4. ලතාවිමාන වර්ණනා
ලතාච සජ්ජා පවරා ච දෙවතා යනුවෙන් ලතා විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙති. එසමයෙහි සැවැත් නුවර වැසි එක්තරා උපාසකයකුට පණ්ඩිත වූ ව්‍යක්ත වූ ඥානවන්ත වූ, ලතා නමින් දුවක් වූවාය. විවාහ වී ස්වාමියාගේ නිවසට ගිය ඇය සැමියාට ද නැදිමයිලන්ට ද මනාප ලෙස හැසිරෙමින් ප්‍රිය තෙපුල් ඇතිව, අතවැසියනට ද මනාව සංග්‍රහ කරමින් නිවසෙහි පවුල්බර දැරීමට සමත්කම් දක්වමින් ක්‍රෝධයෙන් තොරව ශීලාචාරව, දන්දීමෙහි ඇලෙමින් කඩ නොකොට පන්සිල් රකිමින් පොහොයට පෙහෙවස් රකිමින් අප්‍රමාදීව වාසය කළාය. ඕ තොමෝ පසුකලෙක කලුරියකොට වෛශ්‍රවණ මහරජුට දුවක් වී උපන්නාය. එහිදී ද ඇගේ නම ‘ලතා’ ම විය. ඇයට සජ්ජාය, සවණාය, අච්චිමතිය, සුතා යනුවෙන් සොහොයුරියන් සතර දෙනෙක් ද වූහ. සක්දෙව් රජු මේ පස්දෙනාව ගෙන්වාගෙන නාටිකාංගනාවන් වසයෙන් පරිචාරිකා භාවයෙහි පිහිටුවන ලදහ. ලතා නම් දෙවඟන වනාහි නැටුම් ගැයුම් ආදියෙහි දක්වන දක්ෂතා නිසා ඇය සක්දෙවිගේ සිතට වඩාත් ප්‍රිය වූවාය.
එකට එකතු වී සුවපහසු ඇතිව උන්නා වූ ඒ දිව්‍ය දුහිතෲන් අතර සංගීත නිපුණතාවය අරභයා විවාදයක් හටගත්තේය. ඔව්හු සියල්ලෝම වෛශ්‍රවණ රජු වෙත ගොස් පියාණනි, අප අතරින් කවර තැනැත්තියක් නැටුම් ආදියෙහි දක්ෂදැයි විමසූහ. යන්න දූවරුනි, අනෝතත්ත විල්තෙර දේව සමාගමයේ දී සංගීතය පවත්වන්න. එහිදී ඔබගේ විශේෂත්වය ප්‍රකට වන්නේ ය යනුවෙන් කීය. ඒ දියණිවරු ද එසේ කළහ. ලතා නටන කල්හි තමන්ගේ ප්‍රකෘති ස්වභාවයෙන් සිටීමට ඒ දිව්‍යපුත්‍රයෝ අසමත් වූහ. හටගත් මහත් ප්‍රීතිය ඇතිවී ආශ්චර්ය අද්භූත සිත් ඇති වී, නිරතුරුව සාදුකාර දෙන්නා වූ, වෙරළ ඉක්මවා යන මුහුදෙහි හඬ මෙන් විශාල ලෙස පැතිරෙන ශබ්ද පවත්වන්නා වූ එම දිව්‍ය පුත්‍රයෝ හිමාලය කම්පා කරන්නාක් මෙන් මහත් සේ හඬ නැගුහ. අනෙක් දෙවඟනන් නටන කල්හි සිසිර ඍතුවෙහි කොවුලන් මෙන් නිහඬව සිටියහ. මෙසේ එහි සංගීතයේ දී ලතා දෙවඟනගේ විශිෂ්ටත්වය ප්‍රකට විය.
