6. දද්දල්ල විමන වර්ණනා
දද්දල්ලමානා වණ්ණෙන යනුවෙන් දද්දල්ල විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයෙහි වැඩවාසය කරන සේක. එසමයෙහි නාල නම් ගමේ ආයුෂ්මත් රේවත නම් තෙරණුවන්ගේ උපස්ථායක වූ එක්තරා කෙළෙඹියකුට දියණිවරු දෙදෙනෙක් වූහ. ඒ අතුරෙන් එක් තැනැත්තියක් භද්දානම් ද අනෙක් තැනැත්තිය සුභද්දා නම් ද වූහ. ඔවුන් අතරින් භද්දා නමැත්තිය පතිකුලයට ගියාය. ඕ ශ්‍රද්ධාවන්ත වූවා, බුද්ධිමත් වූවා ප්‍රසන්න වූවා, නමුත් වඳ අඟනක වූවාය. ඕ තොමෝ තම ස්වාමියාට මෙසේ කීවාය. සුභද්දා නම් වූ මගේ කණිටු සොහොයුරිය සිටී. ඇය ගෙන එන්න ඉදින් ඇයට පුතකු ලැබෙන්නේ නම් ඔහු මට ද පුතු වන්නේ ය. මෙසේ කුල පරපුරද නොනස්නේ යයි සැමියාට කීවාය. හෙතෙමේ ද යහපතැයි පිළිගෙන එසේ කළේය.
ඉක්බිති භද්දා තොමෝ ‘සුභද්දාවෙනි, දන්දීමෙහි නියැලෙමින්, ධාර්මිකව හැසිරෙමින්, අප්‍රමාදී වන්න. එසේ කිරීමෙන් මෙලොව වශයෙන් ද, පරලොව වශයෙන් ද යහපතක් අත්පත් වන්නේම වේ.’ යයි සුභද්‍රාවට ඔවදන් දුන්නාය. ඇයගේ අවවාදයෙහි පිහිටා කියන ලද පරිද්දෙන්ම පිළිපදින්නා වූ සුභද්දා තොමෝ, එක් දිනක් ආයුෂ්මත් රේවත තෙරණුවන් ඇතුළු අටනමකට දානයට ආරාධනා කළාය. තෙරණුවෝ ද සුභද්දාවට පින් රැස්වීම පිළිබඳව සිතා දානයට සංඝයා තෝරාගැනීම් වශයෙන් භික්‍ෂු සත්නමක් ගෙන ඇගේ නිවසට වැඩමවූහ. ප්‍රසන්න වූ සිත් ඇති මේ තොමෝ ආයුෂ්මත් රේවත තෙරණුවන් හට ද අනික් භික්‍ෂූන්ට ද ප්‍රණීත වූ ඛාද්‍යයෙන් හා බෝද්‍යයෙන් සිතින්ම සංග්‍රහ කළාය. තෙරණුවෝ අනුමෙවෙනි බණ වදාරා ගියහ. ඕ තොමෝ පසුකල්හි කළුරිය කොට නිර්මාණරතී දෙව්ලොව උපත ලැබුවාය.
සුභද්දා තොමෝ තමාගේ දිවසැපත ගැන සලකා බලා කවරනම් පිනකින් මෙහි උපන්නේ වේදැයි සිහි කරන්නී ‘භද්දාගේ අවවාදයෙහි පිහිටා සංඝගත කොට දන් දීමෙන් මේ සැපතට පැමිණියා වෙමි’යි දැක භද්දා වූ කලී කොහේ උපන්නාදැයි බලන්නී ශක්‍රයාගේ පරිචාරිකාවක ලෙස උපන් ඇය දැක අනුකම්පා කරන්නී ඇගේ විමනට පැමිණියාය. එවිට භද්ද දෙවඟන ගාථා දෙකකින් මෙසේ විමසුවාය.
දද්දල්ලමානා වණ්ණෙන - යස්සා ච යසස්සිනී
සබ්බෙදෙවෙ තාවතිංසෙ - වණ්ණෙන අතිරෝචසී
ඔබ වර්ණයෙන් අතිශයින්ම බබළන්නීය. යසසින් ද වැඩි යසස් ඇත්තීය. තතිසාවෙහි සියලු දෙවියන් ඉක්මවා වර්ණයෙන් බබළන්නීය.
දස්සනං නාභිජානාමි - ඉදං පඨමං දස්සනං
කස්මා කායානු ආගම්ම - නාමෙන භාසසෙ මමං
ඔබ කලින් දැක ඇති බවක් නො දනිමි. මේ පළමුවන වර දැක්මයි. කුමක් හෙයින් කොහි සිට පැමිණියෙහිද, මගේ භද්දා නමින් මා අමතන්නෙහිද?
මෙසේ විචාළ කල්හි ඇය පිළිතුරු දෙන්නී,
අහං භද්දෙ සුභද්දාසිං - පුබ්බෙ මානුසිකෙ භවෙ
සහ භරියා ච තෙ ආසිං - භගිනීච කණිට්ඨකා
භද්දාවෙනි, පෙර මිනිස් ලොවෙහි දී මම සුභද්ද නම් වුයෙමි. ඔබ හා සමාන භාර්යාවක් ද, ඔබගේ කණිටු සොහොයුරිය ද වූයෙමි.
සා අහං කායස්ස භෙදා - විප්පමුත්තා තතො චුතා
නිම්මානරතීනි දෙවානං - උප්පන්නා සහව්‍යතං
ඒ මම මරණින් පසු එතැනින් චුත වී නිර්මාණරතී දේව සභාවට පැමිණ උපන්නෙමි. - ගාථා ද කීයේ ය.
එහි වණ්ණෙන වර්ණ ආදී සම්පත්තියෙන් දස්සනං නාභිජානාමි මින් පෙර ඔබේ දැක්මක් වී යයි නො දනිමි. ඔබ මා විසින් මීට පෙර දක්නා ලදැයි නො සිතමි. පෙර දක්නා ලද්දියක නොවේ යන අර්ථයි. එහෙයින් ඉදං පඨම දස්සනං යයි කීය. මේ පළමු දැකීමයි යනුවෙන් කීවාය. කස්මා කායානු ආගම්ම නාමෙන භාසසෙ මමං කවරනම් දේව කොට්ඨාසයකින් පැමිණ ‘භද්දෙ’ යන නමින් මා අමතන්නෙහි ද?
අහං භද්දෙ යන මෙහි භද්දෙ යනු ආලපනයයි. ආමන්ත්‍රණයයි. සුභද්දාසිං මම සුභද්ද නම් වෙමි. ඔබගේ භගිනී කණිට්ඨාකා අසිං ඔබගේ කණිටු සොහොයුරිය වූවෙමි. එහි පුබ්බෙ මුනාසක භවෙ සහ භරියා යන්නෙහි සහ භරියා යනු ‘සමාන බිරිඳයි’ යන අදහසයි. තෙ ඔබේ සමග එක් අයකුගේ බිරිඳක් ඔබේ සැමියාගේම බිරිඳ වුයෙමි යන අර්ථයි. නැවත භද්ද මෙසේ විචාළාය -
බෙහෙවින් කරන ලද පින් ඇති සත්ත්වයෝම නිර්මාණරතී දෙව්ලොව උපදින සුභද්දාවෙනි, ඒ දෙවියන් අතර වෙසෙන ඔබ තමන්ගේ උපත පිළිබඳව තොරතුරු කියන්න.