9. විසාලක්ඛි විමාන වර්ණනා
කා නාමත්‍වං විසාලක්‍ඛී යනුවෙන් විසාලක්‍ඛී විමාන වර්ණනාව ආරම්භ වේ. එහි උත්පත්තිය කෙසේ වීද? භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි, අජාසත් රජතුමන් විසින් තමන් ලත් සර්වඥ ධාතු ගෙනගොස් රජගහ නුවර චෛත්‍යයක් ඉදිකොට සර්වඥ ධාතු පූජාවක් ද කළ කල්හි, රජනුවර වැසි සෝවාන් ඵලයට පැමිණි සුනන්දා නම් වූ එක් මාලාකාර දියණියක්, පියාගේ නිවසින් යවන ලද බොහෝ වූ මල් ද සුවඳ දුම් ආදිය ද, පුදමින් දිනපතා චෛත්‍ය පූජාවක් කරයි. පොහෝ දිනයන්හි තමන්ම ගොස් පූජා කළාය. ඕ තොමෝ පසුකලෙක එක්තරා රෝගයකින් කළුරියකොට සක්දෙව් රජුගේ පරිචාරිකාවක් වී උපන්නාය. ඉක්බිති එක්දිනක් ඕ තොමෝ අන් දෙවඟනන්ගේ ශරීර ප්‍රභාවය මල් ආදීන්ගේ ප්‍රභාවයෙන් යටපත් වී විවිධ වර්ණ ඇත්තේ විය. සුනන්දා දෙවඟනගේ ප්‍රභාවය වනාහි යටපත් නොවී යථා ස්වභාවයෙන්ම පිහිටියේය. පැවතුනේය. සක්දෙව් රජ එය දැක ඇය විසින් කරන ලද පුණ්‍යකර්මයක් දැනගනු කැමැත්තේ ඒ පිළිබඳව ඇගෙන් ප්‍රශ්න කළේය.
කා නාම ත්‍වං විසාලක්‍ඛී - රම්මෙ චිත්තලතා වනෙ
සමන්තා අනුපරියාසී - නාරීගණ පුරක්‍ඛතා
රමණීය වූ චිත්‍රලතා උයනේ ස්ත්‍රීන් රැසක් පිරිවරාගෙන, හාත්පස හැසිරෙන දිගු ඇස් ඇති ඔබ පෙර කිනම් තැනැත්තියක් වූයෙහිද?
යදා දෙවා තාවතිංසා - පවිස්සන්ති ඉමං වනං
සං යොග්ගා සරථා සබ්බෙ - චිත්‍රා හොන්ති ඉධාගතා
යම්විටක තව්තිසා වැසි දෙවියන් මේ උයනට පිවිසෙත්ද, මෙහි පැමිණි සියල්ලගේ යහන් සහිත වූ රථ ද විචිත්‍ර වෙත්.
තුය්හඤ්ච ඉධ පත්තාය - උය්‍යානෙ විචරන්තියා
කායෙ න දිස්සති චිත්තං - කෙන රූපං තවෙදිසං
දෙවතෙ පුච්ඡිතා චික්‍ඛ - කිස්ස කම්මස්සිදං ඵලං
මෙහි පැමිණ උයනෙහි හැසිරෙන ඔබේ සිරුරෙහි විශේෂ විසිතුරු බවක් දක්නට ඇත. මෙබඳු රුවක් ඔබට කෙසේ ලැබුණිද? මා විසින් ප්‍රශ්න කරනු ලැබූ දේවතාවියනි ! මේ කවරනම් කර්මයක ඵලවිපාකදැයි මට කියනු මැනවි.
