3. පාරිච්ඡත්තක වර්ගය
1. උළාරවිමාන වර්ණනා
පාරිච්ඡත්තක වර්ගයේ උළාරො තෙ යසො වණ්ණො ආදී වශයෙන් උළාර විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි ලෙහෙණ අභය භූමියේ වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහා මුගලන් තෙරුන් වහන්සේ උපස්ථායක කුලයෙක දන් දීමෙහි අදහස් ඇති, දන්දීමෙහි රුචි ඇති, ඒ පිළිබඳව තුටු පහටු සිත් ඇති දැරියක් වූවාය. ඕ තොමෝ ඒ නිවසෙහි පෙරවරුයෙහි ඛාද්ය, භෝද්ය වශයෙන් තැනෙක යමක් වේනම් එහි තමන්ට ලැබුනු කොටසින් අඩක් දන්දෙයි. තමන් අඩක් පරිභෝග කරයි. දන් නොදී අනුභව නො කරයි. ලැබිය යුතු කෙනෙකුන් නොදකින් වුව ඒ කොටස තමා දුටු තන්හිදී දෙන්නීය. යාචකයනට හෝ දෙන්නීය. එකල්හි ඇගේ මව මාගේ දියණිය දීමෙහි අදහස් ඇත්තීය. දන් බෙදීමෙහි රුචි ඇත්තීය යනුවෙන් තුටු පහටු වූවා ඇයට කොටස් දෙකක් දෙන්නීය. දෙන්නා වූ මව ද එක් කොටසක් ඇය විසින් කොටස් කරන ලද කල්හි තව කොටසක් දෙන්නීය. ඕ තොමෝ දුවද එයින් ද අඩක් වෙන් කරන්නීය.
මෙසේ කල්යාමේදී ඇගේ මවුපියෝ ඇය නිසි වියපත් වූ විට, ඒ නගරයෙහිම එක්තරා කුලගෙයක කුමරෙකුට ඇය විවාහ කර දුන්නේය. ඒ කුලය වනාහී මිථ්යාදෘෂ්ටික වූ ශ්රද්ධා රහිත වූ (තෙරුන් කෙරෙහි) නො පැහැදුනා වූ කුලයක් විය. එකල්හි ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ රජගහනුවර පිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන සේක් ඒ දැරියගේ මයිළණුවන්ගේ ගේ දොරකඩ සිටි සේක. උන්වහන්සේ දැක පැහැදුනු සිත් ඇති ඒ දැරිය පිවිසෙන්න ස්වාමීනියි කැඳවාගෙන වැඳ වඩා හිඳුවා නැන්දනිය විසින් කැවුම, නොදක්නා විට, ඇයට පසුව විස්තර කියා අනුමෝදන් කරවන්නෙමියි යන විශ්වාසයෙන් යුතුව නැන්දනිය විසින් තබන ලද කැවුම ගෙන තෙරුන් වහන්සේට පිදුවාය. තෙරණුවෝ අනුමෙවෙනි බණ වදාරා වැඩි සේක. පසුව දැරිය නැන්දනිය අමතා නැන්දනියෙනි, ඔබ විසින් තබන ලද කැවුම් මම මහ මුගලන් හිමියන්ට දුනිමි යි කීවාය. ඕ තොමෝ එය අසා මේ කවරනම් උඩඟුකමක් ද මෙය මා සතුය. මා නො අසාම එය ශ්රමණයා හට දුන්නාය කියා තට තට හඬින් දත් සපමින් ක්රෝධයෙන් පෙළෙමින් යුතු අයුතුකම් නොසිතන්නී ඉදිරිපස තිබූ මොහොල්කඩ ගෙන ඇගේ උරෙහිම ගැසුවාය. ඇය සියුමැලි බැවින්ද, පිරිහුණු ආයු ඇති බැවින් ද, බලවත් දුකින් මඩිනු ලැබ කීප දවසකින්ම කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඇයට වෙනත් සුචරිත කර්මයන් ඇත්තේ නමුදු මුගලන් මහ තෙරුන්ට දෙන ලද දානයම බලවත් වී පිහිටියේය. මුගලන් මහතෙරුන් දෙව්ලොව චාරිකා කරන සේක් අප්සරාවන් දහසක් පිරිවරා ගත් මහත් වූ දේව ලීලාවෙන් බබළන ඇය දැක, ඇය වෙතට ගොස් ඈ විසින් කරන ලද සුචරිත කර්ම විමසමින් මේ ගාථාව වදාළහ.
උළාරො තෙ යසො වණ්ණො සබ්බා ඔභාසතෙ දිසා
නාරියොච නච්චන්ති ගායන්ති දෙවපුත්තා අලංකතා
නාරියොච නච්චන්ති ගායන්ති දෙවපුත්තා අලංකතා
ඔබේ යසස් ද වනය ද උසස් ය. සියලු දස දිසාවන්ම බබුළුවයි. සැරසෙන ලද දිව්ය ස්ත්රීහු ද දිව්ය පුත්රයෝ ද නටත්. ගයත්. වාදනය කරත්.
දැකුම්කළු දේවතාවියනි, ඔබට ගරු කිරීමෙන් දෙවිවරු ඔබ සතුටට පත් කරති. පිරිවරා ගනිති. ඔබගේ මේ විමානය ස්වර්ණමය වේ.
