5. අම්බවිමාන වර්ණනා
උච්චමිදං මණි ථූනං යනුවෙන් අම්බ විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි වසන සේක. එසමයෙහි රජගහනුවර වැසි එක්තරා දුගී පුරුෂයෙක් බත් වැටුපෙන් රැකී අඹ වනය රකියි. හෙතෙමේ එක් දිනක් ග්‍රීෂ්මයෙහි සූර්ය තාපයෙන් රත් වූ, සුදු වැල්ලෙන් ගැවසී ගත්තා වූ, ඒ ඒ අත පෙනෙන මිරිඟු ජලයෙන් යුක්ත වූ භූමි භාග ඇති දුරුමගට පැමිණි දහඩියෙන් යුත් ශරීර ඇතිව ග්‍රීෂ්මයෙන් ක්ලාන්තව අඹ උයන සමීපයෙන් වැඩමවන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දැක හටගත් ගරු බුහුමන් ඇතිව සමීපයට එළඹ මෙසේ කීය. ස්වාමීනි, මේ මහත් වූ ග්‍රීෂ්ම දාහය ඉතාම වෙහෙසකර සේ පෙනේ. ස්වාමීනි, ආර්යයන් වහන්ස, අනුකම්පකොට මේ අඹ උයනට පිවිසි මොහොතක් විශ්‍රාම ගෙන ගමන් වෙහෙස දුරුකොට වඩිනු මැනවි. තෙරණුවෝ විශේෂයෙන් ඔහුගේ චිත්තුපසාදය වැඩිදියුණු කරනු කැමැත්තේ එම අඹ උයනට පිවිස එක්තරා රුකක් මුල වැඩ උන්හ.
නැවත ඒ පුරුෂයා ස්වාමීනි, ඉදින් දිය නහවනු කැමැත්තේ නම් මේ ළිඳෙන් ජලය ගෙන ඔබවහන්සේ නහවන්නෙමි. බීමට ද පැන් දෙන්නෙමියි කීය. තෙරණුවෝ ද නිශ්ශබ්දතාවයෙන් ඉවසූහ. හෙතෙම ළිඳෙන් ජලය ගෙන පෙර තෙරනුවන් නෑවීය. අත් පා දොවා නාවා හුන් තෙරණුවන් හට බීමට පැන් පිළිගැන්වීය. තෙරණුවෝ පැන් පානය කොට සන්සිඳුණු පිපාස ඇත්තේ, ඒ පුරුෂයාට නෑවීමෙහි ද, පැන් දීමෙහි ද පින් අනුමෝදන් කොට වැඩියහ. ඉක්බිති ඒ පුරුෂයා ග්‍රීෂ්මයෙන් තැවුණු තෙරුන්ගේ ග්‍රීෂ්ම ඩාහය සන්සිඳුවීමි යයි ද, පිපාසය සන්සිඳුවීම් යයි ද, එයින් බොහෝ පින් කරගත්තේ යයි උදාර වූ සතුට සොම්නස වින්දේය. හෙතෙම පසුකලෙක කළුරියකොට තව්තිසාවෙහි උපන්නේය. මහ මුගලන් තෙරණුවෝ ඔහු වෙත එළඹ ඔහු විසින් කරන ලද පින් පිළිබඳව ප්‍රශ්න කළහ.
මැණික් කුළුණු මත පිහිටි මේ විමානය උස්ව පිහිටා ඇත. හාත්පසින් දොළොස් යොදුන් වේ. එහි වෙධූර්යමය කුළුණ රුචිය පතුරන ශෝසාන ගතියෙන් යුක්තය.
ඔබ ඒ විමානයෙහි වෙසෙන්නෙහි, ආහාරපාන ගන්නෙහි, වාදකයෝ දිව්‍යමය වීණාවන් මිහිරි ලෙස වාදනය කෙරෙත්. මෙහි දිව්‍යමය පංචකාම ගුණ රසයන් පවතී. රත්රනින් සිරුරු වසාගත් දිව්‍ය ස්ත්‍රීහු නැටීමෙහි යෙදෙත්.
