6. ගෝපාලවිමාන වර්ණනා
දිස්වාන දෙවං පටිපුච්ඡි භික්ඛූ යනුවෙන් ගෝපාල විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක. එකල්හි රජගහ නුවර එක්තරා ගොපල්ලෙක් උදේ ආහාර සඳහා රෙදිකඩක බැඳගත් පිට්ටුවක් ගෙන නුවරින් නික්ම ගව දෙනුන් හැසිරෙන ගොදුරුබිමට පැමිණියේය. ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ, මේ ගොපල්ලා දැන්ම කළුරිය කරන්නේය. මා එහි වැඩියොත් පිට්ටුව මා වෙත පුදා මොහු තව්තිසාවේ උපදින්නේ යයි දැන ඔහුගේ සමීපයට ගියහ. හෙතෙම වේලාව බලා දන් වළඳන වේලාව බව දැන තෙරණුවන්ට පිටුව දන් දෙන්නට අදහස් කළේය. ඒ වෙලහි ගව දෙන්නු ධාන්ය කෙතට පිවිසෙමින් සිටිති. ඉක්බිති ඒ ගොපල්ලාට ‘කිම්ද, තෙරණුවන්ට පිට්ටුව පළමුව දන් දෙන්නේ ද, නැතිනම් ගව දෙනුන් ධාන්ය කෙතෙන් පළමුව බැහැර කරන්නේ දැයි විමතියක් ඇති විය. කෙත් හිමියෝ මට යමක් කරනු කැමැත්තේ ද එය කරත්වා. තෙරුන් ගිය කල්හි මාගේ පිට්ටු දන් දීමට බාධාවක් ඇති වේ. එබැවින් මම පළමුල්කොට ආර්යයන් වහන්සේට පිට්ටු දානය දෙමියි සිතා එය තෙරණුවන් හට පිළිගැන්වීය. තෙරණුවෝ අනුකම්පා පූර්වකව පිළිගත්හ.
ඉන්පසු ඔහු වෙහෙස නොබලා ගවදෙනුන් නැවැත්වීම සඳහා ඔවුන් පසුපස දුවන්නා වූ ඔහුගේ කකුළේ ගැටුණු සර්පයෙක් ඔහුට දෂ්ට කළේය. තෙරණුවෝ ද ඔහුට අනුකම්පා කරන්නාහු පිට්ටුව වැළඳීමට පටන් ගත්හ. ගව දෙනුන් නවතා පැමිණි ගොපල්ලා පිට්ටු වළඳනා තෙරුන් වහන්සේ දැක ප්රසන්න වූ සිත් ඇත්තේ උදාර වූ ප්රීති සොම්නස විඳ ගනිමින් හිඳ ගත්තේය. එවිට විෂ වේදනා ශරීරය පුරා පැතිර සිටියේය. විෂ වේදනා ක්රමයෙන් හිස් මුදුනට පැමිණි කල්හි හෝ කළුරිය කළේය. කළුරිය කළ හෙතෙම තව්තිසාවේ දොළොස් යොදුන් රන් විමනෙක උපන්නේ ය. ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ පසුදිනක ඔහු දැක මේ කරුණු විමසූහ.
දිස්වාන දෙවං පටිපුච්ඡි භික්ඛූ
උචෙච විමානම්හි චිරට්ඨිතී කෙ
ආමුත්ත හත්ථාභරණං යසස්සිං
දිබ්බෙ විමානම්හි යථාපි චන්දිමා
උචෙච විමානම්හි චිරට්ඨිතී කෙ
ආමුත්ත හත්ථාභරණං යසස්සිං
දිබ්බෙ විමානම්හි යථාපි චන්දිමා
උසස් වූ විමානයෙහි බොහෝකල් වාසය කරන්නා වූ හස්තාභරණ පැළඳ ගත්, යසස් ඇත්තා වූ, දිව්ය විමානයෙහි චන්ද්රයා වැනි වූ ඒ දෙවියන් දැක භික්ෂූන් වහන්සේ (මුගලන් තෙරුන්) ප්රශ්න කළහ.
අලංකතො මාලාභාරී සුවත්ථො
සුකුණ්ඩලී කප්පිත කෙස මස්සු
ආමුත්ත හත්ථා භරණො යසස්සී
දිබ්බෙ විමානම්හි යථාපි චන්දිමා
සුකුණ්ඩලී කප්පිත කෙස මස්සු
ආමුත්ත හත්ථා භරණො යසස්සී
දිබ්බෙ විමානම්හි යථාපි චන්දිමා
අලංකාරවත් වූ මල් මාලා බර දරන්නා වූ සකස් කළ කෙහෙ රවුල් ඇත්තා වූ, මනා වස්ත්ර හැඳ ගත්තා වූ, කුණ්ඩලාභරණ දරන්නා වූ හස්තාභරණ පැළඳ ගත්, යසස් ඇත්තා වූ දිව්ය විමානයේ චන්ද්රයා වැනි වූ,
දිබ්බා ච වීණා පවදන්ති වග්ගු
අට්ඨට්ඨකා සික්ඛිතා සාධුරූපා
දිබ්බා ච කඤ්ඤා තිදසවරා උළාරා
නච්චන්ති ගායන්ති පමොදයන්ති
අට්ඨට්ඨකා සික්ඛිතා සාධුරූපා
දිබ්බා ච කඤ්ඤා තිදසවරා උළාරා
නච්චන්ති ගායන්ති පමොදයන්ති
පුහුණු වූ මනා රූ ඇති තිදස් පුරයෙහි උදාර වූ, දිව්ය කන්යාවන් අට දෙනා බැගින් මිහිරි ලෙස දිව්යමය වීණාවන් වාදනය කරත්. නැටීමෙහි යෙදෙත්. ගායනා කරත්. ඔබ ප්රමෝදයට පත් කරත්.