එහි කා නාම ත්‍වං පෙර ආත්මභාවයේ, ඔබ කිනම් වූයේ ද? කෙබඳු වූයේ ද, යම්කිසි තැනකදී කරන ලද කිසියම් ක්‍රියාවක් හේතුවෙන් ඔබට මෙබඳු වූ ආනුභාව ප්‍රභා සම්පන්න සම්පත්තියක් ලැබී ඇත්තේද? විසාලක්‍ඛිනී ලොකු දිගු ඇස් ඇත්තී ඇස් ඇති තැනැත්තියේ. (ආලපන විභත්ති)
යදා යම්කලෙක ඉමං වනං මේ චිත්‍රලතා නම් වූ වනය චිත්‍රා හොන්ති එම චිත්‍රලතා උයනේ දී විසිතුරු ප්‍රභාවය වැදීමෙන් ද, තමන්ගේ ශරීර, වස්ත්‍ර, අලංකාර ආදියේ ප්‍රකෘති ස්වභාවයෙන් විශිෂ්ඨ ස්වභාවයක් ඇතිවීමෙන් විචිත්‍රාකාරයක් මතුවෙයි. ඉධාගතා මෙහි ආවාහුයි. මෙහි පැමිණීමට හේතු ඇත්තේ වෙයි.
ඉධ පත්තායා මේ සභාවට පැමිණි කෙන රූපං තවෙදයං කවර කරුණකින් ඔබේ රූපය ශරීරය මෙබඳු ආකාර ඇතිව චිත්‍රලතා වනයේ ප්‍රභාවය යටපත් කරමින් සිටින්නේ ද යන අදහසයි.
මෙසේ ශක්‍රයා විසින් ප්‍රශ්න කරන ලද්දා වූ ඒ දේවතා දුව ගාථාවගෙන් පිළිතුරු දුන්නීය.
යෙන කම්මෙන දෙවින්‍ද - රූපං මය්හං ගතීච මෙ
ඉද්ධිච ආනුභාවොච - ව තං සුණොභි පුරින්‍දද
පුරින්දද නම් වූ දෙව්රජුනි, යම්කිසි කර්මයකින් මගේ රූපයද එහි ස්වභාවය ද, සෘද්ධිය ද ආනුභාවය ද ලද්දා වූ කර්මය අසනු මැනවි.
අහං රාජගගෙ රම්මෙ සුනන්‍දා නාමුප පාසිකා
සද්ධා සීලෙන සම්පන්නා - සංවිභාගරතා සදා
මම හැමකල්හිම දන් දීමෙහි ලොල් වූ, ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ උපාසිකාවක්ව රම්‍ය වූ රජගහ නුවර උපන්මි. මගේ නම සුනන්දා නම් වී.
අච්ඡාදනඤ්ච භත්තඤ්ච - සේනාසන පදීපියං
අදාසි උජු භූතෙසු - විප්පසන්නෙන චෙතසා
සෘජු ප්‍රතිපන්න වූ ආර්යයන් කෙරෙහි අතිශයින් ප්‍රසන්න වූ සිතින් වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් සඳහා අවශ්‍ය දේ ද දුන්නෙමි.
චාතුද්දිසිං පඤ්චදසිං - යාව පක්‍ඛස්ස අට්ඨමී
පාටිහාරිය පක්‍ඛඤ්ච - අට්ඨංගසු සමාගතා
උපොසථං උපවසිස්සං - සදා සීලෙසු සංවුතං
සඤ්ඤමා සංවිභාගා ච - විමානං ආවසාමහං.
