8. මල්ලිකාවිමානය වර්ණනා
පීත වත්‍ථෙ පීත ධජෙ යනුවෙන් මල්ලිකා විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? දම්සක් පැවතුම ආදිකොට ඇති සුභද පිරිවැජි හික්මවීම කාලය තෙක් කරන ලද බුද්ධ කෘත්‍යය ඇති ලෝකනාථ වූ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජුගේ උපවත්තන උයනෙහි සල්ගස් යුගලය අතරෙහි වෙසක් පුන් පොහෝදින අලුයම් වේලෙහි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ කල්හි දෙව් මිනිසුන් විසින් උන්වහන්සේගේ ශරීරයට පූජා කරනු ලබනවිට එකල කුසිනාරාවෙහි විසූ බන්ධුල මල්ලගේ මෙහෙසිය වූ ශ්‍රද්ධාවන්ත වූ, පැහැදුණා වූ, මල්ලරාජ මෙහෙසිය වූ මල්ලිකා නම් උපාසිකාව විශාඛා උපාසිකාවගේ මහාමේල පළඳනාව සමාන වූ තමන්ගේ මේල පළඳනාව සුවඳ දියෙන් ධෝවනය කොට, තවත් විවිධ පූජා භාණ්ඩ හා මල් ආදිය සමග භාග්‍යවතුන්ගේ ශරීරයට පූජා කළාය. මෙය එම සිදුවීමෙහි කෙටි හැඳින්වීමයි. විස්තර වශයෙන් වනාහි මල්ලිකා කථාවස්තුව ධර්මපද වර්ණනාවේ දක්වන ලද්දේය.
ඕ තොමෝ පසුකලක කළුරිය කොට තව්තිසාවෙහි උපන්නාය. එම පූජාවේ ආනිසංසයෙන් ඇයට අන් අය හා සමාන නොවූ උදාර වූ දිව්‍ය සම්පත්තියක් ලැබුවාය. සත්රුවනින් බබළන්නා වූ ද, විශේෂයෙන් දිලිසෙන රත්තරනින් විශේෂයෙන් ප්‍රභාවත් වූ අලංකාර වූ විමානය සියලු දිශාවන් රත්රන් දියර ඉසින්නාක් මෙන් රන්පැහැ ගැන්වෙයි. එකල්හි ආයුෂ්මත් නාරද තෙරණුවෝ දිව්‍යලෝක චාරිකාවේ හැසිරෙන සේක් ඒ දෙව් විමන දැක එහි පැමිණියහ. ඒ මල්ලිකා දෙවඟන උන්වහන්සේ දැක ඇඳිලි බැඳ සිටියාය. උන්වහන්සේ ඇයගෙන් මෙසේ විමසූහ.
පීතවත්‍ථෙ පීතධජෙ - පීතාලංකාර භූසිතෙ
පීතන්තරාභි වග්ගුභි - අපිළන්‍ධාච සොභති
රන්වන් ඇඳුම් අඳින, රන්වන් කොඩි දරන, රනින්ම බබළන දේවතාවිය, රනින්ම බබළන සළුවලින් සැරසුනා වූ ඔබ ශෝභමාන වන්නෙහිය.
කා කම්බුකායූර ධරෙ - කඤ්චනා වෙළ භූසිතෙ
හෙමජාලක පච්ඡන්නෙ - නානා රතන මාලිනී
රන්වන් බාහු පළඳනා දරන, රන්වන් මල්දම් හිසෙහි දරන, රන්වන් දැලෙන් සිරුර වැසුණ, නොයෙක් රුවන්වන් මාලාදාමයන් පළඳින ඔබ කවරීද?
සොවණ්ණමයා ලොහිතංකමයා - මුත්තමයා වෙළුරියාමයාච
මසාරගල්ලා සහ ලොහිතංකා - පාරාවටක්‍ඛීහි මණීහි චිත්තතා
රනින් කරන ලද්දා වූ ද, පද්මරාග ආදී මැණික්වලින් කරන ලද්දා වූ ද, මුතුවලින් කරන ලද්දා වූ ද, වෛදූර්ය මැණික්වලින් කරන ලද්දා වූ ද, පරාග හා වෛදූර්ය මැණික් වර්ග එකතු කොට කරන ලද්දා වූද, පරෙවි ඇස් වැනි යයි කියනු ලබන, පාරාවටක්‍ඛී නම් මැණික්වලින් කරන ලද්දා වූද, සැරසිලිවලින් ඔබ විචිත්‍ර වී සිටින්නෙහිය.
කොචි කොචි එත්‍ථ මයූර සුස්සරො - හංසස්ස රඤ්ඤො කරවික සුස්සරො
තෙසං සරො සූයති - වග්ගුරූපො - පඤ්චංගිකං තුරිය මිවප්පවාදිනං
මෙහි යම් යම් ආකාරයෙන් වූ මොණරුන්ගේ නාදය ද, හංස රාජයන්ගේ හඬ ද, කොවුලන්ගේ මිහිරි ස්වරය ද, අසන්නට ලැබේ. මනාව වාදනය කරනු ලබන පංචාගික තූර්ය නාදය මෙන් ඔවුන්ගේ හඬ ශ්‍රවණය වේ.