ඉක්බිති එම දේව දුහිතෲන් අතරින් ‘සුතා’ නම් දෙව්දුවට මෙසේ අදහසක් උපනි. කවරනම් කර්මයක් කොට මේ ලතා නමැත්තිය වර්ණයෙන් ද යසසින් ද, අප අභිභවා සිටින්නීද, ලතා විසින් කරන ලද කර්මය මා විසින් විමසන්නේ නම් සුදුසු වේ. මෙසේ සිතා ඕ තොමෝ ඇගෙන් විචාළාය. ඇය (ලතා ද) ඕ හට (සුතා දෙව්දුවට) ඒ කර්මය පැහැදිළි කර දුන්නාය. වෙසවුණු මහරජ තෙමේ ඒ මේ කරුණු සියල්ල දේවචාරිකා වශයෙන් එහි පැමිණි මහ මුගලන් තෙරුන් වහන්සේට කීවේය. තෙරුන් වහන්සේ ඒ කරුණු අසා දැන මුලසිටම භාග්‍යවතුන් වහන්සේට සැළකර සිටියේය.
වෛශ්‍රවණ හෙවත් වෙසවුණු රජුට ලතා, සජ්ජා පවරා, අච්චිමුඛී, සුතා යන නම්වලින් යුතු දූවරු පස්දෙනෙක් ඇත්තාහ. ඈලා සක්දෙව් රජුගේ පරිචාරිකා දෙවඟනෝ වෙති. ඔව්හු ස්වභාවයෙන්ම පිහිටි ගුණ සේම ශෝභමාන ද වන්නාහුය.
මෙම දිව්‍ය ස්ත්‍රීහු පස්දෙන සිසිල් දිය ඇති මහනෙල් මලින් යුත් රමණීය වූ නදියට දිය නෑම සඳහා ගියහ. ඒ දෙවඟනෝ එහි ජලස්නානය කළහ. ප්‍රීතිමත් වූහ. නැටූහ - ගැයූහ. එහි දී සුතා නම් දෙවඟන ලතා දෙවඟනට මෙසේ කීවාය.
උපුල් මල් සහිත මල්දම් පැළඳ සිටින්නා වූ, රන්වන් සිරුරක් ඇත්තා වූ මිදෙල්ල මල්වල රොන්වල නොහොත් නිලුපුල් මල් රොන් පැහැයෙන් ඇස් ඇති, අහස මෙන් හොබනා වූ දීර්ඝායු සහිත නොහොත් හොඳ සෞඛ්‍යයෙන් යුත් සොයුරියේ ඔබගෙන් මෙසේ විමසමි. ඔබගේ යසස කුමන පින්කමක් කිරීමෙන් ලැබුණේද? සිදුවූයේද?
සුන්දරිය, ඔබ ස්වාමියාට වඩා ප්‍රිය වූයේත්, රූපයෙන් විශිෂ්ට වූ වඩාත් සුන්දර තැනැත්තියක් වූයේත්, නැටුම් ගැයුම් වැයුම්හි දක්ෂ තැනැත්තියක් වූයේත්, කවර හේතුවක් නිසාද යන කරුණ දෙව්ලොව ස්ත්‍රී පුරුෂයෝ විමසන්නාහ. අපට පහදා දෙන්න. ලතාගෙන් පුතා මෙසේ ඇසුවාය.
ලතා මෙසේ පිළිතුරු දේ.
මම මිනිස් ලොව මිනිස් දුවක් වූවෙමි. උදාර සම්පත් ඇති කුලගෙයක ලේලියක් වීමි. එහි දී මම ක්‍රෝධ නො කරන්නා වූ, ස්වාමියාගේ කැමැත්ත අනුව වාසය කරන්නා වූ, පෙහෙවස් සමාදන් වීම් ආදී කුසල කර්මයන් විසයෙහි අප්රමාදී වූවෙමි.
තරුණ මිනිස් දුවක් වූ මම පව් නො කරන තැනැත්තියක් වූයෙමි. ප්‍රසන්න වූ සිතින් යුතුව පැමිණ සතුටට පත්කළෙමි. සැමියාගේ සොයුරු නැදි මයිලන් දැසි දස්සන් ද සතුටු කළෙමි. අද මේ යසස මා එකල කළ දෙයෙහි ප්‍රතිඵලය.
ඒ මම ඒ කුසල කර්මය හේතුකොටගෙන කරුණු සතරකින් උසස් තත්ත්වයට පත්වීමි. ආයුෂ, වර්ණය, සැපය, බලය යන මේ කරුණු සතරත් ක්‍රීඩාවන්හි ඇලීමත් අනල්ප ලෙස විඳගතිමි.