10. පාරිච්ඡත්තක විමන වර්ණනා
පාරිච්ඡත්තකෙ කොවිළාරෙ යනු පාරිච්ඡත්තක විමාන වතුවයි. එහි උත්පත්තිය කෙසේ සිදු වූයේ ද යත්? භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සේක. එසමයෙහි සැවැත්නුවර වාසී එක්තරා උපාසකයෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹ පසුදින සඳහා දනට ආරාධනාකොට, තමාගේ නිවසේ දොරටුව අසල මහත් වූ මණ්ඩපයක් කරවා වටේට වටතිර ද උඩට උඩුවියන් ද, අවට ධජ පතාක ආදිය ද නංවා හාත්පස අලංකාර කොට මෘදු වර්ණ වස්ත්ර ද සුවඳ දුම් මල් ආදිය එල්වා දිය ඉස සුමට කළ පෙදෙසෙහි අසුන් පනවා භාග්යවතුන් වහන්සේට දානය සඳහා වැඩමවීමට සුදුසු කාලය යයි දැන්වීය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ පූර්ව පෙරවරු කාලයේ පාසිවුරු ගෙන හැඳ පොරවා දෙව් විමනක් ලෙස සැරසූ මණ්ඩපයට පිවිස නිල්වන් අහස්කුස බබළන සූර්යයා මෙන් පනවන ලද බුද්ධාසනයේ වැඩහුන් සේක. උපාසක තෙමේ ගඳ දුම් මල්පහන් ආදියෙන් භාග්යවතුන් වහන්සේට පූජා කළේය.
එකල්හි වනාහි දර ගෙනයන්නා වූ එක්තරා ස්ත්රියක් ‘අන්ධවන’ නම් වනයෙහි පිපුණු මල් ඇති අශෝක රුකක් දැක ලා කොල සහ දලු සහිතව පොකුරු වශයෙන් බොහෝ අශෝක මල් ගෙන එන්නී, එහි වැඩසිටි භාග්යවතුන් වහන්සේ දැක ප්රසන්න වූ සිත් ඇතිව අසුන වටකොට තමන් ගෙනා මල් අතුරමින් භාග්යවතුන් වහන්සේට පූජාකොට වැඳ තෙවරක් පැදකුණු කොට නමස්කාර කරමින් ගියාය. ඕ තොමෝ පසුකලෙක කළුරියකොට තව්තිසාවෙහි උපන්නාය. අප්සරාවන් දහසක් පිරිවරාගෙන බොහෝසෙයින් නන්දන උයනේ නටමින් ගයමින් පරසතු මල්මාලා ගොතමින් සතුටින් ක්රීඩා කරමින් සැණකෙළි සිරි විඳගනියි. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පෙර කියන ලද පරිදිම දෙව්ලෝ චාරිකාවෙහි යෙදෙන්නේ තව්තිසා භවනට ගොස් ඇය විසින් කරන ලද පුණ්ය කර්මය කවරීදැයි මේ ගාථාවලින් විමසීය.
පාරිච්ඡත්තකෙ කොවිළාරෙ - රමණීයෙ මනොරමෙ
දිබ්බමාලං ගන්ථමානා - ගායන්ති සම්පමොදසී
දිබ්බමාලං ගන්ථමානා - ගායන්ති සම්පමොදසී
අලංකාර වූ මනරම් වූ පරසතු හා කෝවිළාර සහිත උයනෙහි දිව්යමය වූ මල්මාලා ගොතමින් ගායනා කරමින් ඔබ මහත් සේ සතුටු වන්නෙහිය.
තස්සා තෙ නච්චමානාය - අංග මංගෙහි සබ්බතො
දිබ්බා සද්දා නිච්ඡරන්ති - සවණීයා මනොරමා
දිබ්බා සද්දා නිච්ඡරන්ති - සවණීයා මනොරමා
එබඳු වූ ඔබ නටන කල්හි අඟපසඟින් සියළු ආකාරයෙන් කන් පිනවන මනරම් දිව්යමය වූ නාදයන් නික්මේ.
විවත්තමානා කායෙන - යා වෙණිසු පිලන්ධනා
තෙසං සුය්යති නිග්ඝො සො - තුරියෙ පඤ්චංගිකෙ යථා
තෙසං සුය්යති නිග්ඝො සො - තුරියෙ පඤ්චංගිකෙ යථා
තීගේ හිසේ මුදුන්මල්කඩින් හා දෙපය පටන් හිස දක්වා ගැවසී තිබෙන වස්ත්රාභරණ මාලා භරණ ආදිය වාත වේගයෙන් කම්පිත වනවිට පසඟතුරු නද පැතිරෙයි.
වටංසකා වාතයූතා - වාතෙන සම්පකම්පිතා
තෙසං සුධ්යති නිග්ඝොසො - තුරියෙ පඤ්චංගිකෙ යථා
තෙසං සුධ්යති නිග්ඝොසො - තුරියෙ පඤ්චංගිකෙ යථා
වාතයෙන් කම්පිත වන තීගේ පළඳනා හා ඇඳි වස්ත්රයන්ගෙන් පසඟතුරු නාදය පැතිරෙයි.
