8. අනේකවණ්ණ විමාන වර්ණනා
අනෙක වණ්ණං දර සොක නාසනං යනුවෙන් අනෙක වරණ විමාන වර්ණනාව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් විහාරයේ වැඩවාසය කරන කල්හි ආයුෂ්මත් මහ මුගලන් හිමියෝ පෙර සඳහන් කළ අයුරින්ම දිව්‍යලෝක චාරිකාව කරමින් තව්තිසා දෙව්ලොවට වැඩි අවස්ථාවේ අනේකවර්ණ නම් දිව්‍යපුත්‍රයා උන්වහන්සේ දැක සමීපයට පැමිණ ඇඳිලි බැඳ සිටියේය. එම දෙවියන් ලවාම ඔහුගේ සම්පත් කියවාගනු පිණිස ඔහු විසින් කරන ලද පුණ්‍යකර්මයන් පිළිබඳ විස්තර විචාළහ.
අනෙක වණ්ණං දර සොක නාසනං
විමාන මාරුය්හ අනෙක විත්තං
පරිවාරිතො අච්ඡරා සංගණෙන
සුනිම්මිතො භූතපතීච මොදසි
බොහෝ වර්ණ ඇති සිත් සෝක පරිළාහ නසන බෙහෙවින් විචිත්‍ර වූ විමානයට ඇතුල් වී අප්සරා සමූහයා විසින් පිරිවරන ලදුව, මනාව පිළියෙළ වූ, දෙව්රජෙකු මෙන් සතුටු වන්නෙහිය.
සමස්සමො නත්‍ථි කුතො පනුත්තරො, යසෙන පුඤ්ඤෙනච ඉද්ධියාච
යසසින් ද පිනෙන් ද, ඍද්ධියෙන් ද ඔබට සම වූවෙක් නැත. එබැවින් ඔබට වැඩි වූවෙක් කොයින්ද?
සබ්බෙව දෙවා තිදසගණා සමෙච්ච
තන්තං නමස්සන්ති සසිංච දෙවා
ඉමා ච තෙ අච්ඡරායො සමන්ත තො
නච්චන්ති ගායන්ති පමොදයන්ති
තිදසපුරේ වැසි සියලු දේව සමූහයා එක්ව එබඳු ඔබ චන්ද්‍ර දේවතාවාට මෙන් නමස්කාර කරයි. ඔබගේ අප්සරාවෝ ද හාත්පසින් නටත්. ගයත්. වයත්. ඔබ ප්‍රමෝදයට පත් කරත්.
ඔබ දිව්‍යමය සෘද්ධියට පැමිණියේය. මහානුභාව ඇත්තේය. ඔබේ ශරීර වර්ණය ද සියලු දිසාවන් ආලෝකමත් කරයි. මේ සමාපත්තීන් ලබන්නට ඔබ මනුස්ස ලෝකයේ දී කවර නම් පින්කම් කළේද? මේ කවරනම් පින්වල විපාක වශයෙන් මෙම සම්පත් ලැබුවේද?
මේ අන්දමට සම්පත් ලබන්නට ඔබ විසින් කරන ලද පුණ්‍යකර්මයන් කවරේද?
ඒ දේවපුත්‍රයා මුගලන් හිමියන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දීම් වශයෙන්,
ස්වාමීනි! මම පෙර සුමේධ බුදුන් දවස උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වීමි. මම සත්‍යය අවබෝධ නොකොට පෘථග්ජනයෙක්ව සත් වසක් පැවිද්දෙක් පමණක් වීමි.
කෙලෙස්වලින් එතෙර වූ රහත් වූ, ශාස්තෲ වූ සුමේධ සර්වඥයන් වහන්සේ පිරිනිවි කල්හි, උන්වහන්සේ වෙනුවෙන් නිමා වූ රන්දැලකින් ආවරණය කර තිබූ ධාතු චෛත්‍යයෙහි සිත පහදවා ගතිමි.
මා විසින් දන් නොදෙන ලදී. දන් දීමට යමක් මා වෙත නොතිබිණ. පූජනීය වූ ඒ ධාතු පුදන්නකු වී මෙසේ කොට මෙලොවින් ස්වර්ගයට යන්නැයි අනුන්ද පෙළඹවීමි.
මා විසින් කරන ලද කුශල කර්මය මෙය වෙයි. මම දැන් දෙව්සැප විඳිමි. තිදසපුරේ දිව්‍ය සමූහයා මැද මම සතුටින් වෙසෙමි.
