7. සෙසවතී විමාන වර්ණනා
එලිකරජතහෙමජාලච්ඡන්නං යනුවෙන් සෙසවති විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි වාසය කරන සේක. එසමයෙහි මගධ රට නාලක නම් ගමෙහි එක්තරා මහා සතර කුලගෙයක ‘සෙසවතී’ නම් වූ ලේලියක් වූවාය. ඇය වනාහි කාශ්යප බුදුන් වහන්සේගේ යොදුනක් වූ ස්වර්ණමය චෛත්ය ඉදිකරවනු ලබන කල්හි දැරියක් වී මව සමග චෛත්ය ස්ථානයට ගොස් ‘මෑණියනි, මේ මනුෂ්යයෝ කුමක් කරත්දැයි ප්රශ්න කළාය. චෛත්යය ඉදිකිරීමට රන්ගඩොල් සකසතියි මව කීවේය. ඒ අසා ප්රසන්න වූ සිත් ඇතිකරගත් දැරිය ‘මෑණියනි, මගේ ගෙලෙහි රනින් කළ මේ කුඩා පළඳනාව තිබේ. මම මෙය චෛත්යය සඳහා දෙන්නෙමියි මවට කීවාය. මව ‘යහපති දෙන්න යයි කියා එය දුවගේ ගෙලෙන් ගලවා රන්කරුවාගේ අතට දී මෙය මේ දැරිය විසින් පරිත්යාග කරන ලදී. මෙයද ඇතුල්කොට ගඩොල් සාදන්න යයි කීවාය. රන්කරුවා එසේ කළේය. ඒ දැරිය පසුකල කලුරිය කොට ඒ පිනෙන්ම දෙව්ලොව ඉපිද භවයෙන් භවය සුගතියෙහිම හැසිරෙමින් අප බුදුන් කල නාලක නම් ගමෙහි ඉපිද පිළිවෙලින් දොළොස්වන වියට පැමිණියාය.
ඇය එක් දවසක් මව විසින් යවන ලද මුදලක් ගෙන තෙල් (ගැනීම) සඳහා යම්කිසි වෙළඳ සැලකට ගියාය. ඒ වෙළඳසැලෙහි එක්තරා වෙළඳ කෙළෙඹි පුත්රයෙක් පියා විසින් තැන්පත් කොට තබන ලද බොහෝ වූ රන් කැබලි, රන්මුතු මැණික් ආදි රත්නයන් ගැනීමට ඒවා ඔසවන්නේය. එම බලයෙන් කැබලිති ගල්කැට බොරලු ආදී ස්වභාවයෙන් තිබුණු බව දැක එයින් එක් කොටසක් යම්කිසි පින්වතුන්ගේ බලයකින් අමු රත්රන් හෝ රන් අබරණ ආදිය හෝ බවට පත්වන්නේදැයි විමසීම පිණිස රැස්කොට තැබීය. එකල්හි පෙර කී දැරිය එය දැක වෙළඳසැලෙහි රත්රන් කුමක් හෙයින් මෙසේ තබන ලද්දේ ද හොඳින් තැන්පත් කළයුතු නොවේද යනුවෙන් ඇසුවාය. වෙළඳ තෙමේ එය අසා මේ දැරිය මහා පිනැත්තියද මැයගේ බලයෙන් මේ සියල්ල රත්රන් ආදිය බවටම පත් වී අපගේ අසුභ බව පහ වී යන්නේ යැයි ද ඇය ලබාගත යුත්තේ යයි ද සිතා ඇයගේ මෑණියන් සමීපයට ගොස් මේ දැරිය මගේ පුතා හට දෙනු මැනවයි කියා කැමති කරවාගෙන බොහෝ ධනය දී ආවාහ විවාහ සිදුකොට ඇය තමාගේ නිවසට ගෙන ආයේය. ඉක්බිති ඇයගේ සිල්වත් හැසිරීම ගැන බඩු ගබඩාව විවෘත කොට මෙහි කුමක් නම් දකින්නෙහිදැයි අසා රැස්කරන ලද අමු රත්රන් රන් අබරණ මැණික් ආදිය දකිමි’යි ඇය විසින් කියන ලද කල්හි මේවා ඇගේ කර්ම බලයෙන් අතුරුදන් වූ ඒවාය. ඔබගේ පුණ්ය විශේෂත්වය නිසා නැවත රත්තරන් බවට පත්විය. ඒ නිසා මෙතැන් පටන් මේ නිවසෙහි සියල්ලම ඔබම පාලනය කරන්න. ඔබ විසින් දෙනු ලබන දෙයක්ම අප පරිභෝග කරන්නෙමු යයි කියා එතැන් පටන් ඇයට සේසවතී යයි ව්යවහාර කළහ.
