7. ද්විධාපථ සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි, අද්ධාන මග්ග පටිපන්නො යන අද්ධාන සංඛ්යාත දීර්ඝ මාර්ගයට පිළිපන්නේ, යන්නේ වේ. නාග සමාලෙන එනම් තෙරහු, පච්ඡා සමණෙන මොහු එකල්හි භාග්යවතුන් වහන්සේගේ උපස්ථායක වූයේය. එහෙයින් ඔහු පසු මහණ කොට මාර්ගයට පිළිපන් සේක. භාග්යවතුන් වහන්සේ වනාහි ප්රථම බෝධියෙහි විසි වර්ෂයක් අනිබද්ධ (නොබැඳුනා වූ) උපස්ථායකයෝ වූහ. ඉන් මත්තෙහි පරිනිර්වාණය තෙක් පස් විසි වසක් ආයුෂ්මත් ආනන්ද තෙරහු ඡායාවක් මෙන් සිට උපස්ථාන කළේය. මේ වනාහි අනිබද්ධ උපස්ථායක කාලයයි. එහෙයින් ආයස්මතා නාගසමාලෙන පච්ඡා සමණෙන යි යූ.සේයි. ද්වෙධාපථං යනු දෙකක් වූ මාර්ගය. දෙයාකාර මාර්ගයයි. ද්විධා පථංයිද කියවත්. (දෙමංසන්ධිය) ආයුෂ්මත් නාගසමාල තමා විසින් පෙර එහි කළ පුරුදු හෙයින් ඔහුගේ සෘජුභාවය සඳහා, “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, මෙය මාර්ගයැ”යි කියයි.
භාග්යවතුන් වහන්සේ වනාහි එකල ඔහුගේ උවදුරු සහිත බව දැන, ඉන් වෙනත් මගෙකින් වඩිනු කැමැතියේ, “නාගසමාලය, මෙය මාර්ගයැ”යි වදාළේය. උවදුරු සහිතයැයි කී කල්හි එය නො අදහා, භාග්යවතුන් වහන්ස, එහි උවදුරක් නැතැයි කියන්නේය. එය ඔහුට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වේයයි සලකා උවදුරු සහිත යැයි නො වදාළේය. තෙවරක් මෙය මාර්ගයයි. මෙමගින් යමුයි කියා, සිව්වන වර භාග්යවතුන් වහන්සේ මෙමගින් වඩින්ට නොකැමැති වේ. මෙයම සෘජු මාර්ගයයි. එබැවින් මම භාග්යවතුන් වහන්සේට පාසිවුරු දී මෙමගින් යන්නෙමියි සිතා ශාස්තෲන් වහන්සේට පාසිවුරු දෙන්ට නොහැකි වනුයේ බිම තබා එළැඹ සිටි, දුකට හේතුවන කර්මයෙන් චෝදිත වූයේ භාග්යවතුන් වහන්සේගේ වචනය පිළි නොගෙනම නික්ම ගියේය. එහෙයින් අථ ඛො ආයස්මා නාගසමාලො භගවතො පත්තචීවරං තත්ථෙව ඡමායං නික්ඛිපිත්වා පක්කාමි යූ.සේයි. එහි භගවතො පත්තචීවරං යනු තම හස්තප්රාප්ත භාග්යවතුන් වහන්සේගේ පාත්රය හා සිවුර, තත්ථෙව යනු එම මාර්ගයහිම ඡමාය පෘථුවියෙ බහා තැබීය. භාග්යවතුන් වහන්ස, මේ ඔබගේ පාත්රය හා සිවුරයි. ඉදින් කැමැති නම් ගනු මැනව. ඉදින් තමා කැමැති මාර්ගයෙහිම යනු කැමැතියහුදැයි එසේනම් එහි යනු මැනැවැයි අදහසයි. භාග්යවතුන් වහන්සේද තම පාසිවුරු තමන් වහන්සේම ගෙන අදහස් කළ මාර්ගයට පිළිපැද්දේය.
අන්තරාමග්ගෙ චොරා නික්ඛමිත්වා යනු එකල්හි, ලේ තැවරුණු අත් ඇති පන්සියයක් මිනිස්සු රාජපරාධීන්ව, වනයට පිවිස සොරකමින් ජීවිකාව කරනුයේ උවදුරු පමුණුවන භාවයෙන් රජුගේ අණසක සිඳින්නෙමුයි මාර්ග අසල අරණ්යයෙහි සිටිති. ඔව්හු තෙරුන් එම මගින් යන්නහු දැක, මෙම ශ්රමණයා මෙම මාර්ගයෙන් එයි. පාවිච්චි නොකළ යුතු මාර්ගයක් පාවිච්චි කරයි. අපගේ අස්ථිත්වය නොදනී. එබැවින් ඔහුට දන්වන්නෙමුයි කිපී වැසුන තැනින් වේගයෙන් නික්මී වේගයෙන් තෙරුන් බිම හෙලා, අත්පාවලින් කොටා, ඔහුගේ මැටි පාත්රයද බිඳ, සිවුර කැබලි කැබලිවලට ඉරා දමා පැවිදි වූවෙකු හෙයින් නුඹ නොමරමු. මෙතැන් පටන් මෙම මාර්ගයෙහි උවදුරු බව දැනගනුවයි තර්ජනය කළහ. එහෙයින් අථ ඛො ආයස්මතො -පෙ- විහෙඨෙසුං යි යූ.සේයි.
භාග්යවතුන් වහන්සේද මෙතෙම එම මාර්ගයෙන් ගියේ සොරුන් විසින් පීඩාවට පත් කරන ලදුයේ මා සොයා දැන් මම පැමිණෙන්නේ යයි දැන මඳක් ගොස් මාර්ගයෙන් ඉවත්ව එක්තරා රුක් මුලෙක්හි වැඩහුන් සේක. ආයුෂ්මත් නාගසමාල තෙමේද, ආපසු හැරී අවුත් ශාස්තෲන් වහන්සේ විසින් ගිය මාර්ගයම ගෙන යනුයේ එම රුක්මුලෙහි භාග්යවතුන් වහන්සේ දැක එළැඹ වැද එපවත් ශාස්තෲන් වහන්සේට සැළ කළේය. එහෙයින් අථඛො ආයස්මා නාගසමාලො -පෙ- විප්ඵාලෙසුං යි යූ.සේයි.