මෙයින් කල්ප තිදහසකට පෙර සුමේධ නම් සම්බුද්ධයන් වහන්සේ ලොව පහළ වී දෙවියන් සහිත ලෝකයා එකසේ ආලෝකවත් කොට කරන ලද බුදුකිස ඇත්තේ, පිරිනිවි සේක. මිනිසුන් විසින් සර්වඥයන්ගේ ධාතූන් ගෙන රත්නමය චෛත්‍යයක් කරවන ලදී. මෙහි එක් පුරුෂයෙක් ශාස්තෲ ශාසනයෙහි පැවිදි වී සත්වසරක් මහණදම් පුරා චංචල වූ සිත් ඇතිව උපැවිදි වූයේය. උපැවිදි වූයේ නමුදු සංවේග බහුලභාවය ද ධර්මයට ඇති කැමැත්ත ද හේතුකොට ගෙන චෛත්‍ය අංගනය හැමදීම් පිරිසිදු කිරීම් පිරිබඩගෑම් ආදිය කරමින් නිත්‍ය සීලය උපෝසථ සීල ආදිය රකිමින් දහම් අසමින් අන් අයද පින්කම්හි සමාදන් කරවමින් කල්ගත කළේය. ආයු කෙළවර කළුරියකොට තව්තිසාවෙහි උපන්නේය. ඔහුගේ පුණ්‍යකර්මයේ උදාරභාවය හේතුකොටගෙන මහේශාක්‍ය වූයේ මහානුභාව සම්පන්න වූයේ ශක්‍ර ආදී දෙවිවරුන් විසින් සකස්කොට පුදනු ලබන්නෙක් වී, එහි ආයු කෙළවර එයින් චුත වී මතු මත්තෙහි ද දෙව් මිනිසුන් අතර සැරිසරනුයේ මේ බුද්ධෝත්පාද කාලයේත් ඒ කුසල කර්මය ඉතිරිව තිබුණු බැවින් තව්තිසාවෙහි උපන්නේය. දේවතාවෝ ඔහු ‘අනේකවර්ණ’ යන නමින් හැඳින්වූහ. ඒ සඳහා මෙසේ කියන ලදී. ‘අථනං අනෙක වණ්ණෙ දෙවපුත්තො -පෙ- න තස්ස පුඤ්ඤස්ස ඛයම්පි අජ්ඣගන්ති කථෙසි’
එහි අනෙකවණ්ණං නීල පීත ආදී වශයෙන් විවිධ වර්ණ ඇති බැවින් ද ආසන්නයේ ඇති විමානයේ විවිධ සටහන් හා විවිධ වර්ණ ඇති බැවින් ද, නානාවිධ වර්ණ - දර සොක නාසනං සීතලභාවය නිසා විඩාව ඩාහය දුරුකිරීමෙන් සිතේ සතුට ඇති බැවින් ද විඩාව ශෝකය නැති කිරීම සිදුවේ. අනෝමා චිත්තං නොයෙක් ආකාරයේ චිත්ත රූප. සුනිම්මතො භූතපතීච තව්තිසාවේ වෙසෙසින්ම උදාර වූ දිව්‍ය සම්පත් නිසා මනාව පිළියෙළ වූ දිව්‍යරාජයා මෙන්, මොදසි සතුටු වන්නෙහි ප්‍රීති වන්නෙහි.
සමස්සමො සමාන තත්ත්වයටම පත් වී, ඔවුහු ඔබට සමාන නොවෙති යන අදහසයි. කුතොපන කිනම් කරුණකින් උසස් වූයේද, කවරෙක් නම් වන්නේද, කවරනම් කරුණකින් සමාන වෙත්ද, උත්තරීතර වන්නේදැයි ඇසීය. යසෙන පුඤ්ඤෙන ච ඉද්ධියා යසෙන පිරිවරින් ඉද්ධියා ආනුභාවයෙන්, යසෙන යනු සම්පත්තියෙන් ද, ඉද්ධියා යනු දිව්‍යමය ඍද්ධියෙන් ද, දිව්‍යමය ආනුභාවයෙන් ද යනුවෙන් ද අරුත් දැක්විය හැක. යසෙන යනු වස්තු සම්පත්තියෙන් ද, ඉද්ධියා යන්නෙන් තමන් කැමති දිව්‍යමය කාම සම්පත්තිය යනුවෙන් ද අරුත් දැක්වීමටද පුළුවන. යසෙන යනු කීති ඝෝෂාවන් යයි ද, ඉද්ධියා යනු සමෘද්ධියෙන් යනුවෙන් යයි ද අරුත් දැක්විය හැක. පුඤ්ඤෙන ඒ ඒ තන්හි විඳිනු ලැබීමෙන් ඉතිරි වූ පින් ඵලයෙන්.