කැමතිවන සියලු දෙයින් සමෘද්ධියට පත් වූ ඔබ පරිවාරක දේවතාවන්ට අධිපති වන්නෙහිය. උසස් උත්පත්තියක් ද, මහත් ආනුභාවයක් ද ඇත්තෙහිය. මෙම දිව්ය නිකාය තුළ ප්රමෝදයට පත්ව සිටින්නෙහිය. එබඳු වූ දේවතාවියනි, මා විසින් ප්රශ්න කරන ලද්දා වූ ඔබ මෙය කවරනම් කුසල ඵලයක් දැයි කියන්න.
එහි යසො පිරිවර. වණ්ණො වර්ණය, ආලෝකය ශරීරාලෝකය. උළාරො යනුවෙන් විශේෂ කොට කියන ලද බැවින් ඒ දේවතාවිය පරිවාර සම්පත්තිය ද වර්ණ සම්පත්තිය ද කියන ලදී. එහි උළාරොතෙ වණ්ණෙ වර්ණයේ උදුර බව සංක්ෂේපයෙන් කියන ලදී. වර්ණ සම්පත්තිය විස්තර වශයෙන් දක්වනු පිණිස ‘සබ්බා ඔභාසතෙ දිසා’ යයි කියා, ‘උළාරො තෙ යසො’යි කියන ලදී. උදාර වූ පිරිවර සම්පත්තිය කථා වස්තුව වශයෙන් සවිස්තරව දක්වනු පිණිස ‘නාරියො නච්චන්ති’ ආදිය කියන ලදී. ස්ත්රීහු නටත්. සබ්බා ඔභාසතෙ දිසා සියලු දිසාවන්හි බැබලීම් සිදුවෙයි. සියලු දිසාවන් බබළවයි යන අදහසයි. ඔභාසතො යන පද ද සමහරෙක් ඔභාසතො කියා ද අරුත් දක්වති. ඔවුන් විසින් වණ්ණෙන යනුවෙන් විභක්ති විපර්යාසයක් ද කළයුතු හේත්වර්ථයේ කරණ විභක්තියයි. හේතු වූ වර්ණයෙන් යන අර්ථයයි. සබ්බාදිසා - සියලු දිශාවන් යනුවෙන් ද, ජාති වශයෙන් දිසාවන්හි ස්ථානභාවය අපේක්ෂා කරනු ලැබූ බැවින් වචන විපර්යාසයෙන් ද ප්රයෝජන ඇත්තේ ය. නාරියො මෙහි වනාහි අලංකා යන පදය හා සම්බන්ධ විය යුතුයි. දෙවපුත්තා මෙහි ච ශබ්දය ලොප්කොට ඇත. එම ච ශබ්දයෙන් නාරියොච දෙවපුත්තාච යනුවෙන් එකතු කොට දැක්වීමක් සිදුවෙතැයි දතයුතු.
මොදෙන්ති සතුටට පත් කරත්. පූජාය පූජා පිණිස හෝ පූජාව නිමිතිකොට. නච්චන්ති ගායන්ති නටත් ගයත් යන අදහස ගතහැකි වේ. තවිමානි තව+ඉමානි, යන පද දෙකේ සන්ධි වීමකි.
සබ්බකාම සමිද්ධින - සියලු පංචකාම ගුණයන්ගෙන් සම්පූර්ණ වූ යන අදහස වේ. අභිජාතා - මනා උපතක් ඇති. මහන්තරී මහත් ආනුභාව ඇති. දෙවකායෙ පමොදයී මෙම දේව කොට්ඨාසයෙහි වූවන් දිව්ය සම්පත්ති හේතුවෙන් උපන් සන්තෝෂයෙන් සතුටට පත් කරන්නේය.
[මනාව ප්රිය වූ යමක් වේද, ඒ සම්පත් ඔබට ලැබෙන්නේය. ඔබට එබඳු වර්ණයක් කුමක් නිසා ලැබුණේද? ඔබට එබඳු සමෘද්ධියක් කුමක් නිසා ලැබුණේද? මහත් වූ ආනුභාව ඇති දේවතාවියනි, ඔබේ වර්ණය සියලු දිසාවන් බබුලුවයි. මෙවැනි දීප්තිමත් ආනුභාවයක් කුමක් නිසා ලැබුනේ ද, මිනිස් ලොවදී කිනම් පිනක් කළේද? අසන්නෙමි.]
මුගලන් මහතෙරුන් විසින් ප්රශ්න කරන ලදුව සතුටට පත් සිත් ඇති ඒ දේවතා තොමෝ මේ ඵලය කවරනම් කර්මයක්හුගේ දැයි අසන ලද ප්රශ්නයට පිළිතුරු වශයෙන් මෙසේ ප්රකාශ කළාය.
මුගලන් මහතෙරුන් විසින් ප්රශ්න කරන ලදුව සතුටට පත් සිත් ඇති ඒ දේවතා තොමෝ මේ ඵලය කවරනම් කර්මයක්හුගේ දැයි අසන ලද ප්රශ්නයට පිළිතුරු වශයෙන් මෙසේ ප්රකාශ කළාය.
මම පෙර භවයෙහි මිනිස්ලොව මිනිසුන් අතර මිනිස් දුවක් වීමි. එහිදී මම දුසිල් ශ්රද්ධා රහිත මසුරු කුල ගෙදරක ලේලියක් වීමි.
හැමකල්හිම ශ්රද්ධාවෙන්, සීලයෙන් යුක්ත වූ මම, දන් දීමෙහි රුචි වූ මම, පිඬු පිණිස වඩින තෙරුන් වහන්සේට කැවුම් පිදුවෙමි.