5. ගුත්තිල විමාන වර්ණනා
සත්ත තන්තිං සුමධුරං යනාදී වශයෙන් ආරම්භ වන්නේ ගුත්තිල විමාන වර්ණනාවයි. භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වාසය කරන කල්හි ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ පළමු කී නයින්ම, දෙව්ලොව හැසිරෙන්නේ තව්තිසා භවනට ගොස් එහි පිළිවෙළින් පිහිටියා වූ සතියක් වූ විමානයන්හී වෙන් වෙන්ව අප්සරාවන් දහස බැගින් පිරිවර ඇතිව මහත් වූ දිව්‍ය සම්පත් විඳින සතිසක් වූ දෙව් දූවරුන් දැක ඒ දෙවඟනන් විසින් පෙර කරන ලද කර්මයන්, අභික්කන්තෙන වණ්ණනා ආදී ගාථා තුනකින් විචාළහ. ඒ දෙවඟනෝ ද උන්වහන්සේගේ ප්‍රශ්නයට අනුකූලව ‘වත්‍ථුත්ත වදායිකා’ ආදී වශයෙන් ගාථාවන්ගෙන් පිළිතුරු ප්‍රකාශ කළහ. ඉක්බිති තෙරණුවෝ එතැනින් මිනිස් ලොවට පැමිණ ඒ සියළු පුවත් තථාගතයන් වහන්සේට සැළකර සිටියහ. භාග්‍යවතුන් වහන්සේ ඒ අසා ඒ දෙව්ලියෝ හුදෙක් ඔබ විසින්ම අසන ලදුව ඔබට පමණක් ප්‍රකාශ කරන ලද්දේ නොවේ. පෙර මා විසිනුදු ප්‍රශ්න කරන ලදුව මා සමගද එසේම ප්‍රකාශ කළාහු යයි වදාළහ. තෙරුන් වහන්සේ විසින් එය වදාරන ලෙස ආරාධනා කරන ලදුව තථාගතයෝ තමන්ගේ අතීත ගුත්තිල ජාතකය දේශනා කළහ.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය කරන සමයෙහි බෝසතාණෝ ගාන්ධර්ව කුලයෙහි ඉපිද, ගාන්ධර්ව ශිල්ප ඥානයෙන් කෙළ පැමිණ තිම්බරු - නාරද ගාන්ධර්වයන්ට සමාන ලෙසම සියලු දිශාවන්හි ප්‍රකට වූ ප්‍රසිද්ධ වූ ගුත්තිල යන නම් ඇති ප්‍රකට ආචාර්යවරයෙක්ව විසීය. හෙතෙම මහළු වූ අන්ධ වූ තම මවුපියන් පෝෂණය කරයි. ඔහුගේ ශිල්ප නිපුණතාවය අසා උදේනී නුවර වාසී මූසිල නම් ගාන්ධර්වයෙක් එහි පැමිණ ඔහු වැඳ එකත්පස්ව සිටියේය. කුමක් නිසා පැමිණියේ දැයි විමසූ කල්හි ඔබතුමාණන් සමීපයෙන් ශිල්ප ඉගෙනීමට පැමිණියෙමියි කීය. ගුත්තිල පඬි තෙමේ ඒ තැනැත්තා දෙස බලා දේහ ලක්‍ෂණ විනිශ්චයෙහි දක්‍ෂ බැවින් මේ තැනැත්තා විෂ්ම පැවතුම් හා අදහස් ඇත්තෙකි. නපුරු තැනැත්තෙකි. පරුෂ අයෙකි. අකෘතඥයකු වන්නේ යයි දැක ශිල්පයෙන් සංග්‍රහ නො කළ යුතු යයි සිතා ශිල්ප ඉගෙනීම සඳහා අවසර නුදුන්නේය. හෙතෙමේ ඉන්පසු ගුත්තිල පණ්ඩිතයන්ගේ මවුපියන් ඇසුරුකොට සිත්ගෙන ඔවුන් ලවා ගුත්තිල පඬිට කියවා යාඥා කරවීය. මව්පියන්ගේ බසට කීකරු වූ ගුත්තිල, මවුපියන්ගේ වචනය නො ඉක්මවා මූසිලට ශිල්ප ඉගැන්වීමෙහි පිහිටුවා තමන් මසුරු නොවන බැවින් ද, කාරුණික බැවින් ද ගුරුමුෂ්ටි නො තබාම සියලු ශාස්ත්‍රයම උගැන්වීය.