රථො ච තෙ සුභො වග්ගු - නානාරතන චිත්තිතො
නා නා වණ්ණාහි ධාතුහි - සුවිභත්තෙව සොභති
විවිධ රත්නයන්ගෙන් විසිතුරු වූ, යහපත් වූ මනෝඥ වූ, ඔබගේ රථය ද විවිධ ආකාරයේ කොටස් වලින් එකිනෙකට ගැලපෙන සේ පවතිමින් ශෝභමාන වේ.
තස්මිං රථෙ කඤ්චන බිම්බ වණ්ණෙ - යත්‍ථට්ඨිතා භාසසිමං පදෙසං
දෙවතෙ පුච්ඡිතාවික්‍ඛ - කිස්ස කම්මස්සිදං ඵලං
ස්වර්ණ බිම්බයක වර්ණය ඇති ඒ රථය යම් තැනක තිබේද, ඒ පෙදෙසම බබළන්නේය. දේවතාවියනි, මෙය කවර කර්මයක ඵලයක්ද යන බව ප්‍රශ්න කරන මට කියන්නැයි විචාළේය.
එහි පීතවත්‍ථෙ පිරිසිදු රත්රත්නවල බැබළීමෙන් කහපැහැ ගත් වස්ත්‍රයෙහි, පීතධජෙ විමාන දොරටුවෙහිද රථයෙහිද ඔසවා තබන ලද ස්වර්ණමය වූ විශාල වූ, කොඩියක් වන බැවින් රන්වන් ආලෝකයෙන් බබළන ඒ කොඩියෙහි. පීතාලංකාර භූසිතෙ රන්වන් දීප්තිය විහිදුවන ආභරණයන්ගෙන් අලංකාර කළ, බොහෝ වූ අලංකාර සැරසිලිවලින් හා රැස් දහරා සමූහයකින් බබළන විසිතුරු රත්නයන්ගේ විසිතුරු බවත් ඇත. ඇගේ ආභරණ විශිෂ්ට සැකසීම්වලින් නිමවන ලද බැවින්ම, සුපිරිසිදු රත්රන්හි රැස් දහරින් දිලිසෙයි. එහෙයින් විශේෂයෙන් රන්වන් ආලේපයෙන් බබළන්නේ වෙයි. පීතන්තරාභී - පීත වර්ණයෙන් රන්පැහැයෙන් යුත් සළුවලින්, සන්තරුත්තර පරමං තෙන භික්‍ඛුනා තතො චීවරං සාදිතබ්බං යනාදී තන්හි වස්ත්‍රය යන අර්ථයෙහි, අන්තර ශබ්දය දක්නට ඇත. මෙහිදී වනාහි අන්තරසාටිකා යන ආදියෙහි මෙන් උතුරු සළුව යන අර්ථයෙහි අන්තර ශබ්දය යෙදී ඇත. අන්තරා - උත්තරියං, උත්තර සංඝො, උපසම්බපානං යන මේ වචන වස්ත්‍රය යන අර්ථය සඳහා යෙදෙන ස්ථානාර්ථ පදයන්ය. වග්ගුහි යහපත් වූ සිනිඳු වූ, අපිලන්‍ධාච සොභසී ඔබ මේ අලංකාරයන්ගෙන් අලංකාරවත් නො කරනු ලබන්නෙහිය. තමන්ගේ රූප සම්පත්තියෙන්ම ශෝභමාන වන්නෙහිය. ඒ අලංකාරයෝ වනාහි ඔබගේ සිරුරට පැමිණ ශෝභමානවත් වේ. එහෙයින් අලංකාරවත් නොකරන ලද්දා වූ ද ඔබ අලංකාර කරනු ලැබූ තැනැත්තියකට සමාන වේ යන අදහසයි.
කා කම්බුකායූරධරෙ ඔබ නුවර දේවතා කණ්ඩායමකින් පැමිණි කවරනම් තැනැත්තියක් ද, රනින් කළ ආභරණ ඇඳුමක් දරා සිටින දේවතාවියක් නැතහොත් රනින් කළ බාහු වළලු දරා සිටින දේවතාවියක් යන අර්ථයි. කම්බුපරිභාරිතා යනු අතෙහි පළඳින අලංකාර විශේෂයක් යයි කියනු ලැබේ. කෙයූරං යනු බාහු අලංකාර විශේෂයකි. ‘කම්බු’ යනු රත්රන්ය. එහෙයින් කම්බුකායූරධරෙ යනු රනින් කළ බාහු ආභරණ දරන්නී යන අදහසයි. කඤ්චනා වෙළ භූසිතෙ රනින් කළ හිස් පළඳනාවකින් අලංකාරවත් වූ, හෙමජාලක පච්ඡන්නො රන්හුයෙන් මසන ලද රන්මුවා දැළකින් ආවරණය කරගත් සිරුර ඇති නානාරතන මාලිනී කළුවර අඩමසෙහි රාත්‍රියක තරුපෙළක් මෙන් හිස පැළඳගත් විවිධ රුවන්වැල්වලින් යුත් නානාරතනමාලිනී යයි කිවහැකි වූ ඔබ කවර තැනැත්තියක්දැයි යට දැක්වූ ගාථාවන් මගින් ප්‍රශ්න කරයි.