මෙවැනි ශරීර වර්ණයක්, සියලු දිසා බබළවන රූ සිරියක්, කවර කුසලයකින් ලැබුවේද,
ඒ දේව පුත්‍රයා තමන් විසින් කරන කුසලය මෙසේ විස්තර කළේය.
මම බත් වැටුප් පමණක් ලබමින් අනුන්ගේ අඹ උයනක් රැකබලා ගත්තෙමි. එසමයෙහි ග්‍රීෂ්ම සෘතුවෙහි පශ්චිම වූ ඇසළ මාසයේ හිරු රැස් තදින් පැතිරී තිබියදී,
සැරියුත් තෙරුන් වහන්සේ (ග්‍රීෂ්මය නිසා) අම පැමිණ ශරීරය ක්ලාන්ත වී ඒ අඹ වනය අසලට පැමිණියේය.
එකල උන්වහන්සේ දැක නමස්කාර කොට අඹ ගස මුල වඩා හිඳුවා පැන් වළඳවා, යම් යහපතක් මට වේනම් එය සිදුවනු පිණිස ඔබවහන්සේ නාවන්නෙමියි මම කීවෙමි.
එසේ කී විට මට අනුකම්පා පිණිස පා සිවුරු තැබුවේය. එක් සිවුරකින් යුතුව ගහ මුල ඉඳ ගත්තේය.
පැහැදුනු සිත් ඇතිව පිරිසිදු පැවැත්මෙන් රුක් මුල එක් සිවුරකින් සිටි උන්වහන්සේ මම නෑවීමි.
මා විසින් ජලය ඉසින ලදී. තෙරුන් වහන්සේ නහවා අල්ප වූ පිනක් කරගන්නා ලදැයි ප්‍රීතිමත් විය.
ඒ මනුෂ්‍ය ජාතියෙහි ඒ එකර්ම පින්කම පමණක් සිදු කළෙමි. මිනිස් ලොවින් චුත වී නන්දන උයනෙහි උපනිමි.
විවිධ පක්‍ෂි සමූහයාගෙන් යුක්ත වූ රම්‍ය වූ උත්තම වූ නන්දන නම් උයනෙහි අප්සරාවන් පෙරටුකොට නැටුම් ගැයුම් බලමින් ප්‍රීති වෙමි.
ගිම්හාන පච්ඡිමෙ මාසෙ ඇසළ මස පතපන්නෙ අතිශයින් හිරු රසින් බබළන කල්හි, හැම අයුරින්ම උෂ්ණය ඇති වන කල්හි, දිවංකරො සූර්යයා, දිවාකර යනු ද පාඨයකි. අසිඤ්චතී ජලය ඉසියි. ‘අ කාරය නිපාත මාත්‍රයකි. සිඤ්චති යනු අඹ රුක්මුලට ගෙනැවිත් වතුර වත්කරති යන්නයි. පරෙසං භතකො පොසො එකල එම අඹ උයනට ජලය වත්කරමින් සිටියෙමි යන අර්ථයි.
තෙනා ඒ අඹ උයන යම් තැනකද, එහි අගමා ගියේය. අකිලනෙතාව චෙතසා සිතේ දුක අර්හත් මාර්ගයෙන් ප්‍රහීණ කළ බැවින් සිතින් වෙහෙසට පත් නොවන්නේම වේ. කය එසේ නොවෙයි යන අදහසයි.
අවොචං මම එකල්හි, අම්බසිඤ්චකො දිය ඉසින්නෙක් වී යන අදහසයි. එකචීවරො නහනු කැමැත්තේ, මෙසේ කීය.
අම්බො ච සිත්තො - සමණොච නහාපිතො; මයා ච පුඤ්ඤං - පසුතං අනප්පකං මා විසින් ජලය ඉසින ලදී. තෙරුන් වහන්සේ ද නාවනු ලැබූහ. අල්ප නොවන පිනක් කර ගත්තෙමි. එකම ක්‍රියාවකින් ප්‍රයෝජන තුනක් ලබාගන්නා ලදී. පීතියා සො ප්‍රීතියෙන් යුතු වූ ඒ පුරුෂයා සබ්බං කායං එරති නිරතුරුවම පතුරුවා හැරීම කරයි යන අදහසයි. අතීතාර්ථයෙහි එන එරති යන වර්තමාන කාලීන වචනයකි.