3. මණිථුණවිමාන වර්ණනා
උච්චමිදං මණිථූනං විමානං ආදි වශයෙන් විස්තර කරන්නේ මණිථූන විමාන වස්තුවයි. එහි උපත කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන මහා විහාරයේ වැඩ වසති. ඒ භික්ෂූන් වහන්සේලා පිඬු පිණිස ගමට වැඩමවන ගමන්මග මංමාවත් එක් උපාසකයෙක් පිළිසකර කරති. විසම තැන් සම කරති. කටු කොහොල් පහ කරයි. වනලැහැබ් කපා දමා හෙළි කරයි. වැහි කාලයේ දිය පහරවල් ඇලවල්වල ඒදඬු පාලම් සාදවයි. හිරු රැස් තදින් වැසෙන පාරවල සෙවණ සඳහා ගස් සිටුවයි. නාන ජලාශයන්හි මැටි උගුල්වා පුළුල් හා ගැඹුරු කෙරෙයි. දිය නාන හා වතුර බොන තොටුපළවල් සකස් කරයි. ශක්ති පමණින් දන් දෙයි. සිල් රකියි. මෙසේ පින්කම් කරමින් සිටියදී කාලානුරූපව මියගිය ඔහු තව්තිසා දෙව්ලොව දොළොස් යොදුන් වපසරියක් ඇති රන් විමානයක උපන්නේය. ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ ඔහු වෙත එළඹ මෙම ගාථාවලින් ඔහුගෙන් කරුණු විචාළහ.
හාත්පසින් උස්ව නැංගා වූ පද්මරාග මාණික්‍යමය කුළුණු ඇති උදාර වූ සත්සියයක් පමණ රන්වන් කුළුගෙවල් ඇති වෛධූර්ය මිණිමය ගබඩාවලින් යුක්ත දොළොස් යොදුන් පමණ වූ රන් විමනකි.
ඒ රන් විමනේ දිව්‍ය රස භෝජනයෙන් හා සියුම් මොළොක් සුවපහස් ඇති යහන් ද වෙති. නොයෙක් අලංකාරයෙන් සැරසුණු දෙවඟනෝ මධුර නාද පවත්වති. මියුරු ගී සිංදු කියති. දිව බෙර වීණා ආදී වාද්යයන්ගෙන් ද ඒ වාද්‍ය තලයන්ට අනුව පා තබමින් රන්වන් පහන්සිළු මෙන් නටන්නා වූ නාට්යංගනාවෝ වෙති. පංචකාම සම්පත්තියෙන් අඩුවක් නැති.
මේ අන්දමේ සැප සම්පත් ද, සියලු දිසා බබුළුවන ප්‍රභවයක් ද, දුටුවන් සිත් ගන්නා ඡවි වර්ණයක් ද ඇතුළු මේ සියලු සම්පත් කවර කුශල කර්මයක් හේතුකොට ගෙන ඔබ ලැබුවේද? මේ කවර කුශල කර්මයක ආනිශංසද? (විචාළහ.)
ඒ දිව්‍ය පුත්‍රයා තමාගෙන් විමසන ලද ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මේ ගාථා කීහ.
මම මිනිස්ලොව මිනිසකුව ඉපදී සිටින කාලයෙහි වනලැහැබ් පිරිසිදු කළෙමි. සෙවන සඳහා ගස් වැවීමි. පාර තොට මං මාවත් හෙළි පෙහෙළි කළෙමි. එමෙන්ම ඒදඬු පාලම් තැනීම් සිල්වතෙක්ව ජීවත් වෙමින් පිරිසිදු ආහාර පාන, කර්මපල අදහන්නා වූ සිතින් මනාව සකස් කොට බහුල වශයෙන් දන් දුනිමි.
ඒ කුශල කර්මයන්ගේ විපාකයෙන් මේ අයුරු සම්පත් මෙවැනි වර්ණයක් සියලු දිසා ඔපකරවන ප්‍රභා සම්පත්තියක් ලදුයෙමි.
විවනෙ ආරණ්‍යයෙහි. ආරාම රුක්ඛානිවාති ආරාම වටා රුක් රෝපණය කළෙමි යන අර්ථයයි. ඉතිරි ශේෂය පෙර කියන ලද පරිදිය.
මණිථූන විමාන වර්ණනාව නිමියේ ය.
4. සුවණ්ණවිමාන වර්ණනා
සොවණ්ණමයෙ පබ්බතස්මිං යනුවෙන් සුවණ්ණ විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ අන්ධක විනයෙහි වාසය කරන සේක. එසමයෙහි ශ්රද්ධාවන්ත වූ පැහැදුණා වූ භෝග සම්පත්තියෙන් යුක්ත වූ එක්තරා උපාසකවරයෙක් ඒ ගමට නුදුරෙහි මුඩු බිමක් වූ එක්තරා පර්වතයෙහි සර්වාකාරයෙන්ම සම්පූර්ණ වූ භාග්‍යවතුන් වහන්සේට වාසයට යෝග්‍ය වූ ගඳකිළියක් කරවා එහි භාග්‍යවතුන් වහන්සේ වාසය කරවමින් සකසා උවටැන් කළේය. තමා ද නිත්‍ය සීලයෙහි පිහිටියේ පිරිසිදු සීල සංවරයෙන් යුක්ත වී සිට කලුරිය කොට තව්තිසා භවනයෙහි උපන්නේය. ඔහුගේ කර්මානුභාවය දක්වන්නා වූ නා නා රත්නයන්ගේ රශ්මීන් සමූහයෙන් බබලන්නා වූ විසිතුරු වේදිකාවකින් වට වූ නන්වැදෑරුම් මහත් අලංකාරයන්ගෙන් හොබනා වූ මනාව බෙදා වෙන් කළ බිත්ති කුළුණු හා සෝපාත (පඩිපෙළවල්) සහිත වූ වනරොදින් රමණිය වූ විමනක් රත්තරන් පර්වතය මුදුනෙහි පහළ විය. දිව්‍යාලෝක චාරිකාවේ යෙදෙන මහ මුගලන් තෙරණුවෝ එය දැක මේ ගාථාවන් මගින් ප්‍රශ්න කළහ.
ස්වර්ණමය පර්වතයෙහි හැම අයුරින්ම බබලන විමානය රන්දැලකින් ආවරණය වූයේ ද කිකිණි දැලකින් සුන්දර වූයේ ද විය.
වෛධූර්ය මැණික්වලින් ද රත්රනින් ද පලිඟු හා රිදීයෙන් ද මැසිරිගල් නම් වූ මැණික්වලින් ද රතුමැණික්වලින් ද (එම විමානය සැදී ඇත.)
විසිතුරු වූ මනරම් වූ විමාන භූමියෙහි දූවිලි මද නොවේ. කහ පැහැයෙන් යුත් ගොනැස් නම් පරාලවලින් දරාගෙන සිටිනා ලෙස වහලවල්හි මුදුන් නිර්මාණය වී ඇත.
සිවු දෙසින් නිර්මාණය කර ඇති හිණිපෙළ සතර නිසා සැදුන විවිධ රත්නයන්ගෙන් යුත් කාමර සහිත විමානය සූර්යයා මෙන් බබලයි.
එහි වෙන්කොට බෙදා ඇතිව වේදිකා සතර හාත්පසින් සතර දෙසින් දීප්තිමත් වෙමින් බබලයි.