මෙසේ විචාළ විට ඒ දේව පුත්රයා තමන් විසින් කරන ලද කුසල කර්මය ප්රකාශ කරන්නේ.
මිනිස්ලොව මිනිසෙක් වූ මම, අනුන්ගේ ගව දෙනුන් රැස්කොට රැක බලා ගතිමි. එකල්හි ශ්රමණයන් වහන්සේ මා වෙතට පැමිණියහ. ගව දෙනු ධාන්ය කෑමට ගියහ.
ස්වාමීනි, දැන් කළ යුතු කාර්යයන් දෙකකි යනුවෙන් එදා මම සිතුවෙමි. ඉක්බිති සිහියෙන් යුතුව ‘දෙන්නෙමි ස්වාමීනි’ යන සංඥාව ඇතිව පිට්ටු ඔතා තිබූ රෙදිකඩ අතෙහි තැබුවෙමි.
මේ ගව දෙනුන් යමෙකුගේ කා විනාශ කරත්ද, ඊට පෙර ධාන්ය කෙතට මම වහ වහා ගියෙමි. එකල්හි මහා විෂ සහිත වූ කලු සර්පයෙක් ඉක්මන් වූ මගේ පා දෂ්ට කළේය.
ඒ මම පීඩිත වීමි. දැන් මම යහපත් වූ කර්මඵලය අනුභව කරමි. ස්වාමීනි, ඔබවහන්සේ විසින් බෙහෙවින් අනුකම්පා කරනු ලැබූවෙමි. කෘතඥතාවයෙන් යුතුව ඔබවහන්සේ වඳින්නෙමි.
[missing trans]
දෙවියන් මරුන් සහිත වූ ලෝකයේ ඔබවහන්සේ වැනි අනුකම්පා සහගත වූ අන් පැවිදි කෙනෙක් නැත. ස්වාමීනි, ඔබවහන්සේ විසින් මම බෙහෙවින් අනුකම්පා කරනු ලැබුවෙමි. කෘතඥතා පූර්වකව ඔබවහන්සේ වඳින්නෙමි.
මෙලොව හෝ පරලොව ඔබවහන්සේ වැනි අනුකම්පා සහගත අන් පැවිදි කෙනෙක් නැත. ඔබවහන්සේ විසින් මම වෙසෙසින් අනුකම්පා ලැබුවෙමි. කෘතඥතාවයෙන් යුතුව ඔබවහන්සේ වඳින්නෙමි.
ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ, තමන් විසින් ද දේවතාවා විසින් ද කියන ලද පිළිවෙළින්ම ඒ පුවත බුදුන් වහන්සේට සැළ කළහ. ශාස්තෲන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගනිමින් පැමිණි පිරිසට දහම් දෙසූහ. ඒ සඳහා ‘දිස්වාන දෙවං පටිපුච්ඡි භික්ඛූ’ යනාදිය වදාළහ.
ගාථාවන්හි විස්තර. දෙවං ගෝපාල දිව්ය පුත්රයා භික්ඛූ ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් සඳහා ශාස්තෲන් වහන්සේ මෙසේ කියති. ඒ වචනය වනාහි මෙසේ අරුත් දැක්විය යුතුය. හැම අයුරින්ම බිඳුණු කෙලෙස් ඇති බැවින් භික්ඛූ නම් වේ. විමානයේ බොහෝ කල් සිටීම සිදුවන බැවින් ‘චිරට්ඨිතිකෙ’ යයි කියන ලදී. චිරට්ඨිතිකං යයි ද සමහරු කියත්. ‘දෙවං’ යනු මේ හා සම්බන්ධ විය යුතුයි. ඔහු වනාහි වර්ෂ තිස්කෝටි හැටලක්ෂයක් එහි වෙසෙනු ඇති බැවින්. ‘චිරට්ඨිතිකෙ’ යයි කියති. යථාපි චන්දිමා යම්සේ චන්ද්ර දිව්යපුත්රයා පියකර වූ සිසිල් වූ මනහර වූ රශ්මි ජාලාවකින් බබළන තමාගේ, දිබ්බවිමානම්හි දිව්ය විමානයෙහි බබළන්නේ වෙයිද, එසේම ‘විරොචනං’ යනු යෙදිය යුතු ඉතිරි වචනය වේ.
අලංකතො යනාදිය ඒ දිව්ය පුත්රයාගෙන් තෙරණුවන් විසින් ප්රශ්න කරන ලද ආකාරය දැක්වීම සඳහා වෙයි. එය යට කියන ලද අර්ථ ඇත්තේ වේ.
සංගම්ම එකතු වී, හේතු අර්ථය ද මෙහි ඇතුළත් වේ. බොහෝදෙනා එකතුකොට යන අර්ථයි. ආගා පැමිණියේය.