඔහු වෙත එළඹ මෙම ගාථාවලින් ඔහුගෙන් කරුණු විචාළහ.