යාපි තෙ සිරස්මිං මාලා සුචිගන්ධා මනොරමා
වාති ගන්ධො දිසා සබ්බා - රුක්ඛො මඤ්ජස්සිතො යථා
වාති ගන්ධො දිසා සබ්බා - රුක්ඛො මඤ්ජස්සිතො යථා
මනා සුවඳැති සිත් පිනවන යම්කිසි මල්දමක් ඔබේ හිසෙහි තිබේද එය මංජූසක නම් දිව්ය වෘක්ෂය මෙන් සියලු දිසාවන්හි සුවඳ පැතිරේ.
සායතෙ තෙ සුචිං ගන්ධං - රූපං පස්සසි අමානුසං
දෙවතෙ පුච්ඡිතාචික්ඛ - කිස්ස කම්මස්සිදං ඵලං
දෙවතෙ පුච්ඡිතාචික්ඛ - කිස්ස කම්මස්සිදං ඵලං
එම මනා සුවඳ ඔබ ආඝ්රාණය කරන්නෙහිය. මනුෂ්යත්වය ඉක්ම වූ රූපයකින් යුතුව පෙනෙන්නෙහි ය. දේවතාවියනි, මෙය කවරනම් පුණ්ය ඵලයෙක විපාකයක්දැයි කියන්න.
එහි පාරිච්ඡත්තකෙ කොවිළාරෙ පාරිච්ඡත්තක හෙවත් පරසතු යන නම් ඇති කොවිළාර නම් දිව්ය වෘක්ෂයේ මල් රැගෙන. දිබ්බමාලං ගන්ථමානං දිව්යමය වූ මල්මාලා ගොතමින්, යනුවෙන් අදහස් වේ. ලෝකවාසීහු යමකට පාරිජාත යයි කියත්ද, එය මාගධී භාෂාවෙන් පාරිච්ඡත්තක යයි ද කියති. ‘කොවිළාර’ යනු ද කොවිළාර නම් වෘක්ෂ ජාතියට අයත් වන්නීය. එය මිනිස් දුව ද කෝවිළාර මැයි. එයට ද ‘ජාති’ යයි කියති.
ඒ දෙවඟන නටන කල්හි ශාරීරික කොටස්හි ඇති ‘බර වශයෙන්, ශරීරයෙන් පළඳනාවන්ගෙන් ද, ඉතා මිහිරිහඬ නිකුත් වේ. ගඳ හෝ සුවඳ සදාකල්හිම සියලු දිසාවන්හි සදාකල්හිම පැතිර පවතී. එහෙයින් තස්සා තෙ නච්චමානාය යන්න කීය. එහි සවණීය ඇසීමට සුදුසු කණට හිත වූ යන අදහසයි.
විවත්තමානා කායෙන ඔබගේ වෙනසට පත්වන්නා වූ ශරීරයෙන්, මෙය ඉත්ථම්භූත ලක්ෂණ අර්ථයෙහි කරණ විභක්ති වචනයයි. යා වෙණිසු පිලන්ධනා ඔබගේ කෙස් කැරලිවල යම්බඳු වූ පළඳනාවක් වේද, මෙහි විභක්ති ලෝපයක් ඇති බව දතයුතුය. නැතිනම් නාමපදයක ලිංග විපර්යාසයක් සිදු වී ඇත.
වටංසකා රනින් සෑදු මුදුන් - මුදුන හෝ මුදුන් මල්කඩ යන අර්ථයි. වාතධූතා මද සුළඟින් සෙලවෙන. වාතෙන සම්පකම්පිතා වාතයෙන් හාත්පසින් කම්පනය වූ නැතිනම් චලිත වූ යන අදහසයි. එසේ නැතහොත් වටංසකා වාතධූතා වාතෙන සම්පකම්පිකා යනු වාතයෙන් කම්පිත නොවී හෝ වාතය කම්පිත වීමෙන් යම් ඒ නිවාස මුදුන් කම්පනයට පත්වේ ද, එවිට ඒවායේ ඝෝෂාව ඇසේ යන අදහසයි.
වාති ගන්ධො දිසා සබ්බා එබඳු ඔබගේ හිසෙහි දිව්යමය මාලාදාමයන්හි සුවඳ හමයි. හැම දිසාවන්හිම පැතිරෙයි. කුමක් මෙන් ද යත්, රුක්ඛො මඤ්ජුස්සකො යථා යම් සේ වනාහී මඤ්ජසීසක නම් දිව්ය වෘක්ෂය බොහෝ යොදුන් ගණනක් ඈත තමාගේ සුවඳ සියලු දිසාවන්හි පතුරුවා හරියි ද, එසේම ඔබේ හිසෙහි පළඳින මල්දමින් ද සුවඳ හමා යයි යන අදහසයි. ඒ වෘක්ෂය වූ කලී ගන්ධමාදන පර්වතයෙහි පසේබුදුවරුන් වහන්සේලාගේ පොහෝ කරන ස්ථානය ඒ මධ්යයෙහි පිහිටා ඇත. දෙව්ලොව ද මිනිස්ලොව ද යම් පමණ සුවඳ කුසුම් වේද, ඒවා ඒ වෘක්ෂයේ අතු කෙළවරෙහි හටගනී. ඒවායින් ඒ රුක අතිශයින් සුවඳවත් වන්නේය. ඒ දෙවඟන පළඳින මල්දම මෙබඳුම වෙයි. ඒ නිසා ‘රුක්ඛො මඤ්ජුසකො යථා’ මඤ්ජුසක නම් වෘක්ෂය මෙනි යනු කීහ.