පාණාතිපාතා විරතා - මුසාවාදා ච සඤ්ඤතා
ථෙයහච අතිචාරාච - මජ්ජපානා ච ආරකා
පඤ්චසික්‍ඛා පදෙ රතා - අරියසච්චාන කොවිදො
උපාසිකා චක්‍ඛුම තො - ගොතමස්ස යසස්සි නො
මම චාතුද්දසී හා පසළොස්වක පෝ දිනවලද, පාටිහාරිය පක්‍ෂ උපෝසථයේ ද, අෂ්ඨාංග සීල සංඛ්‍යාත උපෝසථයේ පෙහෙවස් සමාදන් වීමේ නිරත වීමි. පෙහෙවස් සමාදන් වන උපාසිකාවක් වශයෙන් ශීලයෙන් සංවර වීමි. ප්‍රාණඝාතයෙන්, සොරකම් කිරීමෙන්, බොරු කීමෙන්, සැමියා ඉක්මවා නොයාමෙන්, පතිවත රැකීමෙන්, රහමෙර පානය නො කිරීමෙන් ඊර්ෂ්‍යා පරවශ නොවීමෙන් සීලයෙන් සංවර වූයෙමි. ශික්‍ෂාපද පහම ආරක්ෂා කරමින්, යසර්ශී වූ ගෞතම බුද්ධ ශාසනයේ ආර්ය සත්‍යයන් නුවණින් දකින්නා වූ උපාසිකාවක්ව විසූයෙමි.
තස්සා මෙ ඤාතිකුලා දාසී - සදා මාලාභි භාරතී
තාහං භගවතො ථූපෙ - සබ්බමෙවාභි රොපයිං
එබඳු වූ මට පියාගේ ඤාති කුලයෙන් දාසියක් දිනපතා මට මල් ගෙන එන්නීය. මම ඒ සියල්ලම භාග්‍යවතුන් වහන්සේගේ ස්තූපයෙහි තැන්පත් කළෙමි.
උපොසථෙ වහං ගනත්‍වා - මාලා ගන්‍ධ විලෙපනං
ථූපස්මිං අභිරොපෙසිං - පසන්නා සෙභි පාණිහි
පොහෝ දිනවල මමම ගොස් පැහැදුණු සිතින් යුතුව සියතින්ම මල් ගඳ විලවුන් චෛත්‍යයෙහි පූජා වශයෙන් තැන්පත් කළෙමි.
තෙන කම්මෙන දෙවින්‍ද - රූපං මය්හං ගතිංච මෙ
ඉද්ධී ච ආනුභා වො ච - යං මාලං අභිරොපයිං
දෙව්රජුනි, (මම) යම් මල්දමක් පූජා කළෙම් ද, ඒ පුණ්‍ය කර්මයෙන් මට මේ රූපය ද, ස්වභාවය ද, සෘද්ධිමත් බව ද, ආනුභාවය ද ලැබිණ.
යඤ්ච සීලවතී ආසිං - න තං තාව විපච්චතී
ආසා ච පන මෙ දෙවින්‍ද - සකදාගාමිනී සියන්ති
සක්දෙවිඳුනි, මා යම්කිසි සිල්වතියක් වූයෙම් ද, ඒ සීලය මෙතෙක් විපාක නොදුන්නේ වෙයි. මගේ කැමැත්ත සකෘදාගාමී වීමයි.
එහි ගතී යනු දිව්‍යමය ස්වභාවය හෝ ඉපදීම වෙයි. ඉද්ධි යනු දේව ඍද්ධියයි. අදහස් ඉටුවීම යයි ද අරුත් දැක්විය හැකිය. ආනුභාවො ප්‍රභාවය. පුරින්‍දදා ශක්‍රයාට ආමන්ත්‍රණය කිරීමයි. ඔහු වනාහි ‘පෙර දන් දුන්නේය’ යන අදහසින් ද පුරින්‍දද නම් වේ. (පුරෙ දානං අදාසීති = පුරින්‍දද) යයි කියනු ලැබේ.
ඤාති කුලා පියාගේ නිවස සඳහා මෙසේ කියයි. සදා මාලාභි හාරතී සියලු කල්හිම දවසක් පාසා ඥාති නිවසින් දාසියක විලසින් මා වෙත මල් ගෙන එනු ලැබේ. සබ්බමෙවාභිරොපයිං මගේ පැළඳ ගැනීම සඳහා එවන මල් ද, සුවඳ ද්‍රව්‍ය අන් සියළු දේ ද මා පරිභෝග නොකොට භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍ය වෙත පිදීම් වශයෙන් තැන්පත් කළෙමි. පූජා කළෙමි.