7. කන්ථක විමාන වර්ණනා
පුණ්ණමාසෙ යථා චන්‍දො යනුවෙන් කන්‍ථක විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් මහා මුගලන් තෙර යට කියන ලද පරිදිම දිව්‍යලෝක චාරිකාවේ හැසිරෙන්නේ තව්තිසා භවනට වැඩියහ. එකෙණෙහි කන්ථක දේවපුත්‍රයා සිය භවනයෙන් නික්ම දිව්‍ය යානාවට නැගී මහත් පිරිවරින් මහත් සෘද්ධියෙන් යුක්තව උයනට යද්දී ආයුෂ්මත් මහා මුගලන් තෙරුන් දැක ගරු බුහුමන් ඇතිව වහාම යානයෙන් බැස තෙරුන් වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ හිසෙහි, ඇඳිලි බැඳ සිටියේය. ඉක්බිති තෙරණුවෝ ඔහු විසින් ලබන ලද සම්පත් ඔහු ලවාම කියවන්නෙමියි සිතා ඔහු විසින් කරන ලද පුණ්‍ය කර්මය විචාළේය.
පසළොස්වක පොහෝදා තරු පිරිවරා ගත් පුන්සඳ යම්සේද ඒ තරුවලට අධිපති වූ සඳ ගමන් කරමින් සිටී.
එසේ උපමා කළ හැකි මේ දිව්‍යමය විමානය දෙව්ලොවදී ද උදාවන සූර්යයා මෙන් වර්ණයෙන් අතිශයින් බබළයි.
වෛධූර්ය මැණික්වලින් ද, රත්රනින් ද පළිඟුවලින් ද, රිදීයෙන්ද මැසිරිගල් නම් වූ මැණික්වලින් ද, මුතුවලින් ද, රතු මැණික්වලින් ද යුක්ත වේ.
විසිතුරු වූ මනරම් වූ භූමිය වෛධූර්ය මැණික්වලින් විසිරී ඇත. යහපත් වූ රමණීය වූ කුටාගාර සහිත වූ ප්‍රසාදයක් බවට ඔබට ඇත.
ඔබේ රමණීය වූ පොකුණ මසුන්ගෙන් ගැවසී ගත්තේය. දියෙන් පිරී ඇත. ඉතා ප්‍රසන්නය. රන්වන් වැල්ලෙන් විසිරී ඇත.
ඔබේ පොකුණ නොයෙක් පියුම් වර්ගවලින් වැසී ඇත. එහි සුදු නෙළුම්, විසිරී පවතී. සුවඳවත් වූ මනෝඥ වූ වාතය හමාගෙන යයි.
ඒ පොකුණ දෙපස මනාව වඩන ලද වනගොමු ඇත. මල් හටගන්නා රුක්වලින් ද ඵල හටගන්නා රුක්වලින් ද දෙපස සෑදී ඇත.
රත්තරනින් කළ පාද ඇති මෘදු රෙදි අතුරා ඇති, අසුනෙහි හුන් දිව්‍යරාජයා ඉදිරිපිට අප්සරාවෝ හිඳිත්.
සර්වාභරණයෙන් සැරසුණු නොයෙක් මල්වලින් අලංකාරවත් වූ අප්සරාවෝ ඔහු සතුටු කරවති. හේ වසවත් දෙව්රද මෙන් සතුටු වෙමින් සිටී.
බෙර සක් මිහිඟු බෙර ආදියෙන් ද වීණාවන්ගෙන් ද ඝණ වූ කුඩා බෙර විශේෂයන්ගෙන් ද මනාව වාදනය සිදුවන කල්හි, ප්‍රීතියෙන් යුක්තව, ඒ දේවපුත්‍ර තෙමේ කැමති සේ සැප විඳිති.
දිව්‍යමය වූ විවිධ රූපයන් ද, දිව්‍යමය වූ ශබ්දයන් ද රසයන් ද ගන්ධයන් ද ස්පර්ශයන් ද මනරම් වේ.
උතුම් වූ එම වචනයෙහි මහත් වූ ප්‍රභාවයෙන් යුත් දිව්‍ය පුත්‍ර තෙමේ වර්ණයෙන් හිරු මෙන් අතිශයින් බබළයි.
ඔබගේ මේ පුණ්‍යඵලය දානයක ද නැත්නම් ශීලයකද, එසේත් නැතහොත් වන්දනාවකද, විමසනු ලබන්නා වූ මේ කරුණ මට කියන්න.
යනුවෙන් මෙසේ ඒ දිව්‍ය පුත්‍රයා විසින් ලබන ලද සම්පත්තිය කියවා ගැනීම සඳහා ඔහු පෙර කරන ලද කර්මය විමසූහ.
මුගලන් මහතෙරුන් විසින් විමසන ලද්දා වූ, සතුටු සිත් ඇත්තා වූ, ඒ දේවපුත්‍ර තෙමේ. මෙය කවරනම් ඵලයක්දැයි යන බව පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේය.
මම ශාක්‍යයන්ගේ උතුම් පුරවරය වූ කපිල වස්තුවෙහි සුද්ධෝදන රජුගේ පුත්‍රයා වූ සිද්ධාර්ථ කුමරු හා එක් දිනම උපන් කන්ථක නම් අශ්වයා වෙමි.
යම් දිනක මැදි රැයෙහි හෙතෙමේ සම්බුද්ධත්ව සඳහා නික්මුණේද, මෘදු වූ අතුල්වලින් ද බබළන තඹ පැහැති නියවලින් ද යුතු වූ හෙතෙම මා සමග නික්මුණේය.