ඒ මූසිල තෙමේත්, පෙර කරන ලද පුරුද්ද ඇති බැවින් ද, අලස නොවන බැවින් ද, නුවණ ඇති බැවින් ද ඉතා ටික කලකින්ම පිරිසිදු ශිල්ප ධාරියෙක් විය. ශිල්ප පුහුණු වූ මූසිලට මෙසේ සිතිණ. මේ බරණැස් නුවර වූ කලී දඹදිව අගනුවරයි. මා මෙහි රජු සහිත පිරිසට ශිල්ප දක්වන්නේ නම් සුදුසු වන්නේය. එසේ කරන මම ඇදුරහුටද වැඩියෙන් දඹදිව ප්‍රකට වූත්, ප්‍රසිද්ධ නමක් ඇත්තා වූත් කෙනෙක් වන්නෙමියි සිතුවේය. මම රජු ඉදිරියෙහි ශිල්ප දැක්වීමට කැමති වෙමි රජුට මා දක්වන්නැයි හෝ ඇදුරුවරයාට කීය. ගුත්තිල තෙමේ මා සමීපයේ ශිල්ප ලද්දා වූ මොහු පිහිටක් ලබාවායි කරුණා පෙරදැරිව ඔහු රජු වෙත පමුණුවා ‘මහරජතුමනි, මගේ මේ අතවැසියාගේ වීණා පුහුණුව බලනු මැනවි’යි කීය. රජ තෙමේ යහපතැයි එකඟ වී, ඔහුගේ වීණා වාදනය අසා සතුටු වූයේ, ඔබ කැමති නම් ඔහු මා සමීපයේ නවත්වා යන්න. ඇදුරුතුමාට දෙන වැටුපෙන් අඩක් දෙන්නෙමියි කීය. මූසිල තෙමේ මම ඇදුරුතුමන්ට වඩා දැනුමෙන් අඩු වූවෙක් නොවෙමි. සමසේ ධනය දෙන්නැයි කීය. රජු ‘එසේ නො කියව. ඇදුරු තෙමේ ම උතුම්ය. ඔබට අඩක් ම දෙන්නෙමි යි රජු නැවත කීය. එවිට මගේ ද ඇදුරුතුමාගේ ද ශිල්ප දක්ෂතාවය බලන්නැයි මූසිල රජුට කියා රජ මැදුරින් නික්ම ‘මෙයින් සත්වන දිනයෙහි’ ‘මගේ ද ගුත්තිල ඇදුරාගේ ද ශිල්ප දැක්වීමක් රජගෙදර මහමළුවේ දී සිදුවේ. එය දකින කැමැත්තෝ දකිත්වායි ඒ ඒ තන්හි ඇවිදිමින් හඬ නගා කීවේය.
ගුත්තිල ඒ අසා මේ තෙමේ තරුණයා බලවත්ය. මා වනාහි මහලුය. දුබලය. ඉදින් මට පරාජය සිදුවී නම් ඒ පරාජය ලැබ ජීවත් වනවාට වඩා මරණය උතුම්ය. යහපත් වන්නේය. එබැවින් වනයට ගොස් ගෙළ වැළලාගෙන මිය යන්නෙමියි වනයට ගිය නමුදු, මරණ බියෙන් තැතිගෙන ආපසු හැරුණේය. නැවතද මැරෙනු කැමති වී වනයට ගොස් නැවතද මරණ බියෙන් ආපසු හැරුනේය. මෙසේ යාම ඊම කරන ඔහුගේ ගමන්මග පිහිටි තණකොළ ද මැළවී නැති වී ගියේය. මේ දුටු සක්දෙවි රජු ගුත්තිල වෙත පැමිණ පෙනෙන රූපය ඇතිව අහසෙහි සිට ‘ඇදුරාණෙනි, කුමක් කරන්නේදැයි ඇසීය. ගුත්තිල පඬිතුමා සිය අදහස පැහැදිලි කරමින් මෙසේ කීය.