ඒ අවධියෙහි ආයුෂ්මත් දම් සෙනෙවි සැරියුත් තෙරණුවෝ තමාගේ ආයු සංස්කාරය නිම වී ඇති බව දැන මගේ මෑණියන් වන රූපසාරී බැමිණියට මා පෝෂණය කිරීම සඳහා ගෙවිය යුතු මිල ගෙවා පිරිනිවන් පාන්නෙමියි සිතා භාග්යවතුන් වහන්සේ වෙත එළඹ පිරිනිවීම අනුදන්වා ශාස්තෲන් වහන්සේගේ අණින් මහත් වූ ප්රාතිහාර්යයක් දක්වා බොහෝ වූ තුති පිදීම් දහස් ගණනකින් භාග්යවතුන් වහන්සේට ප්රශංසා කොට පෙනෙන තෙක් මානයේ අවසානය දක්වා බුදුන් වෙත අභිමුඛවම පසුපසට ගොස් නැවත ද වැඳ භික්ෂු සංඝයා විසින් පිරිවරනු ලැබූ විහාරයෙන් නික්ම භික්ෂු සංඝයාට අවවාද දී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සනසවා (භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන) සිවු පිරිස නවත්වා අනුපිළිවෙලින් නාලක නම් ගමට පැමිණ මෑණියන් සෝවාන් ඵලයෙහි පිහිටුවා අලුයම් කාලයෙහි තමා උපන් කුටියෙහිදීම පිරිනිවන් පෑහ. පිරිනිවියා වූ උන්වහන්සේගේ ශරීරයට දෙවියෝ ද මනුෂ්යයෝ ද දින සතක්ම ගරුසත්කාර කරමින් කල්ගෙවූහ. සියක් රියන් උස් වූ චිතකයක් අගිල්, සඳුන් ආදියෙන් ඉදි කළහ.
‘සේසවතී’ ද තෙරුන් වහන්සේගේ පිරිනිවීම අසා එහි ගොස් පූජා කරන්නෙමි’යි රන්මලින් ද සුවඳ වර්ණවලින් ද පුරවන ලද කරඬු ගෙන්වා ගෙන යනු කැමැත්තී මයිලණුවන් විචාරා ඔහු විසින් ඔබ ගරුසරු අයෙකි. මහජනතාව නිසා ඉඩකඩ අඩුය. මල් හා සුවඳ ද්රව්ය යවා මෙහිම නවතින්න යයි කියන ලද්දී නමුදු හටගත් ශ්රද්ධාව ඇත්තී ඉදින් එහිදී මගේ ජීවිතයට අනතුරක් වන්නේ වුවද එහි ගොසින්ම පූජා සත්කාර කරන්නෙමියි (මයිලණුවන්ගේ) එම වචනය පිළිනොගෙන පිරිවර සහිතව එහි ගොස් සුවඳ ද්රව්ය හා මල් ආදිය පුදා ඇඳිලි බැඳ ගෙන සිටියාය. එකල්හි තෙරුන් වහන්සේ පිදීමට පැමිණි රජ පිරිස්වල ඇතෙක් මත් වී ඒ (සෙසවතී සිටි) පෙදෙසට පැමිණියේය. එම ඇතු දැක මරණ බියෙන් බියපත් වූ මිනිසුන් පලායන කල්හි මිනිසුන්ගේ තෙරපීමකින් (බිම) වැටුණ සේසවතිය මහජනතාවගේ පෑගීමට ලක් වී මරණයට පත් වූවාය. ඕ තොමෝ පූජා සත්කාර කොට තෙරණුවන් කෙරෙහි යොමු වූ ශ්රද්ධාවෙන් ප්රසන්න සිත් ඇතිවම කාලක්රියාකොට තව්තිසා භවනයෙහි උපන්නාය. අප්සරාවෝ දහසක් ඇයට පිරිවරද වූහ.